අලි කෙඳි සහ අලි මන්තර
සාමාන්යයෙන් පැරැණි ගැමියෝ අලින්ට විතරක් නෙවෙයි, වලහාට, කිඹුලාට, කුළු හරකාට, සර්පයාට, බල්ලාට මේ විදියෙ විවිධ සත්තුන්ට මන්ත්ර භාවිතා කළා, ඒ සත්තුන් ගෙන් විවිධ උවදුරු වළක්වාගන්න. හේන්, කුඹුරු වගේ දේවල්වල වැඩ කරද්දිත් මම කලින් සටහන් කරපු සත්තු වගේ ම, විවිධ කෘමි සතුන් ගෙන් එන උවදුරු වළක්වා ගන්නත් මන්ත්ර භාවිතා කරලා තියෙනවා. තොටගමුවේ රාහුල හාමුදුරුවො සටහන් කරවන්න ඇති කියලා විශ්වාස කෙරෙන, කිඹුල් මන්ත්රය සහිත ශිලා ලේඛනය ගැන බොහෝ දෙනෙක් දන්නවා ඇති. ඒ ලේඛනය මේ වෙද්දි ප්රකාශයට පත් වෙලත් තියෙනවා.
මුලින් කියන්න ඕන කාරණාවක් තියෙනවා. මන්ත්ර ශාස්ත්රයේ උගන්වන සමහර මන්ත්ර තියෙනවා බොහෝ සත්ත්වයන්ට පොදු. උදාහරණයක් විදියට අලියා, කුළු හරකා, වලහා වගේ සත්තුන්ට මතුරන පොදු මන්ත්ර තියෙනවා. දිව්ය රාජ දැහැන ඒ වගේ මන්ත්රයක්. දිව්ය රාජ දැහැන වගේ මන්ත්රයකින් තවත් වැඩ බොහොමයක් කරගන්න පුළුවන්. අමනුෂ්ය උපද්රව, විවිධ ආබාධ වගේ ඒවටත් ඒ මන්ත්රය භාවිතා කරනවා. ඒ වගේ ම මම කලින් සඳහන් කරපු විදියෙ සතුන් ගෙන් වෙන විවිධ උපද්රවවලටත් ඒ මන්ත්රය භාවිතා කරනවා. ඊට අමතර ව ඒ ඒ සතුන්ට වෙන් වුණු මන්ත්රත් තියෙනවා. වෙනත් විදියකට කියනවා නං සමහර මන්ත්ර තියෙනවා, ඒ මන්ත්රයේ බලය ක්රියාත්මක වෙන්නෙ අලියාට විතර යි, සමහර විට කුළු හරකාට මන්ත්ර තියෙනවා, ඒ මන්ත්රයේ බලය ක්රියාත්මක වෙන්නෙ කුළු හරකාට විතර යි. බල්ලාට, වලහාට ඒ මන්ත්රයෙන් බලපෑමක් කරන්න බෑ. ඔය විදියටත් මන්ත්ර තියෙනවා.
මේවා පොදු මන්තර. මාතෘකාව අලි මන්තර ගැන නිසා ඒ ගැන කතා කරමු.
අලි මන්තරයක් (හස්තීන් වෙනුවෙන් පමණක් සකස් වුණු මන්තර) මූලික කොටස් දෙකකින් සමන්විත වෙලා තියෙනවා. එයින් මුල් කොටස හඳුන්වන්නෙ ‘දේව බැස්ම’ කියලා. දෙවැනි කොටස තම යි අලියාට හෝ ඇතාට කියන්නෙ. සාමාන්යයෙන් ගැමියන් අතර විශ්වාසයක් තියෙනවා, මනුෂ්යයෙක් අත නො ගෑ හෝ මනුෂ්යයෙක් පිටේ නො නැගපු, බඩ යටින් නො රිංගපු අලියෙක් ගෙ පිටේ දෙවි කෙනෙක් ඉන්නවා කියලා. ඒ නිසා අලි මන්තරේක මුල් කොටසින් කරනවා, ඒ වගේ අලියා ගෙ පිට උඩ ඉන්න දෙවියා ව (අමනුෂ්යයෙක් කියලා දැනට අපි හිතමුකො) බිමට බස්සන එක. හස්තියා ගෙ පිටේ ඉන්න අමනුෂ්යා බිමට නො බස්වා කියන මන්ත්රයෙන් ප්රතිඵල නැති බවත්, ඇතැම් විට හස්තියා ගේ පහර කෑමෙන් මන්ත්රය ජප කරන පුද්ගලයා මිය යන්න පුළුවන් හැකියාව ඉහල මට්ටමක තියෙන බවත් තමයි ගැමියන් ගේ විශ්වාසය. ඒ නිසා අලි මන්තරේක මුල් කොටසින් කරන්නෙ, හස්තියා ගේ පිටේ ඉන්න අමනුෂ්යාව ඉවත් කරන එක. සමහරු කියන්නේ අලිය ගෙ පිටේ මහසෝනා ඉන්නවා කියලා. ඒ විදියෙ ඉවත් කිරීමකට භාවිතා කරන අලි මන්තරයක කොටසක් පහළින් සටහන් කරන්නම්.
