සේනාධිලංකාර

වෙළඳ කටයුතුවලින් මහත් ධනයක් උපයාගනිමින් බලවත් වූ පවුලකි. මොවුන් මෙහෙණවර වංශයට අයත් වී යැයි විශ්වාස කෙරේ. මෙහෙණවර වංශය යනු ශ්‍රී මහා බෝධිය සමග ලංකාවට ආ පරපුරකට සම්බන්ධ පරපුරක් යැයි ඔවුන් විසින්ම ප්‍රකාශ කළ ද පරණවිතාන මහතා ඒ මතයට එතරම් එකඟ නොවේ. එතුමා පවසන්නේ මෙහෙණවර යන වදන මලයාලම් බසේ එන මෙණවණ් යන්නෙන් ආවක් බවයි. මෙණවණ් යන්නෙන් අමාත්‍යයා යන අරුත ලැබෙයි. සේනාධිලංකාරවරුන් විශාල ධනයක් වැයකර දකුණු ඉන්දියාවේ කාංචිපුරම්හි ප්‍රතිමා මන්දිරයක් කරවූ බව සද්ධර්මරත්නාකරයේ ද සඳහන් වේ. ඔවුන්ට දකුණු ඉන්දීය සබඳතාවක් තිබූ බව අපට සිතන්නට සිදුවේ. ගම්පොළ පාලකයා වූ පස්වන පරාක්‍රමබාහු රජුට සමකාලීනව සිට සේනාධිලංකාර සෙනෙවියා රජුගේ සොයුරියක ආවාහ කරගෙන සිටියේය. මේ නිසා මේ යුගයේ රජ පරපුර හා සේනාධිලංකාර පවුල අතර සමීප ඥාති සම්බන්ධතාවක් වර්ධනය විය. සේනාධිලංකාර පරපුරේ අයෙකු හතරවන බුවනෙකබාහු හා පස්වන පරාක්‍රමබාහු රජුගේ මන්ත්‍රීශ්වරයාණ කෙනෙකු හා සේනාධිපති වශයෙන් ද කටයුතු කර තිබේ. ඔහු සිඳුරුවාන ප්‍රදේශයේ ප්‍රදේශාධිපතියා ද විය. සේනාධිලංකාර අමාත්‍යයා පස්වන පරාක්‍රමබාහු රජුගේ අග්‍රාමාත්‍යධුරය දැරූ බවට ද මතයක් තිබේ. අග්‍රාමාත්‍ය, සේනාපති, මන්ත්‍රීශ්වර, යනාදී තනතුරු නාම සම්බන්ධයෙන් විවිධ මූලාශ්‍රයවල එන තොරතුරු වියවුල් සහගතය. සේනාධිලංකාරයන් විසින් සිදුකළ විශේෂතම ආගමික කාර්යය වූයේ ගම්පොළ ලංකාතිලක විහාරය කරවීමයි. ලංකාතිලකයේ ඇති සිංහල හා දෙමළ භාෂාවලින් රචිත ශිලාලේඛන 2කත් අලවල පර්වත ලිපියේත් මේ තොරතුරු ඇතුළත්ව ඇත්තේය. ඒ ලිපියේ මේ විහාරය කරවීම පමණක් නොව විහාරයේ මතු පැවැත්ම පිණිස ඔහු ඊට කළ ප්‍රදානයන් පිළිබඳව ද සඳහන් වේ. ඊට අනුව ඔහු මේ විහාරයට ගම්බිම් ද, මුතුමැණික් ද, මිලමුදල් ද, ස්ත්‍රී-පුරුෂ දාසයින් ද, ගවමහීෂාදීන් ද පිරිනමා ඇත. ඉන් පෙනී යන්නේ මේ වනවිට සේනාධිලංකාර පරපුර විශාල දේශපාලන හා ආර්ථික බලයක් හිමිකරගෙන සිටි බවයි. ලංකාතිලකය ඉදිකිරීමට අමතරව දෙව්න්දර තුන්මහල් ප්‍රාසාදයක් ද සිඳුරුවානේ තුන්මහල් ප්‍රතිමා ගෘහයක් ද කරවා තිබේ. වැලිගම අග්‍රබෝධි විහාරයේ ද මන්දිරයක් කරවීය. සේනාලංකාධිකරවරුන් සිව්වන බුවනෙකබාහු රජ සමයේ දෙවනගල වනරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ශාසන ශෝධනයක් ද කරවූ බව සඳහන් වේ. ග්‍රාමවාසී හා වනවාසී භික්ෂූ දෙපාර්ශ්වය ම රැස්කර දුස්සීල භික්ෂූන් සිවුරු හරවා සිදුකළ මේ සංඝ ශෝධනය සඳහා පූර්ණ රාජ්‍යානුග්‍රහය හිමි වී තිබේ.

 

උපුටා ගැනිම-සාමාන්‍ය පෙළ ඉතිහාසය වාග් මාලාව.(උපකාරක පොත)

කර්තෘ-අමිල උඩවත්ත.

මෙම පොත දැන්ඇනවුම් කළ හැක.-Whatsapp ඔස්සේ ඇණවුම් කරන්න

පොතේ විස්තර හා පිටු කිහිපයක් බැලීමට මෙතැනින් පිවිසෙන්න