බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ.

අප් යනු ජලයයි. එය ස්ත්‍රී ලිංග පදයකි. සර යනු හැසිරීමයි. මෙයින් පෙනී යන්නේ අප්සරාවන් සහ ජලය අතර අවියෝජනීය සමිබන්ධයක් පවතින බවයි. ඇතැමෙකුගේ මතය වන්නේ විෂ්ණූ කිරි සයූර කළඹන අවස්ථාවේ දී ඔවුන් පහළ වූ බවයි. ගාන්ධර්ව නම් අනූරූප දේවතාවන්ගේ වල්ලභියන් ලෙස මොවුන් පිළිබඳ ඍග් වේදයේ විටින් විට සඳහන් වේ. නමුත් එහි නමින් සඳහන් වන එකම අප්සරාව ඌර්වශී පමණි. එහි උෂස් සූක්තයේ උෂස් හෙවත් ඌර්වශී දෙවඟන සූක්ත විස්සකින් පමණ අමතනූ ලැබ ඇත. ඇය සියලුම බැතිමතුන් අවදි කරවා, යාග ගින්න අවූළුවා දෙවියන්ට සේවය කරයි. හිරු සමඟ සමීප සබඳතාවක් පවත්වන ඌර්වශී දෙවඟන සියලු පණ ඇති සතුන් පූබූදවයි. මැය ඉඩා නමැති ක්ෂත්‍රීය කාන්තාවගේ පූත්‍රයා වන පූරූරවස් හා පෙමින් බැඳුණු බව ශතපථ බ්‍රාහ්මණයේ එයි. මෙම ප්‍රේම පූරාවෘත්තය පිළිබඳ සෘග්වේද ගීතිකාවක ද සඳහන් වෙයි. යජූර් වේදයේ දැක්වෙන පරිදි අග්නි, සූර්ය, චන්ද, වාත, යාඥ, මනස් යන ගාන්ධර්වයන්ගේ භාර්යාවන් වන්නේ පිළිවෙළින් ඕසධී, මරිචී, නක්ෂත්‍ර, ජල, දකෂිණා හා සූක්තය.

අප්සරාවන්ගේ ප්‍රභවය පිළිබඳ විවිධ මත පවතී. යට සඳහන් කළ පරිදි ක්ෂිර සමූද මන්ථනයෙන් ඔවුන් පහළ වූ බව එක් මතයකි. එ බව සඳහන් වන්නේ රාමායණ වීර කාව්‍යයේයි. ඇතැම් තැනක සඳහන් වන්නේ ඔවූන් දක‍්ෂගේ දියණියක වූ කපිලාගෙන් උපන් බවයි. හරි වංශයේ සඳහන් වන්නේ අනියම් අප්සාරවන්ගේ උපත බ්‍රහ්ම සංකල්පයෙන් ද අනෙකුත් අප්සරාවන්ගේ උපත දක්ෂගේ දූවරුන් වන මූනි, ප්‍රාධා, කපිලා, අරිෂ්ටා යන සිව් දෙනාගෙන් සිදු වූ බවය.

අප්සරාවන් නිතර ගැවසෙන තැන් හිටියට මහා භාරතයේ සඳහන් වන්නේ මලය පර්වතය, සරස්වතී ගඟ අසබඩ පිහිටි මහේන්ද්‍ර, සූභූමික යන තීර්ථ, කාවේරි, ගංගා, ජමූනා ආදී නදී, නන්දන උයන මන්දාර පව්ව මූඤ්ජවත් යන ස්ථානත් දේවසභාත්ය. ඇතැම් රුක් මූදුන් අරක්ගෙන ද අප්සරාවෝ වෙසෙති. එම වෘක්ෂ අතර ප්‍රධානත්වය හිමිවන්නේ උදබර හා නූග ගස්වලටයි. මෙම ගස්වල අප්සරාවන් අරක් ගෙන සිටින බැවින් මේවාට හානි නොකළ යූතු යැයි මතයක් අද පවා පවතී. ජලයේ ක්‍රීඩා කිරීමට බෙහෙවින් කැමැත්තක් දක්වන ඔවූහූ ජලයෙහි වාසය කරන අතර මනූෂ්‍යයන් සමිමූඛ වීමෙන් වැළකීම සඳහා ගංගාවන්හි හා විශාල ජලාශයන් හි වසන බව (අථර්වි) අථර්ව වේදයේ සඳහන්ය. නිරුවතින් ජල ස්නානය කරන ඔවූහූ ජලස්නානය කරන විට අනෙකූන්ගේ ඇසට හසූ වීමට ලැජ්ජා ඇත්තෝය.

