කුඩාපොල උන්නාන්සේ-ශකිල රාජකරුණා

වර්ෂ 1795 දි විතර කුරුණෑගල දිස්ත්රික්කයේ නාරම්මලට කිට්ටු කඩහපොල ගමෙන් බිහි වුණු අනුස්මරණීය චරිතයක් ඉන්නවා. පසු කලෙක කුඩාපොල උන්නාන්සේ නමින් ප්රසිද්ධියට පත් වෙන්නෙ මේ හිමියෝ. 1848 විමුක්ති අරගලයට සහාය දුන් බවටත් චෝදනා ලැබූ උන් වහන්සේට වෙඩි තබා ඝාතනය කරන්න බ්රිතාන්යයන්ට යටත් යුද්ධාධිකරණය තීරණය කළා. නමුත් මේ තීරණය වැරැදි බවටත් ඇතමුන් තර්ක කළා.
කුඩාපොල හිමියන් මරණ දඬුවමට යටත් කිරීම අසාධාරණ බවත්, උන් වහන්සේට විරුද්ධ ව සාක්ෂි නැති බවත් එවකට රාජ්ය නීතීඥ එච්. සී. සෙල්බි මහතා එවකට ලංකාවේ ආණ්ඩුකාර ධූරන්ධර ටොරින්ට සාමිට දන්වා සිටියා. එ විට ටොරිංටන් සාමි පැවැසූ වචන පසු කලෙක පැවැත්වූ පරීක්ෂණ වාර්තාවකින් හෙළි වුණා.
“දෙවියන් නාමෙන්, එතැන සිටි නීතීඥයන් හැම දෙනා ම මිනිහා නිර්දෝෂී ය යි කීවත්, ඔහුට හෙට උදේ වෙඩි තබනු ලැබේ.”
තීන්දුව ක්රියාත්මක වුණා. 1848 අගෝස්තු 26 දින උදෑසන මහනුවර මහ මලුවට ගෙනා කුඩාපොල හිමියන් ගේ දෑත් කණුවකට අල්ලා පසුපසට බඳිනු ලැබුවා. දඬුවම ක්රියාත්මක වන ස්ථානයට සිවුර පිටින් ම ගෙන ගියා. කැප්ටන් පෙන්වික් ගේ සංඥාවට අනුව ඉංග්රීසි තුවක්කුවලින් පිට වූ වෙඩි උණ්ඩ කුඩාපොල හිමියන් ගේ චීවරයත්, නිර්භීත හා ⁣ධෛර්ය සම්පන්න හදවතත් සිදුරු කරමින් කිඳා බැස්සා.
ඔබ දන්නවා ද? සිය සටන් සගයන් පාවා දී මරණ දඬුවමෙන් ගැලැවෙන්නැ යි එ වකට බ්රිතාන්ය ආණ්ඩුව කළ ඉල්ලීම් පවා උන් වහන්සේ ප්රතික්ෂේප කළ බව? වෙඩි තැබීම සඳහා අත් බැඳ, ගෙන ගිය පසුත් කැප්ටන් පෙන්වික් හරහා නැවත කළ ඒ ඉල්ලීම ම අලුයම ලූ කෙළ පිඩක් මෙන් උන් වහන්සේ ඉවත දැමූ බව?
කුඩාපොල හිමි ජීවමාන සමයේ පමණක් නොව, මරණයෙන් පසු ද බ්රිතාන්ය පාලකයන් නො සන්සුන් කිරීමට සමත් වුණා. මරණ දඬුවම ලංකාවේ දේශීය මෙන් ම විදේශීය පිරිස් අතර ද කැලැඹීමක් ඇති කළා. ඉංග්රීසි නිළධාරින් දෙදෙනකු වූ ක්රිස්ටෝපර් එලියට් සහ ඒ. එම්. ෆර්ගියුසන් විසින් මේ මරණ දඬුවම බ්රිතාන්යයට දැන්වීමෙන් පසු බ්රිතාන්ය පාර්ලිමේන්තුව තුළ ද දැඩි නො සන්සුන්තාවයක් ඇති වුණා. 1848 දෙසැම්බර් මාසයේ ඒ. කේ. දුනුවිල මහතා බ්රිතාන්යයට පෙත්සමක් මගින් මේ පිළිබඳ දන්වා සිටියා. ඒ අනුව පත් කෙරුණු කොමිටියක් මගින් මේ පිළිබඳ සොයා බැලුවා.
කොමිටි වාර්තාවේ ප්රතිඵලයක් ලෙස ටොරිංටන් සාමි ආණ්ඩුකාර පදවියෙන් සහ එමර්සන් ටෙනන්ට් මහ ලේකම් පදවියෙන් පහ කළා.
සිදුවීම අවසන් ද? නැත.
ටොරිංටන් සාමි වෙනුවෙන් පෙනී සිටි එ වකට බ්රිතාන්ය අග්රාමාත්ය රසල් සාමි ගේ අමාත්ය මණ්ඩලය පවා බ්රිතාන්ය පාර්ලිමේන්තුවේ දී පරාජයට පත් වුණා. ලංකාවට පනවා තිබූ අසාධාරණ බදු ඉවත් කරන්න කටයුතු යෙදුනා.
හිතවතුනි, උන් වහන්සේ ව ඝාතනය කළා. නමුත් උන් වහන්සේ ගේ මියැදීමේ දීත් අපට බොහෝ දේ දිනා දුන්නා.