“අපි දෙයියන්ට කතා කළෙත් නෑකම් කියලා”
උදේ වරුවෙ කතා කර කර ඉද්ද ඉලංගසිංහ මහත්තය ගෙ කටින් පිටවුණු වචන කීපයක්.
ඇත්තනෙ. ගම්භාර අප්පච්චි, අයියනා මුත්තා, කම්බිලි මුත්තා, කඩවර මුත්තා, කම්බිලි උන්නැහේ, කඩවර උන්නැහේ, කඩවර අප්පච්චි, කම්බිලි අප්පච්චි, ඔඩ්ඩි මස්සිනා, බහිරව මුත්තා, කාලි මෑණියො. මේ අපෙ පරණ ගම්වල මිනිස්සු ඒ ඒ දෙවිවරුන්ට කතා කරපු හැටි. මේ වචන ඇතුළෙ තියෙන්නෙ ගමේ ගොඩේ මිනිස්සු තමන්ට පිහිට, උපකාර වෙන දෙවි දේවතාවුන් එක්ක කොයිතරං හෘදයාංගම වුණා ද කියන කාරණාව.
දෙවියන්ට විතර ද? සතා සීපාවට කතා කළෙත් බොහො ම ආදරෙන්. අලි ගැවැසෙන ප්රදේශවල පරණ මිනිස්සු ‘අලියා’ කියන නම පාවිච්චි කළේ නෑ. සමහරු ‘ලොකු පුතා’ කීවා. ඒ අතරෙ සමහරු ‘මහ එකා’ කියලත් නො කීව ම නෙවෙයි.
“බිං කරුවල වැටෙන වෙලාවෙ ගෙදරින් දොට්ට බහින්ඩ එපා පැටියෙ. මහ එකා ගම් වදිනවා”
“ඊයෙ රංබණ්ඩා හුරේ ගෙ වැට මායිමෙන් ලොකු පුතා ගිහින් හිටියෙ. ඉගහට පල”
ඉඩමට කඩමට අලියෙක් වැදුනොත්…
“අනේ මයෙ අප්පච්චි පැලේ පොඩි පැටව් ඉන්නවා. මේ ඉසව්වෙන් පිටමං වෙනවා හොඳ යි”
සද්දන්තයා වත්තට ආව ම ගෙදර ගැහැණු උදවිය කතා කරන්නෑ. ගැහැණු උදවිය කතා කළොත් අලි යන්නෙ නැතිලු. පවුලෙ පිරිමියෙක් තමයි සද්දන්තයට කතා කරලා පිට වෙන්න කියලා ඉල්ලන්නෙ.
ගම්වල හැදුණු වැඩුණු මිනිස්සුන්ට මේ වචන බොහො ම හුරු පුරුදු යි.
එතකොට වලහාට. වලහාට සමහරු කීවෙ කලු පුතා කියලා. නයාට නයි හාමි කීවා.
“අනේ නයිහාමි. අපෙන් අනතුරක් නෑ. පාඩුවෙන් ආපු ඉසව්වකට යනවා හොඳ යි.”
ගමේ උදවිය බොහොම ගරු සම්මානයෙන්, ආදරෙන් සලකපු සතෙක් තම යි හරකා. කුඹුරෙ වැඩපලවල ඉඳං ගමේ ගොඩෙක් නා නා ප්රකාර වැඩවලට ගවයා උදව් වුණා. සමහරු මයෙ අප්පච්චි කියලා හරකාට කතා කළා. ගැල් කරුවා “ජඃ පුතා” කියලා කීවා.
හේනෙ කුඹුරෙ වැඩේ ඉඳං, වෙදකම, නක්ෂත්රය, මන්ත්ර සාස්තරේ ආදි එකී මෙකී නොකී ගමේ ගොඩේ බොහෝ දේවල් පරිසරය එක්ක බද්ධ වෙලා තිබුණා. ස්වභාව ධර්මය ගැමියට වෙදකම ඉගැන්නුවා. ගැමියා ගෙ බඩගින්න නිවුවා. ගේ දොර හදාගන්න අමුද්රව්යවලින් උදව් කළා. ගැමියාත් ස්වභාව ධර්මයට කළගුණ සැලැකුවා.
ගහකින් බෙහෙත් ඖෂධයක් ගත්තත් ඒ වෙනුවෙනුත් ඔවුන් ගහට කෘතගුණ සැලැකුවා. පැරැන්නො ගහකින් පොත්තක් ගලවා ගද්දි හැසිරුණු විදිය හොඳ ම උදාහරණයක්.