බෙහෙවින්ම රූමත් කලාකාමී දිව්‍ය කොට්ඨාසයක් වන මොවුන්ගේ රූපශ්‍රීයේ රහස බ්‍රහ්මචාරීව විසීම බව මහාභාරතයේ සඳහන්ය. ඔවූන්ගේ ශරීරයන්ගෙන් නිරන්තරයෙන් සූවඳ වහනය වේ. අනූරාගය උපදවන නර්තනයෙහි සමත් ඔවූහූ රන් මාල, මෙවුල්දම්, පාදජාලා ආදිය පැළඳ සිටින බවත් මූදන් පහක් වන සේ හිස කෙස් ගොතා ඇති බවත් එහි දැක්වෙයි. ඔවුන්ගේ ප්‍රියතම සංගීත භාණ්ඩ අතර මූරජ, වල්ලකී, විණා ප්‍රමූඛස්ථානයේ වැජඹෙයි. වාදනයෙහි මෙන්ම මියුරු සරින් ගී ගැයීමෙහි ද සමත් අප්සරාවන් තුළ කාමූක ගතිය හා අනූරාගී බවත්, අනූකම්පා විරහිත ස්වභාවයත් පවතින බව මනුස්මෘතියේ සඳහන් වෙයි. ඔවුන් තුළ රජස් ගුණය හෙවත් රාගය ප්‍රකෘති කොට ඇති බැවින් අතිශයින් කාමූක ගතිගුණ ඔවුන් තුළ ඇති වන්නට ඇතැයි සිතිය හැකිය. කෙතරම් අනූරාගී ගතිගුණ ඇතත් ඔවුන්ට ස්වාමිපූරුෂයන් නොමැති වීම විශේෂය. නර්තනය, ගායනය, වාදනය, ජල ක්‍රීඩා ඇතුළු ක්‍රීඩා ආදිය යෙදීමෙන් ඔවුන් සිය කාමුක හැඟීම් වෙනතකට හරවන්නට ඇති බව සිතිය හැකිය.

අප්සරාවන්ට නියමිත කාර්යක් ලෙස පැරණි ග්‍රන්ථවල සඳහන් වන්නේ නැටීමෙන් හා ගී කීමෙන් දෙවියන් තෘප්තිමත් කිරීම, අසූරයන් නැසීමට උදවි දීම, යාග ස්ථාන කරා පැමිණ නර්තනයේ යෙදීම ආදියයි. මේ හැරුණූ කොට උග්‍ර තපස් රකින තාපසයන්ගේ දැහැන් බිඳීම ද ඔවූන්ට පැවරුණූ කාර්යයකි. මේ පිළිබඳ රසවත් කතා පුවතක් ශාකුන්තලයේ එයි. විශ්වාමිත්‍ර නම් සෘෂිවරයා උග්‍ර තපස් රැකීම නිසා සූර ලෝකය තමා වෙත නතුකර ගන්නට සැරසෙන බව සිතූ ශක්‍රයා, ඔහූගේ තපස් බිඳීමට සිතා, මේනකා නම් අප්සරාව කැඳවා විශ්වාමිත්‍රගේ ධ්‍යානය බිඳින ලෙස පැවරීය. මේ කාර්ය සතුටින් බාරගත් මේනකා විශ්වාමිත්‍ර සෘෂිවරයාගේ තපෝව්‍රතය ඛණ්ඩනය කොට ඔහු හා අභිරමණයේ යෙදුනාය. විශ්වාමිත්‍ර නිසා ඇය කුසින් බිහිවූ දියණිය මාලනී තීරයේ හැර දමා යෑමට තරම් ඇය අනූකම්පා විරහිත වූවාය. මේ ළදැරිය දුටු කණ්ව සෘෂිවරයා ඇයට ශකුන්තලා යයි නම් තබා සිය අසපුවෙහි ඇති දැඩි කළාය. සැබැවින්ම නම් විශ්වාමිත්‍ර හා මෛථූනයේ යෙදෙන්නට ප්‍රථම මේනකා ඌර්ණායූගේ භාර්යාව වූවාය. ඌර්ණායූට දාව ඇයට උපන් ප්‍රමද්වාරව ද ශකුන්තලා මෙන් උපන් සැණින් හැර දැමීමට තරම් මේනකා සැහැසි වූවාය. නමූත් අභිඥාන ශාකුන්තලයෙහි හයවන අංකයේ දී සානුමතී අප්සරාව ගුවන් මගින් එවා ශකුන්තලාව දරු ප්‍රසූතිය සඳහා දෙව්ලොවට ගෙන්වා ගන්නී මේනකාය. ශාකුන්තලයෙහි එන මේ කතාව අනුව නම් අප්සරාවන් බ්‍රහ්මචාරී යැයි මහා භාරතයේ සඳහන් පුවත නිෂ්ප්‍රභ වෙයි.

