අපේ පාරම්පරික මන්ත්ර ශාස්ත්රය මොන වගේ ද?
මාතෘකාව දකිද්දි ම සමහර විට ඔබට යහපත් හැඟීමක් ඇති නොවේ වි. හේතුව මම දන්නවා. මේ වෙද්දි අපෙ රටේ සාම්ප්රදායික ශාස්ත්ර බොහොමයකට ම අත්වෙලා තියෙන ඉරණම මේ ශාස්ත්රයටත් අත්වෙලා හමාර යි. හොර තක්කඩි, ශාස්ත්රය බාගෙට උගත්තු විතරක් නෙවෙයි. මිනිස්සු රවට්ටන දේවාල කඩකාරයොත් මේකට වග කියන්න ඕනෙ. මන්ත්ර ශාස්ත්රය ඇතත් ද? බොරු ද? කියන එක පැහැදිලි කරන්න මම මේ ලිපියෙන් කාලය වෙන් කරන්නෑ. මම උත්සාහ කරන්නෙ ලංකාවේ සංස්කෘතියක් එක්ක බැඳුණු සාම්ප්රදායික මන්ත්ර ශාස්ත්රය මොන වගේ ද කියන කාරණාව ගැන පොඩි විස්තරයක් කරන්න විතර යි. ශාස්ත්රයෙ සත්ය අසත්යතාව හෝ එය පිළිගන්න නො ගන්න එක ඔබේ අත්දැකීම්, අදහස් සහ මතවාද එක්ක තීරණය කරගන්න ඔබට පූර්ණ අයිතියක් තියෙනවා. ඒ නිසා ම මේ ශාස්ත්රයෙ සත්ය අසත්ය බව ගැන මාත් එක්ක වාද කරමින් කාලය වැය නො කරන මෙන් බොහො ම ආදරෙන් ඉල්ලා සිටිනවා.
අපේ ගමේ ගොඩේ මිනිස්සු ගමේ යකැදුරාට තදින් ගරු කළා. වෙද මහත්තයා, ගුරුන්නාන්සේ වගේ ගෞරවණීය ආමන්ත්රණයක් ඔහුට යෙදුවෙ ඒකයි. වත්ත පිටිය, ගේ දොර, හරකා බාන රැකගන්න ආරක්ෂාවක් කරගන්න ආවෙ ගුරුන්නාන්සෙ ගාවට. ගෙඩි කරප්පන් හැදුන ම, උළුක්කුවක් වුණා ම, බඩේ කැක්කුමක් වගේ සුලු අසනීපයක දි ගුරුන්නාන්සෙ ගාවට දුවගෙන එනවා. යකෙක්, පෙරේතයෙක් දිෂ්ටි වැටුන ම, අණවිනයකට කොඩිවිනයට, ඉනාවකට අහුවෙලා කියලා දැනගත්ත ම ගුරුන්නාන්සෙ ගෙන් උදව් ඉල්ලුවා. කඩයක් දැම්ම ම, ග්රහ අපලයක් ඇති වුණා ම යන්ත්ර ජීවමක් කරගත්තෙත් ගුරුන්නාන්සෙ ගෙන්. ගොවිතැනට, බතට සතා සීපාව ගෙන් හානි වෙන වළක්වන්න වතුර, අබ, දෙහි මතුරලා දුන්නෙත් ගුරුන්නාන්සෙ ම තමා. ඒ හැරුන ම අතරින් පතර ගම්මුත් එකා දෙන්නා මේ වගේ පොඩි පොඩි වැඩ දැනං හිටියා. දේව දානෙ යාතිකාව දැනං හිටියා. පිළිවෙල දැනං හිටියා. ගුරුන්නාන්සෙ මේවා මිලක් මුදලක් නියම කරලා කළේ නෑ. දෙන දේ ගත්තා. අපෙ ගම්වල ගුරුන්නාන්සෙලත් ගම්මු වගේ ම හේනක්, කුඹුරක් කරං අහිංසක විදියට ජීවත් වුණු උදවිය.
මේ විදියට තිබුණු මන්ත්ර සාස්තරේ කොටස් අටකට බෙදුවා.