ඒ විදියට පොතු ගලව ගද්දිත් සමහරු විශ්වාස කරපු කාරණා තිබුණා. සර්ප විෂ වෙදකමට ගහකින් උඩු අතට පොතු ගැලෙව්වොත් ලෙඩා ගෙ විෂ නගිනවලු. ඒ නිසා ඒ වගේ දේවල්වලට පොතු ගද්දි ගහෙන් පහළට පොතු ගලවන්න ඕනෙලු. අනෙක් සාමාන්ය වෙදකම්වල දි නම් ගහේ උඩු අතට පොතු ගැලෙව්වට ගැටලුවක් නැතිලු. ඒ වගේ ම ඒ ඒ දවස්වල පොතු ගලවන දිශා තියෙනවා. විශේෂයෙන් මරු සිටින දිශාවෙ අතු, පොතු, මුල් ගන්නෑ.
කොහොම වෙතත් ගහකින් පොතු ගලවන්න යද්දි පැරැන්නො අනිවාර්යයෙන් ම හුඹස් මැටි, කපු රෙදි කෑල්ලක් සහ වතුර බෝතලයක් අරං ගියා. ගහට වැඳලා විධි වූ පරිද්දෙන් පොතු ගලව ගන්නවා. පොතු ගලව ගත්ත තැනට හුඹස් මැටි තියලා කපු රෙද්දෙන් වෙලලා වතුර දානවා. ආයෙ ගහට වැඳලා පිටත් වෙනවා. එහෙම යි අපෙ මිනිස්සු ඖෂධ දුන්න ගහටත් කළගුණ සැලැකුවෙ.
මම අදටත් විශ්වාස කරන්නෙ පැරැණි ගැමියාට නො තිබුණෙ පත පොතේ, උපාධි සහතිකේ උගත්කම විතර යි. කවියක්, කතාවක් කීවත් අස් කන් ඇද බැඳගෙන තියාගන්න සමත් වෙන විදියෙ වාග් විලාශයක් ඔවුන් සතු ව පැවැතුණා. ගැමියෙක් කථාන්දරයක් කියන විට ඔහු භාවිත කරන ඇතැම් වචන ඔබ මින් පෙර කිසිදු දිනෙක අසා නැති ඒවා විය හැකි යි. නමුත් කථාන්දරය තේරුම් ගැනීමට කිසිදු දුෂ්කතරතාවක් ඔබට මතු නොවේ වි. ඔවුන් ගෙ භාෂා භාවිතයෙ තියෙන විශිෂ්ටත්වය එය. ඒ වගේ ම ඔවුන් සිය කවි කථාවල වචන ස්වකීය හුරුව අනුව ම පවත්වාගන්න හැකි සෑම විට ම උත්සාහ කළා.
අල්ලාගෙන නෙරිය අතකින් කිම් ද නගෝ
වසාගෙන ළමැද අතකින් කිම් ද නගෝ
එක්ක යන්න කොලු සරණක් නැද්ද නගෝ
සෙවන සොඳයි සිටලා පලයන්න නගෝ
මේ කවිය ඔබ අසා ඇති. මීට පිළිතුරු කවියකුත් තියෙනවා. මේ කවි දෙක සංවාද කවි පන්තියක එන කවි දෙකක්. කවි පන්තියෙ නම ‘කණකරත්නමාලය’. ගැමියො සාමාන්ය ව්යවහාරයෙ දි ‘යකා ගේ කවි’ කවි කියලා මේ කවි පන්තිය හඳුන්වනවා.
කුඩා කාලයේ අසා තිබූ මතකයට සම්පූර්ණ කවි පන්තිය හොයාගන්න මට උවමනා වෙනවා. වන්නි හත් පත්තුවෙ දුෂ්කර ගම්මානයකට මම යන්නෙ ඒ අරමුණින්. අවුරුදු හැත්තෑවක විතර වැඩිහිටි කාන්තාවක් කවි පන්තිය මට කියනවා. මම ලියා ගන්නවා.
“කියන්න බලන්න කවි ටික” ඇය මගෙන් ඉල්ලා සිටිනවා.
“අල්ලාගෙන නෙරිය අතකින් කිම් ද නගෝ
වසාගෙන ළමැද අතකින් කිම් ද නගෝ”
මම කියාගෙන කියාගෙන යනවා.
“කිම් ද නෙවෙයි පැටියෙ. කිං ද”
“අල්ලාගෙන නෙරිය අතකින් කිං ද නගෝ
වසාගෙන ළමැද අතකින් කිං ද නගෝ”
ඇය මාව නිවැරැදි කරනවා.
ජන කථාවක් කීවත් ඔවුන් ගෙ විලාසය අපූරු යි. ඕක බ්රෝහියර් පවා කියපු දෙයක්.
සාලිය හා අශෝකමාලා කතාව ගැන අපූරු සිද්ධියක් ආර්. එල්. බ්රෝහියර් විසින් ඉදිරිපත් කරනවා. ඔහු මිනින්දෝරුවෙක්. බ්රෝහියර්ට අහන්න ලැබුණු සාලිය අශෝකමාලා කතාව ඔහු ‘Discovering Ceylon’ කියන පොතේ සටහන් කරලා තියෙනවා. ඔහු කරන විස්තරයෙ පොඩි කොටසක් විතරක් මම උපුටා දක්වන්නම්. මම මේක උපුටා ගන්නෙ අභය හේවාවසම් මහත්තයා ‘Discovering Ceylon’ කෘතියට ‘බ්රෝහියර් හඳුනාගත් ලංකාව’ නමින් කරපු පරිවර්තනයෙන්.