“ඕන් නමෝ සිව් පොටක් දරාගෙන සිව් පොටක් පොරවගෙන අනද මහා තුඩියානන් කැලේ පීරං මගට බැහු අප්පේ බැහු. ඕන් නමෝ අපාලි කපාලි ත්රී කුණ්ඩක්කාලි බහග බීග බහ අම්මේ බහ අප්පේ බහ…” (මන්ත්රය සම්පූර්ණයෙන් සටහන් කොට නැති බව සළකන්න).
අලියාට මන්තරේ මතුරන්නේ ඊට පස්සෙ. ඉහත දේව බැස්මට ගැළැපෙන අලි මන්තරේ මම සටහන් කරන්නෙ නැහැ. ඒ නිසා වෙනත් අලි මන්තර කීපයක් මම සටහන් කරන්නම්. නමුත් ඒවා භාවිතා කළ යුතු ආකාරය මම සටහන් කරන්න ඉදිරිපත් නොවෙන නිසා අත්හදා බැලීමෙන් වළකින්න. පහත තියෙන්නෙ අලි මන්තර තුනක්.
“ඕන් ශ්රී ජංතාහාරෙ භාවාතු ආරභන්සීතුං” (අලියාට)
“ඕන් හස්තී සීනත්තෝඩා දෙසිවසනානී ත්රිමුන්ඩයි තෝඩා දේසී” (ඇතාට)
“ඕං ග්රිං ග්රිං නාලාග්රි වන ග්රි මේරුගිරි සෝමපතිගිරි මම දේවග්රි ඊස්වර කන්දකුමාර බුද්ධං ශ්රීං දිරි දිරි දනපාලයානං දිරි”
හැබැයි මේ අලි මන්තර භාවිතා කරන විශේෂිත ආකාරයක් තියෙනවා. සාමාන්යයෙන් ගැමියන් පිළිගත් සම්මුතීන් කීපයකට යටත් ව තමයි අලි මන්තර භාවිතා කරන්නෙ. මම පහළින් සටහන් කරන විදියෙ හස්තීන්ට අලි මන්තර ජප කරන්න ගැමියො කටයුතු කරන්නෙ නැහැ.
පාඩුවෙ වතුර බිබී ඉන්න හස්තීන්. පැටවු එක්ක පාඩුවෙ ඉන්න ඇතින්න. පාඩුවෙ දළු කකා ඉන්න හස්තියා. ඉතා කුඩා අලි පැටවු. ඉතා මහළු හෝ බොහෝ රෝගී හස්තීන්. මේ වගේ සත්තුන්ට අලි මන්තර භාවිතා කරන්නෙ නැහැ. කුඩා අලි පැටවු, ඉතා මහළු හෝ ඉතා රෝගී හස්තීන් ආදින්ට අලි මන්තරවල ශක්තිය දරාගන්න බැහැ කියලා විශ්වාසයක් තියෙනවා. ඒ නිසා ඒ ශක්තිය දරාගන්න බැරි හස්තීන් බොහෝ වෙලාවට අලි මන්තර නිසා මිය යනවා කියන එක යි විශ්වාසය. අලියාටත්, තමන්ටත් හානි නොවෙන විදියට හුදෙක් තමන් ගෙ ආරක්ෂාව සලසා ගන්න එක අරමුණු කරගෙන තම යි ගැමියො අලි මන්තර ජප කළේ.