• වශී කර්ම
• ආකර්ෂණ කර්ම
• මෝහන කර්ම
• ස්ථම්භන කර්ම
• විද්වේෂණ කර්ම
• උච්චාටන කර්ම
• මාරණ කර්ම
• ශාන්ති කර්ම
මේ අට හඳුන්වන්නෙ අෂ්ට කර්ම කියලා. විස්තර කළොත්, ඉනා කිරීම්, නඩු දිනීම් වගේ ඒවා අයිති වෙන්නෙ වශී කර්මයට. පැන ගිය අය ගෙන්වීම, වෙළඳාම් සරු කිරීම, ගුරුකම් සඳහා අවශ්ය දිෂ්ටිය ගෙන්වා ගැනීම වගේ දේවල් ආකර්ෂණ කර්මයට අයිතියි. ඉන්ද්රජාලික වැඩ හෝ මුලා කිරීම්, මෝහණය කිරීම්, නොපෙනී යෑම් වගේ දේවල් අයිති වෙන්නෙ මෝහන කර්මයට. වෙඩි නො වැදීම, ගින්දර මත නො දැවී සිටීම, දිය මත නො ගිලී ඇවිදීම වගේ කරුණු ස්ථම්භන කර්මයට යි අයත්. ලෙඩ සුවපත් කිරීම, දෝෂ ඉවත් කිරීම වගේ ඒවා ශාන්ති කර්මය යටතේ කතා කරනවා. දෙදෙනකු වෙන් කිරීම, යමක් කඩාකප්පල් කිරීම වගේ ඒවට යොදා ගන්නෙ විද්වේෂණ කර්මයේ ගුරුකම්. ගෙවල් ආරක්ෂා කිරීම, වින ආපිට කැපීම, අංජනම් එළි අයිති උච්චාටන කර්මයට. සතුරන් නැසීම, භූමිපාළු, කොඩිවින, පිල්ලි යැවීම වගේ අයහපත් ගුරුකම් මාරණ කර්මයට අයිති යි. සුලු සුලු ගුරුකම් විශේෂයක් නැති ව කළත් ටිකක් බරපතල මට්ටමේ මේ එක එක කර්මයේ ගුරුකම්වලට අයිති දවස් තියෙනවා. නැකැත්, ලග්න, වේලාවල්, මූලික වන දේවතාවා හෝ යක්ෂයා, පූජා ද්රව්ය, ජප කිරීමේ දී ඉඳගන්න ආසන, ජප කළයුතු දිශාව වගේ කාරණා රාශියක් මේ අෂ්ට කර්මවලට වෙන වෙන ම බැඳිලා තියෙනවා. මේ අෂ්ට කර්ම සහ ඒ ආශ්රිත සමහර අංගෝපාංග ඉන්දියානු ආභාසයෙන් ආපු එකක් දෝ කියලත් මට හිතුණු වාර අනන්ත යි.
අපෙ ගම්වල සමහර පරණ යකැදුරෝ මේ අෂ්ට කර්ම ගැන වෙන වෙන ම ක්රමානුකූල ව දැනගෙන හිටියෙ නෑ. නමුත් ඊට අදාල ගුරුකමක දි වැඩ කරන්න ඕනෙ කොහොමද කියලා දැනගෙන හිටියා. වරදවා වටහා ගන්න එපා. මම මේ කතා කරන්නෙ ගමක් ගමක් ගානෙ, ගෙයක් ගෙයක් ගානෙ දේවාල මඩු අටවන් මිනිස්සු රවට්ට රවට්ට සාස්තර කියන දේවාල කඩකාරයො ගැන නෙවෙයි. තමන් ගෙ පාඩුවෙ හේනක්, කුඹුරක් කරගෙන, ගැමියකු ගෙ අසරණකමක දි පිහිටට ආපු ගමේ අහිංසක ගුරුන්නාන්සෙලා ගැන යි මම මේ කතා කරන්නෙ.
ගුරුන්නාන්සෙලා මේ මන්ත්ර භාවිත කරපු විවිධ ක්රම තිබුණා. දිෂ්ටි මන්තර බොහො ම සද්දෙන් කීවා. ඒකට ආවේණික රිද්මයක් තියෙනවා. මන්ත්රයේ හඬ උස් පහත් කළ යුතු තැන් තියෙනවා. ඔවුන් ඒ ගැන දැනං හිටියා. සමහර මන්ත්ර හිතිං කියන්නේ. සමහර ඒවා ආතුරය ගෙ කනට ඇහෙන්න විතර යි කියන්නේ. ඒ වගේ ම සමහර මන්ත්ර ජප කරන්නෙ ගුරුන්නාන්සෙ තමන්ට ඇහෙන්න විතර යි.