“… එක් දිනෙක සාලිය කුමාරයා, තව තරුණ ප්රභූ පිරිසක් සමග මහාමේඝ වනාන්තරයේ දඩකෙළි සඳහා ගියේ ය. එහි දී මලින් පිරී ගිය අශෝක වෘක්ෂයක් දැක එහි ගියේ ය. එ සේ ගස පාමුලට ගොස් ඉහළ බැලූ විට අශෝක මල් නෙළීම සඳහා ගසට නැඟ ගත් යෞවනියක ගසේ අතු අතර සිටිනු දුටුවේ ය. ඇගේ උඩු කය, බෙල්ලේ දමා ගෙන සිටි සළු පටක් හැරෙන්නට නිරුවත් වත් ව තිබිණ. ඒ සළු පට ද, ඉහළින් තිබූ මල්නෙළා ගැනීමට ඉහළට අත දිග හැරගෙන සිටි නිසා, ඉවතට වැටී තිබිණ. ගසේ කොළ අතරින් ඇගේ සිරුරේ පිහිටි මනා අඟ පසඟ ද, ඕ සතු ව තිබූ, රතු දෙතොල්, සිනිඳු දිගු කේශ කලාපය ද, සුදෝ සුදුවට බැබළි සම සුදු දසන් පෙළ, මෘදු එ මෙන් ම රන් පැහැ ගත් සම ද, භද්ර යෞවනය ද යන පංච කල්යාණය නිසා සාලිය වශීකෘත විය. හේ රාගයෙන් මත් නො වී ය. එහෙත් ඇගේ රූපශ්රීයේ සුන්දරත්වයෙන් හේ වශීකෘත විය. ඕ ඔහුට පෙනුණේ අඳුරු වළාකුලකින් මෑත් වන පූර්ණ චන්ද්රයා මෙනි…”
බ්රෝහියර් ඔය විදියට මේ කතාව විස්තර කරගෙන යනවා. නමුත් බ්රෝහියර් කරන මේ විස්තරයෙ මගෙ අවධානය යොමු වුණේ වෙනත් කාරණාවකට. සාලිය හා අශෝකමාලා ගැන මේ විදියට සටහන් කරන්න කලින් ඔහු අපූරු සඳහනක් කරනවා. එක් අවස්ථාවක බ්රෝහියර්ට දැකගන්න ලැබෙනවා විල්පත්තුවේ, මොරගල්ල ආරුවේ වම් ඉවුරේ, විශාල නටබුන් සහිත ප්රදේශයක්. ඒ වෙලාවෙදි තමන් ගෙ මාර්ගෝපදේශකයා ගෙන් බ්රෝහියර් අහනවා මේ ස්ථානය ගැන පැරැණි අය දරන මතය මොන වගේ ද කියලා. මාර්ගෝපදේශකයා සඳහන් කරන්නෙ මුඛ පරම්පරාගත ව තමන් අහලා තියෙන විදියට මේ ස්ථානය දුටුගැමුණු රජතුමා ගෙ පුතා වුණු සාලිය කුමාරයා ගෙ මාලිගාව තිබුණු තැන කියලා. ඔය විස්තරත් එක්ක තමා සාලිය අශෝකමාලා කතාව බ්රෝහියර්ට අහන්න ලැබෙන්නෙ. තමන් ගෙ මාර්ගෝපදේශකයා කියපු කතාව ගැන බ්රෝහියර් ‘Discovering Ceylon’ කෘතියෙ මෙහෙම සටහනක් තියනවා (පෙර සඳහන් කරන ලද පරිවර්තනයෙන් උපුටා ගතිමි).
“… මේ කතාව මා හට පරිවර්තනය කොට තේරුම් කර දුන්නේ එක් උගතෙකු විසිනි. මේ කතාවේ එන තරුණිය ගේ සුන්දරත්වය, වශීකෘත බවත්, චාම් බවත් විස්තර කිරීමට උපයෝගී කරගෙන ඇති සිංහල වචන තරම් ප්රබල වචන ඉංගිරිසි බසේ නැත…”
මේ තමයි බ්රෝහියර් ගෙ සටහනින් වඩාත් ම මගේ සිත් ගත් කොටස. ගැමියා ගේ භාෂාවේ විශිෂ්ටත්වය ගැන ලොකු කතාවක් බ්රෝහියර් ගෙ මේ වචන කීපය ඇතුළෙ හැංගිලා තියෙනවා.
ගම යි, ගමේ සංස්කෘතිය යි මාව ඇද බැඳ ගන්නවා. ඒ ගම යි, ගමේ සංස්කෘතියෙ යි තියෙන අව්යාජ සුන්දරත්වය වෙන කිසි ම තැනකින් මට විඳින්න නො ලැබෙන නිසා.