උපාධි සහතිකේ උගත්කම නැතුවට, අවශ්ය දැනුමින් සහ අත්දැකීමෙන් පුදුමාකාර විදියට උගත් මිනිස්සු අපේ ගම්වල හිටියා. සමහර ගම්වල තවමත් ඉන්නවා. ඒ වගේ මනුස්සයෙක් ඉස්සරහට ගියා ම යි වැටහෙන්නෙ අපිට තව ඉගෙන ගන්න දේවල් කොච්චරක් නං තියෙනව ද කියලා.
මේ මට සිද්ධ වෙච්ච කතාවක්.
සාමාන්යයෙන් මට කෙනෙක් එක්ක කුලුපග වෙන්න පුළුවන් හැකියාව බොහොම අඩු යි. ඒකට හේතුව මොකක්ද කියන්න මම දන්නෙ නැහැ. නමුත් මාත් එක්ක බොහොම කුලුපග අය නැතිවාමත් නෙවෙයි. ගොඩක් වෙලාවට ජීවිතේට මාව දැකලා නැති, මාව අඳුනන්නැති වුණත් මාත් එක්ක ඉක්මනින් කුලුපග වෙන අය අතර පරණ ගම්වල පාරම්පරික වෙද මහත්තුරු, යකැදුරු මහත්තුරු, ජ්යොතිෂවේදීන් විශේෂ තැනක් ගන්නවා. සාමාන්යයෙන් ගම්වල පරණ දේවල් ගැන දැනගන්න, එකතු කරන්න මගෙ තියෙන ලැදියාවත්, මේ ශාස්ත්ර ගැන තියෙන සුලු දැනුමත්, බුලත් විටක් හප හප ගමේ ගොඩේ ක්රමේට කතා බහ කරන එකත් මේ අය මාත් එක්ක ඉක්මනින් හිතවත් වෙන්න ප්රධාන හේතුවක් වෙන්න ඇති. එක පාරක් බොහොම දැන උගත් අය ඉන්න තැනක “ඒ උන්දෑ” කියන වචනෙ මගෙ කටින් පිටවෙලා නො හිතපු සිද්ධියකට මුහුණ දෙන්නත. සිදු වුණා. ඒ නිසා ම මම ගොඩක් තැන්වල ගමේ භාවිත කරන වචන පුළුවන් තරම් නො කියා ඉන්න උත්සාහ කරනවා.
කොහොමහරි මම උසස්පෙළ විභාගය සමත් වෙලා විශ්වවිද්යාල ප්රවේශය අපේක්ෂාවෙන් හිටපු කාලෙ. කලිං කීවා වගේ ගම වටකර හිටපු පරණ වෙද මහත්තුරු, යකැදුරු මහත්තුරු, ජ්යොතිෂවේදීන් මාත් එක්ක බොහොම හිතවත්. වැඩක් නැති ව විවේක ව ඉන්න වෙලාවල්වල මම කාලය ගත කරන්න ඒ අය ගෙ ගෙවල්වලටත් යනවා. ඒ විදියට එක පාරක් වළගම්බාහුවට කිට්ටුව ජීවත් වුණු වයෝවෘධ සර්ප විෂ වෙද මහත්තයෙක් හම්බවෙලා කතා කර කර ඉන්න මම ගියා. සර්ප විෂ වෙදකමට විතරක් නෙවෙයි, මන්ත්ර ශාස්ත්රයටත් ඔහු ප්රදේශයේ ප්රසිද්ධ යි. ඉංග්රීසි බෙහෙත්වලින් හරිහමං ගුණයක් නැති ලෙඩ්ඩු ගොඩක් වෙලාවට මේ වෙද මහත්තයා ගාවට ඇවිත් වෙදකම් කරගන්නවා. වටා පිටාවෙ මිනිස්සු “බංඩා මාමා” කියන නමෙන් හැඳින්නුවට මම අදටත් ඔහුට කතා කරන්නෙ වෙද මහත්තයා කියලා. ඔහු යකැදුරෙක්, පාරම්පරික දේශීය වෙදැදුරෙක්. ඒ ඔක්කොට ම වඩා හේනක්, කුඹුරක් කරං තමන් ගෙ පාඩුවෙ ජීවත් වෙන අහිංසක ගැමියෙක්.
ඔය විදියට ගියපු එක් අවස්ථාවක බුලත් විටක් හප හප අපි දෙන්නා කතාවට වැටුණා. වෙදකම්, ගුරුකම් ගැන කතා කර කර ඉඳලා එක පාරට ම මාතෘකාව වෙන පැත්තකට හැරුණා. ඒ සිංහල අකුරු ගැන. යම කාලය, පංච පක්ෂිය, ඉන්ද්ර ගුරුළුව, රාහු පිම්ම ඕවා තමා එදා මාතෘකා වුණේ. ඒ නිසා සිංහල අකුරු ගැන කතාව ඇදුණු එකේ පුදුමයකුත් නෑ එක අතකින්.
සිංහල භාෂාව සහ අකුරු ගැන මම දන්න උපරිම දේවල් මම කියන්න පටන් ගත්තා. මම කියන දේවල් සාවධාන ව අහගෙන හිටපු වෙද මහත්තයා එක පාරට ම මෙහම ඇහුවා.