මේකෙ තව පැත්තක් තියෙනවා. අලියෙක්, ඇතෙක් පන්නන්න අලි මන්තර ම ඕනෙ නෑ. ටිකක් සද්දෙන් කෑ ගැහුවොත් හරි, අහම්බෙන් මුලිච්චි වෙන ඇතා, අලියා ඉස්සරහ නො සෙල්වී බලා සිටියොත් හරි සතා බිය ව පලා යන බවත් සමහරු කියනවා.
අනිත් අතට ගම්වල හැදුණු වැඩුණු මිනිස්සු විදියට අපිත් දන්න දෙයක් තමා, ගොඩක් වෙලාවට මොන හානිය කළත් බොහෝ ගැමියන් හස්තීන්ට වෛර කරන්නෙ නැති එක. ගොඩක් වෙලාවට හස්තියෙක් යම් අවස්ථාවක කඩා වැදුණොත් හොඳින් කතා කරලා ආයෙ කැලේට යන්න කියන ඉල්ලීම ඇතැම් ගැමියො කරනවා. දැන් නං අලි වෙඩි, රතිඤ්ඤා වගේ දේවල් තමා බොහෝ දෙනෙක් පාවිච්චි කරන්නෙ. මම මේ කතා කරන්නෙ වර්තමානය ගැන නෙවෙයි. නමුත් වර්තමානයෙත් ඉන්නවා පරණ විදියට ම කටයුතු කරන සමහර උදවිය ගම්වල. ඒ වගේ ම ඔය කාරණා එක්ක පවතින විවිධ කට කතාත් රාශියක් මට අහන්න ලැබිලා තියෙනවා. හස්තියෙකුට බැන්නොත් හස්තියකු ගේ පහරකෑමකින් මිය යන්න වෙනවා කියලා සමහර ගම්වැසියො විශ්වාස කරනවා. ඒවට උදාහරණ විදියට අතීත කතා රාශියක් අහගන්න පුළුවන් මේ ගැන දැනමුතුකම් තියෙන ගැමියෙක් හමු වුණොත්.
තව විශේෂ කාරණාවක් තියෙනවා. ගොඩක් වෙලාවට අලියා හෝ ඇතා කියන නම පාවිච්චි කරන්න කටයුතු කරන්නෙ නෑ, ඒ වගේ සත්තු නිතර නිතර පැමිණෙන පැතිවල ගැමියො. මහ එකා, ලොකු පුතා වගේ නම් තමයි පාවිච්චි කරන්නෙ. ඒ විදියට හස්තීන්ට කතා කරපු අවස්ථා කීපයක් ගැන මටත් අත්දැකීම් තියෙනවා.
ගොඩක් වෙලාවට අලියෙක් තමන් ගමන් කරපු පැරැණි මාර්ගය වෙනස් කරන්නෙ නෑ කියලා පැවැසෙනවා. ඔහු කොයි තරම් කාලයකින් ආවත් එන්නෙ මුලින් තමන් ගමන් කරපු මාර්ගයේ ම බව යි සඳහන් වෙන්නෙ. ගොඩක් වෙලාවට මිනිස්සු මේ හස්තීන් ගමන් ගන්න මාර්ග හරස් කරලා එක එක ඉදි කිරීම් නිර්මාණය කර ගැනීම, ඒ මාර්ග හෙළි පෙහෙළි කරලා තමන් ගෙ විවිධ වැඩවලට යොදා ගැනීම වගේ ඒවත් එක්ක එක පැත්තකින් අලි මිනිස් ගැටුමේ ආරම්භය ඇති වුණා ද කියලත් සැකයක් ඇති වෙනවා. හැබැයි පැරැණි ගැමියො දැනගෙන හිටියා හස්තීන් ගමන් ගන්නා මාර්ගය. ඒවා මගහැරලා තම යි ගොඩක් වෙලාවට තමන් ගෙ වැඩ කටයුතුවලට අවශ්ය වනය හෙළි පෙහෙළි කිරීම් කළේ.
තව එක කාරණාවක් කියන්න ඕන. කිසියම් අවස්ථාවක හස්තියෙක් කාගෙ හරි ඉඩමකට කඩා වැදුණොත්, ඉඩමෙ ඉන්න පිරිමියා තමා කතා කරලා හස්තියාට නැවැත පිට ව යන්න කියලා ඉල්ලීම් කරන්නෙ. කාන්තා කටහඬක් ඇහුනොත් හස්තියා පිට ව යන්නෙ නෑ කියලා විශ්වාසයකුත් තියෙනවා.
