අංගාර චේතිය

දඹදිව පිප්ඵලී වනයෙහි විසූ මෝරිය රජ දරුවන් විසින් ඉදි කළ චෛත්‍යයකි. බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑ පසු ආදාහනය කළ ස්ථානයෙන් ලබා ගත් අඟුරු නිදන් කොට ඉදි කළ නිසා මේ නමින් ප්‍රකට විය. මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වන ආකාරයට මෝරිය රජ දරුවෝ ධාතු බෙදීමේ අවස්ථාවට ආයේ ප්‍රමාද සහිතවය. මේ නිසා ඔවුන්ට බුදුරදුන්ගේ ශරීර ධාතු හිමි නොවුණි. (බෞද්ධ ත්‍රිපිටකයෙන් සූත්‍ර පිටකයේ දීඝ නිකායට අයත් මහා පරිනිර්වාණ සූත්‍රයේ අග කොටස බලන්න)එම නිසා ඔවුන් ආදාහන සෑයෙහි අඟුරු රැගෙන ගොස් න්‍යග්‍රෝධ වනයෙහි සෑයක් ඉදි කරවූහ. ෆාහියන් හා හ්‍යුං සියෑං යන දේශාටක හිමිවරුන් දෙ නම ද මෙම චෛත්‍යය පිළිබඳව කරුණු දක්වා තිබීමෙන් ඔවුන් ඉන්දියාවෙ පැමිණි යුගය වන විටත් මෙම චෛත්‍යය නොනැසී පැවති බව සනාථ වෙයි. න්‍යග්‍රෝධ වනය පිහිටියේ අනෝමා නදියට කි. මී. 50ක් (ලී 180-190ක්) පමණ දුරින් යැයි හ්‍යුං සියෑං හිමි කියයි. උන්වහන්සේ දුටු අංගාර චේතිය අඩි 30ක් පමණ උස්ව තිබී ඇත. අංගාර චේතිය තිබූ විහාර භූමිය ආශ‍්‍රිතව තවත් බොහෝ බෞද්ධ විහාරාරාම ද චෛත්‍යයන් ද තිබී ඇත. එ් අතර අශෝක අධිරාජයා විසින් කරවූ විශාල චෛත්‍යයක් ද තිබී ඇත. 1876 වසරේ දී මේ ප්‍රදේශය ආශ‍්‍රිතව කැණීම් කටයුතු ආරම්භ කළ එ්. සී. කාලයිල් මහතා වෙනත් ගොඩනැගිල්ලක් අංගාර චේතිය යැයි වරදවා නම් කළ ද දැනට එය අනුමාන වශයෙන් හඳුනාගෙන තිබේ.”