ගුරුකමකට ගෙදරින් පිටට යනවා නම් ගුරුන්නාන්සෙ ඉස්සරලා ම කරන්නෙ තමන් ගෙ ඉඩම යි, ගෙදර මිනිස්සුයි ආරක්ෂා කරන එක. තමන් කරන දෙයින් හානියක් ගෙදර මිනිස්සුන්ට නො වෙන්න ඔහු වගබලා ගන්නවා. ගෙදර හතර මුල්ලට ගිහින් මතුරනවා. ඉඩමෙ හතර කොනට මතුරනවා. අවසානෙට වැට මායිමෙන් එළියට ගිහින් වැට අල්ලං වැටට මතුරනවා. වන්නි හත් පත්තුවෙ, නුවර කලාවියෙ වැට අල්ලං මතුරන ආරක්ෂාවට කියන්නේ ‘වාහල දේවතාවා බන්ධනය කරනවා’ කියලා (සමහර විට වෙනත් පැතිවලත් මේ ව්යවහාරය ඇති).
මේ විදියට මතුරලා අදාල ආතුරය ගෙ ගෙදරට ගියා ම ඒ ගෙදර මිනිස්සුන් ගෙ ආරක්ෂාවට තෙල් නූල් මතුරනවා. ගම්භාර දෙයියන්ට පහන් පැළ පත්තු කරනවා. දැපවිල්ලට අදාල යහන ගහනවා. බුදුන් වැඳලා දෙවියන්ට පිං දෙනවා. අවසානෙ තමන් ආව කාරණාවට මතුරන්න පටන් ගන්නවා.
ඒකත් හරි අපූරුවට. යකඩ ඇණ ගහපු නැති ආසනයක කෙහෙල් කොලයක් එළලා ඒ මත යි ප්රධාන යහන හදන්නෙ. මේකට අලු කෙහෙල් කොළ ගන්නෙ නෑ. ඒවා කිලි කියලා විශ්වාසයක් තියෙනවා. අලු කෙහෙල් කොල, අල ගන්නෙ නීච කපන යකැදුරෝ විතර යි. මේ වගේ තව ගොඩක් සම්මුතීන් ඒ ඒ ගුරුකම් එක්ක බැඳිලා තියෙනවා.
ගුරුකමක් කරන්න කලින් ඒකට අදාල දේවතාවට එන්න කියලා අඬගහන්න ඕනෙ. දෙවියන් වැඳලා ගුරු වරමෙන් වරං අරං දිෂ්ටි මන්ත්රයෙන් මතුරන්නෙ ඒක යි. ඒ ඒ දෙවියන්ට වෙන වෙන ම දිෂ්ටි මන්ත්ර තියෙනවා. එහෙම නැති ව හොඳ වැඩකට මතුරනවා නං මහා ශ්රී රාම දිෂ්ටිය කියන මන්තරෙන් මතුරනවා. නරකට නං නවනීල දිෂ්ටියෙන් මතුරනවා. සමහරු නව නීල දිෂ්ටිය හොඳ වැඩකට මතුරද්දිත් භාවිත කරන බව මම දැකලා තියෙනවා. දිෂ්ටි මන්ත්රය, ජප මන්ත්රය විතරක් නෙවෙයි. ප්රාණ, පූට, පලිප්පු, සිද්ධි, ශුද්ධි, ඉගිලුම් වගේ මන්ත්ර ගොඩක් ගුරුකමක් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ජප මන්ත්රය විතරක් මැතිරුවට වැඩක් නෑ. මම කියපු දිෂ්ටි, ප්රාණ, පූට, පලිප්පු, සිද්ධි, ශුද්ධි වගේ මන්ත්රත් ජප නො කළොත් ඒ ජීවමෙන් වැඩක් නැති බව යි කියන්නේ. මේවා නැති ව ජප මන්ත්රය විතරක් ප්රමාණවත් ගුරුකම් ක්රමත් තියෙනවා.