මේත් එක්ක ම බැඳිලා තියෙන කාරණාවක් නිසා අලි කෙඳි ගැනත් කියන්නම්.
පැරැණි ගැමියො විශ්වාස කළා ශරීරය ස්පර්ශ වන ආකාරයෙන් අලිකෙන්දක් මුදුවකට හෝ සුරයකට දාලා පැළැඳගත්ත ම විවිධ ග්රහ අපල වගේ දේවල්වලින් මිදෙන්න පුළුවන් කියලා. හස්තියෙක් වගේ තේජසක් අලි කෙන්දක් පැළඳගෙන ඉන්න පුද්ගලයා සතු වෙනවා කියලත් විශ්වාස කළා. බොහෝ අතුරු ආන්තරාවලටත් අලි කෙන්දෙන් පිහිටක් ලැබෙනවා කියලා මිනිස්සු හිතුවා. අලි කෙඳි විතරක් නෙවෙයි, කොටි දත්, සිංහ දත් වගේ ඒවත් මිනිස්සු පැළැඳ ගත්තෙ මේ වගේ අරමුණුවලින්.
සමහර විට හස්තියා සම්බන්ධයෙන් පැරැණි මිනිස්සු අතර පැවැති විශ්වාසත් මේ වගේ දේවල්වලට මිනිස්සුන් ව පොළඹවන්න ඇති. කලින් කීවා වගේ සාමාන්‍ය ගැමියො විශ්වාස කළා අලියා ගෙ පිටේ දේවතාවෙක් වැඩ සිටින බව. සමහර විට මේ වගේ විශ්වාසත් එක්ක හස්තියා සම්බන්ධයෙන් තිබුණු ගෞරවය අලි කෙඳි වගේ දේවල් එක්ක බැඳුණු විවිධ පිළිගැනීම්වලට මිනිස්සු යොමු කරන්න ඇති.
ගම්වල ජීවත් වුණු යකැදුරෝ ගාව අලි කෙඳි ජීවම් කරන මන්ත්රත් තිබුණා. හස්තිරාජ බන්ධනය වගේ මන්ත්රවලින් අලි කෙඳි ජීවම් කළා. සමහර යකැදුරෝ කියන විදියට නාලාගිරි බන්ධනයත් අලි කෙඳි ජීවම් කරන්න සුදුසු මන්ත්රයක්ලු. මේ මන්ත්රවලින් ජීවම් කරන අලි කෙන්දක් කොයි තරම් බලගතු ද කියනවා නම්, මේ විදියෙ ජීවම් කරපු අලි කෙන්දක් පැළැඳගෙන ඉන්න කෙනෙක්ට ගිනි සැර, වෙඩි සැර, අකුණු සැර වගේ දේවල් වුණත් වදින්නෙ නැහැ කියලා කියනවා. අත්හදා බලලා නැති නිසා මේවයෙ ඇත්ත නැත්ත මම දන්නෙ නැහැ. මම මේ ලියන්නෙ පැරැන්නන් විශ්වාස කළ දේ.
මේ විදියට ජීවම් කරපු අලි කෙන්දක් හරි අලි කෙන්දක කොටසක් හරි රන් සුරයක හෝ රිදී සුරයක දාලා පැළැඳගන්නවා. නැත්නම් අලි කෙන්ද හෝ අලි කෙන්දක කොටසක් තැන්පත් කරන්න පුළුවන් විදියට විශේෂයෙන් සකස් කරපු රන් හෝ රිදී මුදුවක අලි කෙන්ද දාලා පැළැඳගන්නවා. ගොඩක් වෙලාවට ඔය ක්රම දෙකෙන් එකක් තමා භාවිතා කරලා තියෙන්නෙ.
