හිමාල කඳු පන්තියෙන් ඇරඹෙන ශාඛා උපශාඛාවන්ගෙන් පෝෂණය වී ගලා යන යමුනා නදිය අලහබාද්හි දී ගංගා නදියටම එක් වී එකට මුහුද කරා ගලා යයි. ඉතා සරුසාර නිම්නයක් සහිත මේ නදිය ඉන්දීය ඉතිහාසයේ අතිශය වැදගත් ඓතිහාසික සිදුවීම් රැසකට පාදක වී ඇත. යමුනා නදියත් ගංගා නදියත් අතර භූමිය ගංගා යමුනා දො ආබ් හෙවත් ගංගා යමුනා දෙගංමැදිය නමින් හැඳින්වේ. හර්ෂවර්ධන අධිරාජ්‍යාය් අගනුවර වූ කනෞජය බිහිවූයේ එහිය. මධ්‍ය ඉන්දීය සානුවේ ඉහළ කඳුවැටිවලින් ඇරඹෙන චම්බාල්, කාල්සින්ධ්, බෙත්වා සහ චෙන් නදීන් යමුනා නදියට එක් වීමෙන් එය තවදුරටත් පෝෂණය වේ. මේ ගංගා නිම්නයේ ආර්යයෝ ද ජනාවාස පිහිටුවා ගත්හ. කයිබර් දුර්ගයෙන් භාරතයට ඇතුළුවන අයෙකුට පළමුව සරුසාර පංජාබයත් දෙවැනිව ගංගා යමුනා නිම්නයත් හමුවේ. පුරාණයේ සිට ආසන්න වශයෙන් 19වැනි සියවසේ දී බ්‍රිතාන්‍යයන් විසින් භාරතයේ දුම්රිය මාර්ග පද්ධතිය ස්ථාපනය කරන තෙක් කාලයේ ගංගා මෝදර සිට ඉහළට යාත්‍රා කළ නෞකා අලහබාද් අසලදී යමුනා ගංගාවට පාවාස අග්‍රා තෙක් යාත්‍රා කළ බවට සාධක තිබේ.
මේ නදිය පිටාර ගැලීමෙන් සරුසාර වන නිම්නය කෘෂි කටයුතු සඳහා වඩාත් උචිත විය. මේ නිසා එහි සරුවට කෘෂි කටයුතු සිදුකළ හැකි විය. කාසි ජනපදය කෘෂි කටයුතු සඳහාම විශේෂ වූ එකක් විය. ගංගාව ආශ්‍රිත තොටුපළවල් ද, ගංගා නිම්නයේ වනාන්තර ඒ ආශ්‍රිත ඛනිජ සම්පත් නිසා සොළොස්මහා ජනපද යුගයේ සිටම මේ ගංගාවට විශාල ආර්තික හා දේශපාලන වැදගත්කමක් හිමිවිය. මුස්ලිම් පාලන සමයේදී දිල්ලිය අග්‍ර නගරයක් වශයෙන් වර්ධනය විය. එය ද යමුනා නදී තෙර පිහිටියේ ය. සාජහාන් රජු ටාජ්මහල නිර්මාණය කරන්නේ ද යමුනා ගංතෙරෙහිය.