සමහර ගුරුකම් තියෙනවා ජප කරද්දි කෙළ ගිලින්න තහනම්, වතුර උගුරක් වත් බොන්න තහනම්. ගුරුකමක් කරද්දි වෙන වෙන දේවල් ගැන කතා කරන්න තහනම්. පාඩම් කරද්දි පවා කටේ කොහොඹ කොල දාගෙන පාඩම් කරන්න කියලා උපදෙස් දෙන මන්ත්ර තියෙනවා. කිරි ගස් යට පාඩම් කරන්න එපා කියලා උපදෙස් දෙන මන්ත්ර තියෙනවා. සොහොනෙ, තුං මංසලේ, නාන තොටේ, පාලු ගේ, පන්සලේ සිහි කරන්න එපා කියන මන්ත්ර තියෙනවා. අපෙ මන්ත්ර ශාස්ත්රය එක්ක මේ වගේ සම්මුතීන් ගොඩක් බැඳිලා තිබුණා.
ඒ වගේ ම තම යි සමහර තද ගුරුකම් කරන්න භාවිත කරන දින, තිථි, නැකත් වගේ දේවල් තියෙනවා. මේවට කියන්නේ සිද්ධි යෝග කියලා.
ආධුනිකයෙක් මන්ත්ර ඉගෙන ගද්දි මුලින් ඒ මන්ත්ර සිද්ධි කරගන්න ඕනෙ. සමහර මන්ත්ර 1000ක් ජප කරලා සිද්ධි කරගන්න ඕනෙ. සමහර ඒවා 10,000ක්. සමහර ඒවා 100,000ක්. ඒ විදියට සිද්ධි වුණා ම තමයි මන්තරේ වැඩ කරන්නෙ. වචන පැටලෙන්නැති ව උච්ඡාරනය කරන්න පුළුවන් වෙන්නෙ.
ගුරුන්නාන්සෙ ගෝලයෙක්ට මන්ත්ර සාස්තරේ දෙද්දි මුලින් පොඩි පොඩි මන්ත්ර ටිකක් දෙනවා. ගුරුන්නාන්සෙ ගුරුකම් කරන තැන්වලට එක්කං යනවා. පිදේනි, තටු, යහන් හදන්න ගෝලයාව උදව් කරගන්නවා. ගෝලයා මේවා බලලා ඉගෙන ගන්න ඕනෙ. අමුතුවෙන් වෙන ම මේවා කියලා දෙන්නෑ. සමහර දේවල් නං ගුරුන්නාන්සෙ කියලා දෙනවා. ඒක යි පරණ මිනිස්සු කියන්නේ මන්ත්ර ශාස්ත්රය අසා පුරුදු, දැක පුරුදු, හුරු පුරුදු, දැන පුරුදු වගේ දේවල්වලින් සකස් වෙන බව.
ගුරුන්නාන්සෙ දන්න හැම මන්ත්රයක් ම ගෝලයට දෙන්නෙත් නෑ. මොකද ඔහු දැනං හිටියා තියෙන තියෙන හැම මන්ත්රයක් ම හැමෝට ම පිහිටන්නෙ නැති විත්තිය. ඒ නිසා ඔහු මුලින් ගෝලය ගෙ නමේ අකුරුවල යි, මන්ත්රයෙ අකුරුවල යි ගැලැපීම බලනවා. එහෙම ගැලැපෙන, තෝර ගත්ත මන්ත්රවල අකුරු ගෝලය ගෙ නමේ අකුරුවලින් බෙදනවා. බෙදලා එන පිළිතුර අනුව යි ගුරුන්නාන්සෙ තීරණය කරන්නෙ මන්තරේ ගෝලයට පිහිටනව ද නැද්ද කියන එක. මේකට කියන්නේ මට මතක හැටියට සීහුම් මන්ත්ර බලනවා කියලා. ගෝලයාව ආම්බාං කරගන්න පුළුවන් මට්ටමකට එනකං ගුරු මුෂ්ටියක් තියාගන්නත් ගුරුන්නාන්සෙ පරිස්සම් වෙනවා.
සමහර මන්ත්ර තියෙනවා කීවට ඒවයෙ කිසි බලයක් නෑ. නමුත් කියනවා. උදාහරණයක් විදියට සර්ප විෂ වෙදකමේ සමහර මන්ත්ර. විෂ වෙදකමේ තියෙනවා විෂකුම්භ ගහේ මන්ත්රය කියලා එකක්. මේක බොහොම සද්දෙට ලෙඩාට ඇහෙන්න ලෙඩා ළඟ මතුරන්න ඕනෙලු. මේකෙන් කරන්නෙ ලෙඩා ගෙ හිත හදන එකලු. මේ තියෙන්නෙ විෂකුම්භ ගහේ මන්තරෙන් කොටසක්.