තව කාරණාවක් තමා නිවැරැදි ව ම අලි කෙන්දක් අඳුනගන්නෙ කොහොමද කියන එක සම්බන්ධයෙන් ගැමියන් අතර තිබුණු පිළිගැනීම. මම අහලා තියෙන විදියට ඇත් දළ කැබැල්ලක අලි කෙන්ද ඔතලා පහන් දැල්ලකින් පිච්චුවට අලි කෙන්ද පිච්චෙන්නෙ නැහැ කියලා කියනවා. ඒකත් මම අහලා තියෙන දෙයක් මිසෙක, ඇත්තට ම එහෙම වෙනවද කියලා පරීක්ෂා කරලා බලලා නැහැ. ඒ නිසා මේවයෙ ඇත්ත නැත්ත ගැන මට වග වෙන්න බැහැ.
අලි කෙන්ද කියන එක මේ විදියට පළඳින්න විතරක් නෙවෙයි පැරැන්නො පාවිච්චි කළේ. විශේෂයෙන් මන්ත්ර ශාස්ත්රයේ යම් යම් අවස්ථාවලදිත් අලි කෙඳි පාවිච්චි කෙරිලා තියෙනවා. පැරැණි යකැදුරෝ ගාව තිබුණා ‘කම්බිලි නූල’ කියලා හඳුන්වන තරමක ගණකමක් සහිත ලණුවක් ආකාරයෙන් ගොතපු නූලක්. මම දැකලා තියෙන කම්බිලි නූල් නම් සාමාන්යයෙන් කොහු ලණුවකටත් වඩා ගණකම්. මේ කම්බිලි නූල් හදන්න පාවිච්චි කරන්නෙ මන්ත්ර ශාස්ත්රයෙ නිතර ම විවිධාකාර වැඩවලට නිර්දේශ කරලා තියෙන කන්යා නූල්, අලි කෙඳි වගේ දේවල්. කන්යා නූල් ක්රම කීපයකින් සකස් කරගෙන තියෙනවා. ඒවා ගැන මම වෙන ම ලිපියකින් ලියන්නම්.
ගොඩක් වෙලාවට යකැදුරෝ තදබල අමනුෂ්යයො පන්නන්න යද්දි කම්බිලි නූල අරගෙන යන්නෙ. දැපනෙ වැටෙන්නැති යක්ෂයෙක් දැපනෙ කරගන්න, ආවේෂ කරගන්න වගේ ම සමහර වෙලාවල්වල යකුන් බඳින්නත් කම්බිලි නූල් පාවිච්චි කරලා තියෙනවා. ආවේශ වෙන්නෙ නැති හෝ දැපනෙ වැටෙන්නැති යක්ෂයෙක් දැපනෙ කරගන්නෙ කම්බිලි නූලට මතුරලා ආතුරය ගෙ හිසේ බැඳීමෙන්. තව තව විවිධාකාර දේවල්වලට මේ කම්බිලි නූල් පාවිච්චි කරනවා. ඒ වගේ ම තමා ගොඩක් වෙලාවට මේ කම්බිලි නූල් ඇදුරු පරම්පරාවලිනුයි උරුම වෙන්නෙ. ඒ නිසා වර්තමානයෙ නං බොහෝ ඇදුරො ගාව කම්බිලි නූල් නැහැ කියන එක යි මගෙ කල්පනාව. මොකද සමහර විස්තර කතා කරන්න මම හිතවත් වුණු ඇදුරන් ගෙන් සුළුතරයක් ගාව විතරයි කම්බිලි නූල් තිබුණෙ.
ඊගාවට කියන්න ම ඕනෙ කාරණාවක් තියෙනවා. ඒ තම යි මේ වගේ දේවල්වලට ගන්න අලි කෙඳි අලිය ගෙ නැට්ටෙ අග තියෙන කෙඳි ම වෙන්න ඕනෙ. එතකොට කොහොමද මේ කෙඳි ගන්නෙ? ගොඩක් වෙලාවට අහිංසක සත්තු මැරෙන්න හේතුවක් තමා මේ කෙඳි ගන්න පිළිගත් ක්රමය ගැන බොහෝ දෙනෙක් තුළ පවතින අනවබෝධය. මන්ත්ර ශාස්ත්රයෙ උගන්නන විදියට හැම අලිය ගෙ ම අලි කෙඳිත් මේ වගේ වැඩවලට ගන්නෙ නැහැ.