තාපසයන්ගේ ශීල භේදය හැරුණූ විට මනූෂ්‍යයන්ගේ උත්සව අවස්ථාවන්හි මිහිමඬලට බැස රැඟුම් පෑම ද ඔවූන්ට අයත්ව තිබූ කාර්යයක් බව පෙනේ. මේ බව ගුත්තිල කාව්‍යයෙන් ද ප්‍රකට වෙයි. ගුත්තිල පඬිතුමාගේ වීණා නාදයෙහි ලොබ බැඳගත් නව සියයක් දිව්‍යාප්සරාවන් දෙව් ලොවින් බැස තරඟ බිමේ රැඟුම් පැවැත්වූ අයුරු ගුත්තිල කාව්‍යයේ සූරඟන රැඟුමෙන් විද්‍යමාන වෙයි.

දූ කෙළියෙහි විශේෂ ප්‍රාගුණයක් දක්වන ඔවූහූ මිනිසූන්ට එයින් ජය ලබාදීමේ සමර්ථයහ. මනූෂ්‍යයන් තුළ උන්මාදය ආදී රෝග තත්ත්වයන් ඇති කිරීමේ බලයක් ඔවුන් සතුව ඇතැයි අථර්ව වේදයේ සඳහන් වන අතර එබඳු අවස්ථාවන්හි ඔවූන්ට වින කිරීමට යොදා ගන්නා මන්ත්‍ර හා ඖෂධ ආදිය පිළිබඳව ද එහි සඳහන්ය. එබඳ උපදව මිනිසූන්ට ගෙන එන අප්සරාවන් ලෙස ගුග්ගුලූ, පීලා, නලදී, ඖක්ෂගන්ධි, ප්‍රමන්දනී ආදීන්ගේ නම් එහි දැක්වෙයි. අප්සරාවන්ගේ ප්‍රධාන නර්තනය හල්ලීෂක නමින්ද ප්‍රධාන ගීතය චාලික්‍ය නමින් ද හැඳින්වෙයි. මල්දම් හා සූවඳ ද්‍රව්‍ය රැගත් අප්සරාවන් දහසක් බ්‍රහ්මයා කරා ගොස් ඔහුට සේවය කරන බව කෞෂිතකී උපනිෂද්හි දැක්වෙන බව මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චි මහතා පවසයි.

