සොපාරා නමින් වර්තමානයේ හැඳින්වේ. වත්මන් මුම්බායි නගරයට සැතපුම් 37ක් පමණ උතුරින් පිහිටියේ වෙයි. වාණිජ මධ්‍යස්ථානයක් මෙන්ම පාලන මධ්‍යස්ථානයක් වශයෙන් ද ප්‍රකට විය. හින්දු පුරාණය සඳහන් කරන්නේ පැරණි භාරතයේ කොටස් පහෙන් එකක් වූ අපරන්තක දේශයේ අගනුවර වූයේ සුප්පාරකය බවයි. ටොලමි මේ වරාය සවුප්පාර නමින් හඳුන්වා ඇත. මජ්ඣිම නිකායේ පුණ්ණෝවාද සූත්‍රයේ ද බ්‍රහ්ම පුරාණය නම් ග්‍රන්ථයේ ද මේ තොටුපළ පිළිබඳ සඳහන් වේ. විජය කුමරු ඇතුළු පිරිස ලංකාවට ඒමට ප්‍රථම සුප්පාරක තොටට ගොඩබැස කලක් සිටියද ඔවුන්ගේ නොමනා හැසිරීම් නිසා එතැනින් නික්මීමට සිදුවිය. අශෝක අධිරාජයාගේ නවරට සසුන් සේවයේ දී යෝනක ධම්මරක්ඛිත හිමි වැඩම කළේ සුප්පාරකය අගනුවර කරගත් අපරන්තක දේශයටය. රජුගේ පසුකාලීන ශිලා ලේඛනයක් ද මෙහි ඇත්තේය. සොපාරාවට නැගෙනහිරින් පිහිටි කාර්ලේ ලිපියක සොපාරාවේ සිට පැමිණි ධම්මොත්තරිය නිකායට අයත් දේශකයානන් වහන්සේනමක් ගැන සඳහන් වේ.
අශෝක අධිරාජ්‍යය අරාබි මුහුද තෙක් පැතිර පැවති බවට සොපාරා ලිපිය සාධකයකි.
සාතවාහනවරුන් අතරින් එක් රජකු වූ යඥ ශ්‍රී සාතකර්ණී රජුට අයත් කාසි ද සොපාරාවේ තිබී හමුවී තිබේ. ඔහුගේ බලය යටතේ මේ වරාය තිබූ බවට එය සාධකයකි. ශක සත්‍රපයෙකු වූ නහපානගේ බල ප්‍රදේශ පිළිබඳ සඳහන් මූලාශ්‍රයවල ශුර්පාරක නම ද සඳහන් වෙයි. එය සුප්පාරක වරාය යැයි හඳුනාගෙන තිබේ.