මනුෂ්යයෙක් අත ගාපු, පිටේ නැගපු හෝ බඩ යටින් ගියපු අලියෙක් ගෙ කෙඳි මේවට ගන්නෙ නැහැ. මොකක්හරි ආබාධයකින් පෙළෙන අලියෙක් ගෙ කෙඳි ගන්නෙත් නෑ. මැරෙන්න වැටිලා ඉන්න අලියෙක් ගෙ කෙඳි ගන්නෙත් නෑ. මැරිච්ච අලියෙක් ගෙ කෙඳි ගන්නෙත් නෑ. පණ පිටින් ඉන්න අලියෙක් ගෙ උණත් මිනිස්සු ගිහින් ගලවන කෙඳි මේ වැඩවලට ගන්නෙත් නෑ. නිවැරැදි ව ම මේ වැඩවලට සුදුසු යි කියලා පිළිගැනෙන්නෙ මනුෂ්යයෙකු ගෙ මැදිහත්වීමකින් තොර ව ගැලවෙන අලි කෙඳි.
ඊගාව ප්රශ්නය ඒ කොහොමද කියන එක. ගොඩක් වෙලාවට අලියෙක් කැලේ ඇවිදිද්දි අලිය ගෙ වලිගය විවිධ කටු පඳුරු, ගස් පොතු වගේ දේවල්වල බැදිලා කෙඳි ගැලැවෙනවා. මේ ගැලැවෙන කෙඳි කටු පඳුරුවල රැඳිලා තියෙනවා. ගස්වල පොතු අතරෙ රැඳිලා තියෙනවා. මේ කෙඳි තමා විවිධ දේවල්වලට පැරැන්නො ගත්තෙ. ඒ වගේ ම තමා ඌරන් ගෙ පිටේ තියෙන රෝමත් අලි කෙඳිවල ස්වභාවයෙන් ගණට වැවිලා තියෙන ඒවා. ඒ වගේ ඌරු කෙඳිත් කැලේ තියෙන්න පුළුවන්. හැබැයි මේ ගැන හරියට දන්න කෙනාට පුළුවන් අලි කෙඳි සහ ඌරු කෙඳි වෙන් කරලා අඳුනගන්න.
සමහර තැන්වල අපිත් දැකලා තියෙනවා විවිධ ආබාධ නිසා මැරෙන්න වැටිලා වේදනාවෙන් ඉන්න අලින් ගෙ කෙඳි සමහර මෝඩ මිනිස්සු ගිහින් ගලවන හැටි. කෙඳි විතරක් නෙවෙයි. සමහර වෙලාවට අලිය ගෙ ඇඟේ තියෙන රෝම කූප පවා ගලවනවා. අවම වශයෙන් ඒ සතා ගෙ වේදනාව ගැන අනුකම්පාවක් වත් තියෙනවා නං හිත් පිත් තියෙන මනුස්සයෙක් ඔය වැඩේ කරන්නෙ නැහැ. මොකද මම කලින් කීවා වගේ ඒ වගේ සතෙක් ගෙ කෙඳි ගත්තත් තේරුමක් නැහැ. ඒ වගේ කෙඳි මම කලින් කියපු විදියෙ වැඩවලට පාවිච්චි කරන්නෙ නැහැ. ඒ නිසා අලි කෙඳි ගන්න කියලා මේ සත්තු මරන එකේ හරි, මැරෙන්න වැටිලා ඉන්න සතෙක්ට වද දිදී කෙඳි ගලවා ගන්න එකෙන් හරි කිසි වැඩක් වෙන්නෙ නැහැ පැරැන්නන් ගෙ පිළිගැනීම්වල විදියට.
අලි කෙඳි ගැන කියද්දි තව පොඩි කාරණාවක් කියලා මම ලිපිය ඉවර කරන්නම්. මම අහලා තියෙන තව කතාවක් තමා ගොඩක් අලි කුඩා කාලෙ රණ්ඩුවීම් වගේ දේවල්වලින් වලිගයෙ කෙළවර කඩාගන්නවා කියන එක. ඒ කාරණාවෙත් ඇත්ත නැත්ත කොහොමද කියන්න මම දන්නෙ නැහැ. ඒකත් මම අහලා තියෙන කතාවක්.
අලි-ඇතුන් එක්ක බැඳුණු ගැමි සංස්කෘතිය අපූරු යි. සානුකම්පිත යි. වෙන ම පර්යේෂණයක් කරන්න පුළුවන් තරම් සුන්දර යි.