“කොම්බු පාවිච්චි වෙන අකුරු කීයක් තියෙනව ද සිංහල හෝඩියෙ?”
හෝඩිය ගැන ඉගෙන ගත්තට අපි අකුරු ගණන් කර කර ඉගෙන ගන්නෙ නැති නිසා එක පාරට ම ඒකට උත්තර දෙන්න හැකියාවක් මට තිබුණෙ නෑ.
“ඈ?” මගෙ කටින් පිටවුණේ එච්චර යි.
“මම නං ඉස්කෝලෙ ගියෙ තුනේ පන්තියට විතර යි. උඹලා ඉතිං එහෙම නෙවෙයි නෙ.” වෙද මහත්තයා ගෙ ඒ වචන ඇතුලෙ පොඩි උපහාසයකුත් තියෙනවා වගේ හැඟීමක් මට දැනුනා.
“ආයෙ අපි ඉතින් ඕවා ගණන් කර කර ඉගෙන ගන්නවයැ වෙද මහත්තයා” මමත් නිදහසට කාරණා කියන්න පටන් ගත්තා.
හිනාවෙච්ච මූණකින් ඔහු මෙහෙම කියන්න පටන් ගත්තා.
“ඕං එහෙනං අහගං.
කොම්බු එකසිය හැත්තැ දෙකකිය
එ සිය හතරක් වේ ය ඇලපි ලි
ගැටය ඇලපිලි එ සිය දෙක වෙයි
සැට නවයකින් වේ ය ඇලපි ලි
සත් වැඩී සිය ගයනු කිති සහ
තුනයි සැත්තෑවකී ඉස්පි ලි
බිංදු සැත්තෑ තුනයි අල් දුවි
තිස් හයයි හෝඩියේ ඇලපි ලි
ඕං ඔහොම යි අපෙ ගුරුන්නාන්සෙලා අපිට ඉගැන්නුවෙ”
ඔතනින් එහාට මම හෝඩිය ගැන දන්න දේවල් වැඩිය කියන්න ගියෙ නෑ. මොකද මට තේරුණා තවත් ඉස්සරහට මම දන්න දේවල් කියාගෙන ගියොත් වෙද මහත්තයා කියන දේවල් එක්ක මට ලේසි වෙන්නෑ කියන එක.
සති දෙක තුනකට කලින් වෙද මහත්තයා හමුවුණු වෙලාවක මට මේ සිද්ධිය මතක් වුණා. හෝඩිය ගැන කවි ටික මට ලියල දෙන්න කියලා මම එතුමගෙන් ඉල්ලීමක් කළා.
“මේ කඩිමුඩියෙ බෑ. මම ලියලා කතා කරන්නං”
සතියකට විතර පස්සෙ මට කතා කළා.
“අර කවි ටික මම ලීවා. මටත් මේ වගේ දෙයක් හොයාගන්න ඕනෙ වෙලා තියෙනවා පුළුවන් ද හොයලා දෙන්න?”
මන්ත්ර ශාස්ත්රය සම්බන්ධ දෙයක් ඔහු මගෙන් ඉල්ලුවෙ. ඉල්ලපු දේ මගෙ පොත් පත්වල තිබුණා. ඒ දේත් ලියාගෙන මම වෙද මහත්තයා හම්බ වෙන්න ගියා.
සාමාන්ය පොතක පිටු 10කට වඩා හෝඩිය ගැන ඔහු ඉගෙන ගත්ත කවි ලියලා තිබුණා. “ස්වස්ති සිද්ධම්” කියන වචනය විස්තර කරන එකේ ඉඳං සම්පූර්ණ සිංහල හෝඩිය ගැන ම කවි මේ අත් පිටපතේ තිබුණා.
ඔහු මට ලියලා දුන්න කවිවල ඡායාරූප කීපයක් සටහන එක්ක අමුණන්නම්. නමුත් මේ කවි දකිද්දි මට කල්පනා වුණේ වෙන දෙයක්. අතීත සාම්ප්රදායික ඉගැන්වීම්වල තිබුණු පරිපූර්ණ බව කොයි තරම් විශිෂ්ට ද? ඒ ඉගැන්වීම්වලින් කළේ ක්ෂණික ව පිළිතුරු දීමේ හැකියාව වැඩි දියුණු කරපු එක.
වෙද මහත්තයා සමහර වෙලාවල තමන් ව පරික්ෂා කරන්න හිටපු අය පවා දුර්මුඛ කරපු අවස්ථා තියෙනවා. ඒවා ගැන වෙන වෙලාවක ලියන්නං. දැනට නවතිනවා.
ඝොරකුරු සොරයන් සොලසට සකියනි
අ යන්න අහගං මුල ටා
බරකුරු කිවිඳුනි අක්ෂර දොළහට
ක යන්න දෙවනුව ටා
සැමකුරු රුසිවරු ගණනින් පන්සිය
සැටකින් නිම කළෙ යස ටා
මෙම’කුරු දනිතොත් වාදෙට එනු මිස
නැත්නම් බැරි වෙයි නුඹ ටා