“… එදා නිල්වන් සර්පයා කෙළ වන මුගලන් මහ තෙරුන් වහන්සේ ගේ ඉන්ද්රා වස්තුවේ තෝ දෂ්ට කළේ එහෙයින් තෙල් කරවැල් මල් කරවැල් කුණු කරවැල් කුණු මී කරවැල් … පනින පොළොං අළු පොළොං අළු මී පොළොං ගැට පොළොං ගැට මී පොළොං … සර්පය සර්ප කූටකයා අනන්තයා මහ කෙළ නාග රාජයා මෙකී නොකී සාර දහසක් සර්පයින් ගේ ඉසත් මොළ කඩා කෑ උමාවතී නම් මම ය ඉර ආනුභාවෙන් බසීවා සඳ ආනුභාවෙන් බසීවා බුදුන් අනින් බසීවා එක් සියයක් රුසිවරයන් අනින් බසීවා ගුරුන් අනින් බසීවා අප අතින් බසීවා ඇලි ගුරුළු භාවනාවෙන් බසීවා ඇලි මුගටි භාවනාවෙන් බසීවා … කෑ මුඛය මකරය ගිනි ජලයෙන් දැවීමි තකරිය මකරිය කාලරාක්ෂිය යමි ය යම දූතිය දළ කඩා සුං කර හැරියෙමි නමෝ සම්බෝධියා අප බුදුන් ගේ ආඥාවෙන් ආනුභාවෙන් මොහු ගේ හිස් මුදුන පටන් කේසාන්තය දක්වා කේසාන්තයේ පටන් පාදාන්තය දක්වා ඇට ගත මාංස ගත කුලල් ගත යම් විෂක් ඇත්නම් ඒ සියලු විෂ මේ දිව්ය මන්ත්රානුභාවයෙන් පොළවට බැස භංග භංග ඒස්වාහඃ”
මන්ත්රය බොහොම දිග යි. අතරින් පතර කොටස් ටිකක් සටහන් කළේ මන්ත්රයෙ ස්වභාවය දැනගන්න අවශ්ය නිසා.
සමහර පැතිවල ගුරුන්නාන්සෙලාට මස් මාලු තහනම්. මළ ගෙවල්, කොටහළු ගෙවල් තහනම්. හැබැයි වන්නි හත් පත්තුවෙ, නුවර කලාවියේ ගොඩක් ගුරුන්නාන්සෙලාට එහෙම තහංචියක් නෑ. ඒවා තීරණය වෙන්නෙ ඒ අය ගණුදෙනු කරන අමනුස්සයන් ගෙ ගති ස්වභාවය එක්ක. ඕනෙවට වඩා දඟලන්න ආවොත් කඩවරයා, කම්බිලියා උනත් බඳින්න පුළුවන් මන්තර වන්නියෙ, නුවර කලාවියෙ ගුරුන්නාන්සෙලා ගාව තිබුණා. දෙයියන්ට දේවාලෙ හතර හීමාවට වත් කිට්ටු වෙන්න බැරි විදියට මතුරන්න මන්තර ඔවුන් ගාව තිබුණා.
සමහර ගුරුන්නාන්සෙලා කැමැති නෑ පිට ගුරුන්නාන්සෙලා ඇවිත් තමන් ගෙ ගමේ ගුරුකම් කරනවට. එහෙම කරනවා නං ගමේ ගුරුන්නාන්සෙ ගෙන් ඒකට අවසර ගන්න ඕනෙ. බුලත් අතක් දීලා ගරු සම්මාන ඇති ව යි ඒ අවසරෙත් ගන්නෙ. එහෙම නො වෙන තැන්වල දි පිට ගුරුන්නාන්සෙලාට ගුරුකම් කරන්න බැරි වෙන්න මන්ත්ර මතුරන්නත් පැරැණි ගුරුන්නාන්සෙලා දැනං හිටියා. මේ ගුරුකම්වලට කීවෙ ‘විජ්ජා පාලු’ කියලා. හැබැ යි ඉතින් දක්ෂ ඇදුරෙකුට මේ විජ්ජා පාලුවක් උනත් කපන එක ඒ හැටි දෙයක් වුණේ නෑ.
අපෙ පරණ ගුරුන්නාන්සෙලා දැනං හිටියා ආවේස වෙන යක්කුත් එක්ක කතා කරන භාෂාවත්. මේ වගේ භාෂා 18ක් තියෙනවලු. මේ තියෙන්නෙ එක භාෂාවකින් කියමන් කීපයක්.
