අමෙරිකා එක්සත් ජනපදය හා සෝවියට් දේශය මුල් කොටගත් බල කඳවුරු දෙක අතර තරගය

 

අමෙරිකා එක්සත් ජනපදය හා සෝවියට් දේශය මුල් කොටගත් බල කදවුරු දෙක අතර තරගය- 1940 දශකයේ අග භාගයේ සිට 1990 දශකයේ මුල් භාගය දක්වා පැවති සීතල යුද සමය තුළ එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය අතර වූ ගෝලීය බල අරගලය මේ නමින් හැඳින්වේ. මෙය සීතල යුද්ධය නමින් ද හැඳින් වේ. සීතල යුද්ධය අතරතුර, ලෝකය ප්‍රධාන බල කණ්ඩායම් දෙකකට බෙදී ගියේය. ඒ එක්සත් ජනපදය විසින් මෙහෙයවන ලද බටහිර කණ්ඩායම සහ සෝවියට් සංගමය විසින් මෙහෙයවන ලද නැගෙනහිර කණ්ඩායම වශයෙනි. එක්සත් ජනපදය සහ එහි මිත්‍ර රටවල් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය (නේටෝ) පිහිටුවා ගත් අතර, සෝවියට් සංගමය සහ එහි මිත්‍ර රටවල් වෝර්සෝ ගිවිසුම ඇතිකර ගත්හ. මේ දෙපාර්ශ්ව අතර පැවතියේ දේශපාලන, ආර්ථික හා යුධමය එදිරිවාදිකම් මාලාවකි. එක්සත් ජනපදය විසින් නායකත්වය දෙන බටහිර ධනේශ්වර ක්‍රමය සහ සෝවියට් සංගමය ප්‍රමුඛ නැගෙනහිර කොමියුනිස්ට් ක්‍රමය අතර මතවාදී වෙනස්කම් නිසා හටගත් එදිරිවාදිකම් ද මීට අදාළ විය. ඊට අනුව බල කඳවුරු දෙක අතර එදිරිවාදිකම් ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් මත කේන්ද්‍රගත විය.

භූ දේශපාලන තරගය- එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය ලොව පුරා විවිධ කලාප සහ රටවල් කෙරෙහි විවිධාකාරයේ බලපෑම් කළ අතර ඒ සඳහා දෙපාර්ශ්වය ගෝලීය තරගයක නිරත විය. ඊට අමතරව එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය ද න්‍යෂ්ටික අවි තරගයක නිරත වූ අතර, සෑම පාර්ශ්වයක්ම වඩාත් දියුණු සහ බලවත් න්‍යෂ්ටික අවි නිෂ්පාදනයටත්, සංවර්ධනය කිරීමටත් උත්සාහ කළහ.

මතවාදී වෙනස්කම්- එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය ප්‍රතිවිරුද්ධ මතවාද දෙකක් නියෝජනය කළ අතර, එක්සත් ජනපදය ධනවාදය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස් වෙළඳපොල ආර්ථිකය වෙනුවෙන් පෙනී සිටියේ ය. සෝවියට් සංගමය කොමියුනිස්ට්වාදය, සමාජවාදය සහ ඔවුන්ට ආවේනික වූ සමසාධාරණ ආර්ථික ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටියේ ය. මේ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය මතවාදී සටනක නිරත විය. මෙහි දී අවි භාවිතයක් නොවූයෙන් මෙය නිරවි යුද්ධය නමින් ද හැඳින් වේ. ප්‍රචාරණය, සංස්කෘතික බලපෑම් ඇතිකිරීම, සමාන අදහස් ඇති ආණ්ඩු හෝ ව්‍යාපාර සඳහා සහය දැක්වීම ආදිය මගින් සිය පාර්ශ්වයේ බලය පෙන්වීමට කටයුතු කර තිබේ. තව ද එවැනි ක්‍රම මගින් තම පාර්ශ්වයේ මතවාදයන් සහ පාලන ක්‍රම ලොව පුරා ව්‍යාප්ත කිරීමට උත්සාහ කළහ.

ආර්ථික තරගය- එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය ද ආර්ථික වශයෙන් තරග කළ අතර, සෑම පාර්ශ්වයක්ම තම ආර්ථික පද්ධතියේ උසස් බව පෙන්වීමට උත්සාහ කළහ. මෙය ක්‍රමවේදයට අනුව විවිධ රටවලට ආර්ථික ආධාර දීම, වෙළඳ ප්‍රතිපත්ති ක්‍රියාවේ නැංවීම හා ගිවිසුම්ගතවීම, තාක්‍ෂණික දියුණුව සඳහා කටයුතු කිරීම සහ ආර්ථික සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වැනි දේ ඇතුළත් විය.

යුධමය ගොඩනැගීම- එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය සීතල යුද්ධ සමයේදී සැලකිය යුතු තරමින් යුධමය සංවර්ධනයක් සිදු කළේ ය. දෙපාර්ශ්වය ම න්‍යෂ්ටික අවි, බැලස්ටික් මිසයිල සහ අනෙකුත් යුධමය දෘඩාංග ඇතුළුව උසස් යුධමය තාක්ෂණයන් තරගකාරී ආකාරයට සංවර්ධනය කරගත්හ. මෙය බලවතුන් දෙදෙනා අතර නිරන්තර අවි තරගයකට සහ යුධමය ආතතීන් ඇතිවීමට හේතු විය. එය රටවල ජාත්‍යන්තර සබඳතා, කලාපීය ගැටුම් සහ ගෝලීය ස්ථාවරත්වයට බලපෑ අතර 20 වැනි සියවසේ දෙවන භාගයේදී ලෝක සිදුවීම් කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කළේය.

Share with Student