අමෙරිකන් විප්ලවය හා සම්බන්ධ ප්‍රධාන සිදුවීම්

ලෝක ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වූ ඇමරිකානු විප්ලවය හා සම්බන්ධ ප්‍රධාන සිදුවීම් කිහිපයක් තිබේ.

බොස්ටන් තේ සාදය (1773)- බ්‍රිතාන්‍ය රජය තේ සඳහා බද්දක් පැනවීමට විරෝධය පළ කරමින්, ලිබර්ටි පුත්‍රයන්(නිදහසේ දරුවෝ) ලෙස හැඳින්වුණු ඇමරිකානු ජනපදිකයන් පිරිසක් 1773 දෙසැම්බර් 16 වන දින බොස්ටන් තේ සාදය පැවැත්වූහ. මෙහි දී ඔවුන් වෙස්වලාගෙන බොස්ටන් වරායේ බ්‍රිතාන්‍ය නැව්වලට ගොඩ වූ අතර නියෝජනයකින් තොරව බ්‍රිතාන්‍ය බදුකරණයට ඔවුන්ගේ ප්‍රතිරෝධය සංකේතවත් කරමින් තේ පෙට්ටි තුන්සිය හතලිහකට වැඩි ප්‍රමාණයක් මුහුදට විසි කළහ.

ලෙක්සිංටන් සහ කොන්කෝඩ් සටන් (1775)- ඇමරිකානු විප්ලවීය යුද්ධයේ පළමු යුධමය මැදිහත්වීම් ලෙස සැලකෙන ලෙක්සිංටන් සහ කොන්කෝඩ් සටන් 1775 අප්‍රේල් 19 දින සිදු විය. මෙය සිදු වූයේ ජනපද වැසියන්ගේ ආයුධ අත්අඩංගුවට ගැනීමට සහ කැරලිකාර නායකයින් අත්අඩංගුවට ගැනීමට බ්‍රිතාන්‍ය හමුදාව එකී ප්‍රදේශ වලට යෑමත් සමග ය. මෙහි දී බ්‍රිතාන්‍ය හමුදාවන්ට ප්‍රබල ප්‍රතිරෝධයන්ට මුහුණ දීමට සිදුවිය. මෙම සටන් ඇමරිකානු යටත් විජිතවාදීන් සහ බ්‍රිතාන්‍ය හමුදා අතර සන්නද්ධ ගැටුමේ ආරම්භය සනිටුහන් කළේය.

නිදහස් ප්‍රකාශය (1776)- 1776 ජූලි 4 වන දින, කොන්ටිනෙන්ටල් කොන්ග්‍රසය(මහද්වීපික සම්මේලනය/මහද්වීපික සමුළුව) විසින් ජනපදවැසියන්ගේ නිදහස් ප්‍රකාශනය සම්මත කරන ලද අතර, එතැන් සිට තවදුරටත් ඇමරිකානු ජනපද දහතුන බ්‍රිතාන්‍ය පාලනයට යටත් නොවන ස්වාධීන රාජ්‍යයන් ලෙස ප්‍රකාශ කරන ලදී. තෝමස් ජෙෆර්සන් විසින් කෙටුම්පත් කරන ලද මෙම ප්‍රකාශනය, බ්‍රිතාන්‍ය කිරීටයට එරෙහිව යටත් විජිතවාදීන්ගේ දුක්ගැනවිලි ගෙනහැර දැක්වූ අතර ජීවිතය, නිදහස සහ සතුට සොයා යෑමේ හා භුක්තිවිඳීමේ ජන්ම අයිතීන් පිළිබඳ මේ මගින් ප්‍රකාශ කරන ලදී.

සරටෝගා සටන (1777)- 1777 සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් මාසවල නිව්යෝර්ක් හි සිදු වූ සරටෝගා සටන, විප්ලවවාදී යුද්ධයේ වැදගත් සන්ධිස්ථානයක් විය. ජෙනරාල් හොරාෂියෝ ගේට්ස්ගේ නායකත්වයෙන් යුත් ඇමරිකානු ජනපද හමුදා විසින් ජෙනරාල් ජෝන් බර්ගොයින් යටතේ සටන් කළ බ්‍රිතාන්‍ය හමුදාව පරාජය කරන ලද අතර එහි ප්‍රතිඵලයක් ලෙස 6,000 කට ආසන්න බ්‍රිතාන්‍ය හමුදා භට පිරිසක් සහ නිළධාරීන් ඇමරිකානු ජනපද හමුදාවට යටත් විය. මෙම ජයග්‍රහණය නිදහස උදෙසා සටන්වැදී සිටි ඇමරිකානුවන්ගේ චිත්ත ධෛර්යය තවදුරටත් ඉහළ නැංවී ය. මේ ජයග්‍රහණය සඳහා ප්‍රංශයෙන් තීරණාත්මක සහයෝගයක් ලැබුණා පමණක් නොව ජයග්‍රහණයෙන් පසුව සෙසු යුරෝපීය බලවතුන් ඇමරිකානු අරමුණට එකඟතාව පලකිරීමට ද පෙළඹුණහ.

පැරිස් ගිවිසුම (1783)- 1783 සැප්තැම්බර් 3 වන දින අත්සන් කරන ලද පැරිස් ගිවිසුම මගින්, ඇමරිකානු විප්ලවවාදී යුද්ධය නිල වශයෙන් අවසන් කර එක්සත් ජනපදය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගන්නා ලදී. ගිවිසුම මගින් අත්ලාන්තික් සාගරයේ සිට මිසිසිපි ගඟ දක්වා විහිදුණු නව ජාතියේ මායිම් ස්ථාපිත කර කැනඩාවේ වෙරළට ඔබ්බෙන් එක්සත් ජනපද වැසියන්ට මසුන් ඇල්ලීමේ අයිතිය ද ලබා දුන්නේය. මෙය එක්සත් ජනපදය ස්වෛරී රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගැනීම සහ ඇමරිකානු ජනපද දහතුනෙහි එතුවක් ක්‍රියාත්මක වූ බ්‍රිතාන්‍ය පාලනයේ අවසානය සනිටුහන් කළ සිදුවීම සේ සැලකේ.

Share with Student