අප්සරාවන් අයත් වන කුල දහහතරකැයි කාදම්බරියේ සඳහන්ය. මෙයින් කුල දොළොසක් බ්‍රහ්මන්, වේද, අග්නි, වායූ, අමෘතය අපේකෂාවෙන් කළ ක්ෂිර සාගර මන්ථනය, ජලය, හිරු රැස්, සඳරැස්, භූමි, විලි, මෘදූ, කාමදේව, යනු ද ඉතිරි කූල දෙක දක‍්ෂගේ දූවරුන් වන මූනි, අරිෂ්ටා යන දෙදෙනාට ගාන්ධර්වයන්ගෙන් උපන් කූල දෙක බව ද පැවසේ. මූලදී අප්සරාවන්ගේ සංඛ්‍යාව මේනකා, සහජන්‍යා, පර්ණනි, පූජිකස්ථලා, ඝෘතස්ථලා, සෘතාවී, විශ්වාචි, ඌර්වශී, අනූමිලෝවා, ප්‍රමිම්ලේචා, මනෝවතී, යනුවෙන් එකොළසක් බව දැක්වේ. නමූත් පසූකාලීන ග්‍රන්ථවල අප්සරාවන්ගේ ගණන දහස් ගණනින් වර්ධනයක් පෙන්නුමි කරයි. රාමායණයේ දැක්වෙන පරිදි මහ සමුදුරෙන් පහළ වූ අප්සරාවන්ගේ ගණන හැට දහසකි.

පූජාවලිය, බූත්සරණ, පන්සිය පනස් ජාතික පොත, ධර්ම ප්‍රදීපිකාව, සද්ධර්මාලංකාරය, ථූපවංශය වැනි සම්භාව්‍ය සිංහල ගද්‍ය ග්‍රන්ථවලත් කවිසිළුමිණ, සීගිරි පද්‍ය, ගුත්තිලය ආදී පද්‍ය ග්‍රන්ථවලත් දිව්‍යාප්සරාවන් පිළිබඳ නිතර සඳහන් වෙයි. මේවායේ ඔවුන් හැඳින්වීම සඳහා අසර, දිවසර, දිව්‍ය අප්සරා යන වචන යෙදී තිබේ. සීගිරි පර්වතයේ සිතුවම්හි නිරූපිත කාන්තා රූප දිවසරන්ගේ බවට ද මතයක් පවතී. තමන් දෙවියෙකැයි සැලකූ කාශ්‍යප රජතුමා සිය පර්වත බලකොටූව දෙව් ලොවක් නැතහොත් ආලකමන්දාවක් ලෙස නිර්මාණය කරන්නට ඇත. එමෙන්ම මෙම කාන්තාවන්ගේ ඉඟටියෙන් ඉහළ කොටස පමණක් නිරූපණය වී ඇත. ඒ අනූව බලන කල සීගිරි චිත්‍ර ද අප්සරා රූප බව සිතිය හැකිය.

මේ අනූව අප්සරාවන් යනූ උප දේවතා කොට්ඨාසයක් බවත්, ඔවුන් ගාන් ධර්වයන්ගේ වල්ලභියන් බවත් කිව හැකිය. ඔවුන් සතු විශේෂතම ලකෂණය වන්නේ කාමුක හැඟීම් ඇති අනූරාගී රූමත් කතුන් වූවත් බ්‍රහ්මචාරීව විසීම බව පෙනේ. එසේ වන්නට ඇත්තේ ඔවුන් තමන් සතු සකල ශක්තීන් සෞන්දර්යමය කටයුතු කෙරෙහි යොමු කළ නිසා වන්නට ඇත. එසේ නැතහොත් ඔවූන්ගෙන් දේව සභා අපේකෂා කළේ සෞන්දර්යමය කාර්යයක් බැවින් ඔවුන් තම කාමාශා හා අනූරාගී හැඟීම් පාලනය කර ගනිමින් තමන්ට පැවරුණු කාර්යය ඉටු කළා වන්නට ඇත. කෙසේ වූවත් මොවුන් භෞතික ලෝකයෙන් ඔබ්බෙහි වාසය කරතැයි විශ්වාස කෙරෙන, එසේම සාහිත්‍ය කලාවන්ට ආභරණයක් බඳු වූ පිරිසක් බව කිව හැකිය.

සධ්‍යා කොඩිතුවක්කු.