කයිභාතිකරේ (ආවෙ කොහෙ ඉඳං ද?)
මාකාතා සාමා (කන්දස්වාමි දන්නව ද?)
ලෝමාතා හා ගාතා හරිකී (කාගෙන් ද උඹ වරං ගත්තෙ?)
මෙසේ ක්රලාඩි බහිතුඩ ජේතාකි ලංකාං (බොල යකා, තෝ මම කියන දේ අහනව ද?)
විෂ්ණුකී හරේප්ප්ර ජෝඩු (විෂ්ණු ගෙ අණ තියෙනවා නං උඹ යනව ද?)
බ්රාමිලාඩි ද්රෝන්තු (හූ කියපිය)
ඉප්පුඩ තාරුමේ (මෙහෙට වර)
කයිකුඩ මුක්කුඩල් (මට වැඳපිය)
මුක්කුඩ වෙරෙම්බුන් තෙයියේරු නායිල් කල් අඩේ පේසනල්ල (ගෙරි යකා, මම කියන හැටියට නටපිය)
මේවා ගැන ලියන්න ගියොත් මට දිගින් දිගට ම ලිපි ගණනාවක් ලියන්න පුළුවන්. ඒ තරම් දේවල් මන්ත්ර ශාස්ත්රය එක්ක බැඳිලා තියෙනවා. මං මේ කළේ බොහො ම පුංචි හැඳින්වීමක්. කලින් කියපු විදියට මිනිස්සු රවට්ටන දේවාල කඩකාරයො ගාවින් නෙවෙයි, ගම්බද පාරම්පරික යකැදුරෝ ඇසුරු කළොත් මේ වගේ දේවල් ගොඩක් ඔබට දැනගන්න ලැබේවි.
මන්ත්ර ශාස්ත්රය, සූක්ෂම නක්ෂත්ර ක්රම, ඉන්ද්ර ගුරුළුව, පංච පක්ෂිය, යම කාලය, රාහු පිම්ම, යම පිම්ම, දඬු මරණය මේවා එක්ක බැඳුණු සංස්කෘතිය කොයි තරම් අපූරු ද කියලා හිතෙන්නෙ මේ ගැන හොයලා බලද්දි. ලංකාවේ මේවා ගැන හරියට දන්න යකැදරෝ ඉන්නෙ කීයෙන් කී දෙනා ද කියලා මට අවබෝධයක් නෑ. නමුත් එහෙම අය ඉන්නවා. හැබැයි මාධ්ය සංසර්ශන පවත්වන්නෑ. ඒවට කැමතිත් නෑ.
මට දවසක ගැටලුවක් මතු වෙනවා. මම අත්ත ගෙන් අහනවා මෙහෙම.
“ඇයි අත්තෙ හරියට මන්ත්ර සාස්තරේ දන්න යකැදුරො ලංකාවෙ දැං අඩු?”
බුලත් විටක් හප හප අත්තා උත්තරයක් දෙනවා.
“සමහර කාල තියෙනවා ඒ ඒ කාලවල අපෙ සමහර සාස්තර යට යනවා. අපිට ඒවා ආයෙ මතු කරන්න හරි අමාරු යි. අපි එහෙම කරන්න ඕනෙත් නෑ. ඒක තම යි ඒ කාලවල ස්වභාවය”
කොහොමත් මම හිතුවක්කාරයා නිසා මගෙ අදහස වෙනස්. මට අහන්න ලැබෙන ඒවා, මම හොයාගන්න ඒවා, මම ඉගෙනගන්න ඒවා මම ලියනවා. ඉදිරියටත් පුළුවන් තරමට ලියාවි. ප්රසිද්ධ කරන්න බැරි දේවල්, ප්රසිද්ධ කරන්න එපා කියන දේවල්, පිටට දැනගන්න දෙන්න එපා කියන දේවල් මගෙ පෞද්ගලික ලිපිගොනුවලින් දැනට නැතත් කවර දා හෝ කාට හෝ හමු වේවි. මේ දැනුම විනාශ වේවි යන බිය නිසාත්, මේ දැනුමට, සංස්කෘතියට තියෙන ලෙංගතුකම නිසාත් ඉදිරි දවසක ඔබට මම නො කී දේවලුත් ලියා තබනවා.
ඒක කොයික වෙතත්…
අපෙ මන්ත්ර ශාස්ත්රය ගැන පුදුම වුණු අය අතීතයෙත් හිටියා. කලින් ලිපියක වගේ මෙ තැනදිත් මට බ්රෝහියර් ගෙ පැත්තට හැරෙන්න වෙනවා (Discovering Ceylon).
සුමනසිංහ කියලා යකැදුරෙක් එක අවස්ථාවක කරපු ශාන්තිකර්මයක් ගැන බ්රෝහියර් කියනවා. එක්තරා තරුණියකට අමනුෂ්යයෙක් ආවේශ වෙනවා. සුමනසිංහ ගුරුන්නාන්සෙ යන්නෙ ඒ අමනුෂ්යයාව ඉවත් කරන්න. මේ අවස්ථාව දැක බලා ගන්න බ්රෝහියර් එකතු වෙනවා. යකැදුරා මන්ත්ර ජප කරනවා. හොඳට ගිනියම් කරපු යකඩයක් අරගෙන එන මිනිස්සු දෙන්නෙක් අමනුශ්යයා ආවේෂ වෙලා ඉන්න තරුණිය ගෙ දෙපතුලට ගෑවෙන නොගෑවෙන විදියට ගිනියම් කරපු යකඩය තියනවා. ගිනියම් දෙයක් සිසිල් දෙයක ස්පර්ශ වෙද්දි ඇහෙන හඬක් බ්රෝහියර්ට ඇහෙනවා.
මේ අතර බ්රෝහියර් දකිනවා පිදේනි තටුවෙ තියෙන බුලත් කොලයක් ගාවට යන යකැදුරා බුලත් කොලේට ඔලුව පාත් කරගෙන බලාගෙන ඉන්න විදිය. ඒත් එක්ක ම ආයෙත් ගැඹුරු හඬින් මතුරන්න පටන් ගන්නවා. යකැදුරා ආවේෂ වෙලා ඉන්න යක්ෂයාට කියනවා ඇවිත් තටුවෙ තියෙන බුලත් කොලේට අත ගහන්න කියලා. මේ විදියට දිගින් දිගට ම මතුරගෙන යද්දි පිදේනි තටුවෙ තියෙන බුලත් කොලේ චලනය වෙන්න පටන් ගන්නවා. මේවා බ්රෝහියර් දැකපු දේවල්. ඔහු ලියලා තියෙන දේවල්. මේ විදියට චලනය වෙවී තිබුණු බුලත් කොලේ අවසානෙ ඉස්සරහට වැටෙනවා. කොහොමහරි සුමනසිංහ යකැදුරා තරුණියට ආවේෂ වෙලා හිටපු යක්ෂයාව ඉවත් කරනවා. ඉවත් කරන්නෙ, ඉවත් වන බවට සලකුණකුත් පෙන්වන්න කියලා යක්ෂයාට අණ කරමින්. ඒත් එක්ක ම කොස් ගහක අත්තක් විශාල ශබ්දයක් නංවමින් බිම වැටෙනවා. බොහොම දිග විස්තරයක් මේ ගැන බ්රෝහියර් ලියන්නෙ. ඒක මම සටහන් කළේ පුළුවන් තරම් කෙටියෙන්. කොහොම නමුත් බ්රෝහියර් තමන් ගෙ අත්දැකීම අවසන් කරන්නෙ මේ විදියට.
“… කෙ සේ වුව ද විස්මයට හේතු වූයේ ඇගේ යටිපතුල්වල මඳ වශයෙන් හෝ ගිනියම් වූ යකඩයෙන් පිළිස්සීමක සළකුණකුදු දක්නට නොවී ම යි.
එයටත් වඩා පුදුම සහගත දෙය නම්, විසල් කොස් අත්ත කඩා වැටීම යි. නිසැකව ම එය කපා නොමැති බව පෙනෙන්නට තිබිණ. ඒ ගුප්ත රහස අවබෝධ කර ගැනීමට තරම් ශක්තියක් මට නොතිබිණ!”
ගම්මැද්දේ උරුමය ලිපි එකතුවට අපේ පාරම්පරික මන්ත්ර ශාස්ත්රය ගැන මේ විදියට මම ආයෙ ලිපි ලියාවි ද කියන එක සැක යි. එය තීරණය වෙන්නෙ ලිපියට ලැබෙන ප්රතිචාර අනුව. ටිකක් වැඩිපුර ලියැවුණා. දැනට නවතිනවා.