අධර්ම මර්ධනාධිකරණය යන්නෙන් අදහස් කරන්නේ මධ්‍යකාලීන යුරෝපයේ කතෝලික පල්ලිය විසින් මූලික වශයෙන් 13 වන සියවසේ දී මිථ්යාදෘෂ්ටිකත්වයට එරෙහිව සටන් කිරීමේ අරමුණින් පිහිටුවන ලද විනිශ්චය ආයතන ජාලයකි. මේවා පාප්තුමාගේ සහ පල්ලියේ බලධාරීන්ගේ අධිකාරිය යටතේ ක්‍රියාත්මක වූ අධිකරණ පද්ධතියක් වන අතර, එහි අරමුණ වූයේ කතෝලික පල්ලියේ ඕතඩොක්ස් ඉගැන්වීම් සහ යුරෝපයේ කතෝලික අධිකාරියට ඇති තර්ජන විමර්ශනය කිරීමයි. ඒවාට විරුද්ධව නඩු පැවරීම සහ එකී මිත්‍යාදෘෂ්ටීන් සමාජයෙන් ඉවත් කිරීම යි. ඉහළ මධ්‍යතන යුගයේ දකුණු ප්‍රංශයේ කැතර්ස් (Cathars) සහ උතුරු ඉතාලියේ වොල්ඩෙන්සියන්ස් (Waldensians) වැනි ආගමික භේද සහ මිථ්‍යාදෘෂ්ටික ව්‍යාපාර පැතිරීමට විරුද්ධව ඊට ප්‍රතිචාරයක් ලෙස මෙකී අධිකරණ පද්ධතිය මතු විය. පාප්තුමා සහ පල්ලියේ බලධාරීන් මිථ්‍යාදෘෂ්ටීන් වශයෙන් හැඳින්වූයේ රෙපරමාදු ව්‍යාපාරය හා ඒ පදනම් කරගත් ආගමික ව්‍යාපාරයන් ය. මෙම ව්‍යාපාර එතුවක් කතෝලික පල්ලිය කේන්ද්‍ර කරගත් රෝමානු කතෝලික ධර්මයට සහ එහි අධිකාරී බලයට අභියෝග ලෙස සැලකූ අතර, ඒ නිසා ඔවුන් අධර්ම මර්ධනාධිකරණය හරහා ඒවා මර්දනය කිරීමට උත්සාහ කළහ. අධර්ම මර්ධනාධිකරණය සිය අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා විවිධ ක්‍රම භාවිතා කළ අතර, විමර්ශනය, ප්‍රශ්න කිරීම, වධහිංසා පැමිණවීම සහ මිථ්‍යාදෘෂ්ටික චෝදනා ලැබූවන්ගෙන් දේපළ රාජසන්තක කිරීම වැනි දේ ඊට උදාහරණ වේ. මිථ්‍යාදෘෂ්ටිය සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ අයව සිරගත කිරීම, දඩ මුදල් අය කිරීම, දේපළ රාජසන්තක කිරීම හෝ පමණක් නොව, ප්‍රසිද්ධ ස්ථානයක සිටුවා ඇති කණුවක ගැටගසා පණපිටින් පුළුස්සා මරා දැමීම වැනි අතිශය මිලේච්ඡ තීන්දු තීරණ පවා මේ ඔස්සේ ගන්නා ලදී. අධර්ම මර්ධනාධිකරණය මධ්‍යතන යුගයේ සහ ඉන් පසුවත් යුරෝපීය සමාජය, දේශපාලනය සහ සංස්කෘතිය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කළේය. කෙසේ වෙතත්, අධර්ම මර්ධනාධිකරණය එහි ක්‍රමවේදයන් සහ අවභාවිතයන් සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් විවේචනවලට ද මුහුණ දුන් අතර එය බොහෝ විට මතභේදාත්මක හා බෙදීම් ඇති කළ ආයතනයක් වශයෙන් ද හඳුන්වන්නට විය. කෙසේ වුව ද, මෙම අධර්ම මර්ධනාධිකරණය සියවස් ගණනාවක් පුරා විවිධ ස්වරූපවලින් සහ විවිධ ප්‍රදේශවල අඛණ්ඩව ක්‍රියාත්මක විය. මේ අධිකරණ ජාලයට අයත් වූ ස්පාඤ්ඤ අධර්ම මර්ධනාධිකරණය වඩාත් ප්‍රසිද්ධ සහ කුප්‍රකට ශාඛාවකි. 15 වන ශතවර්ෂයේ අගභාගයේදී පිහිටුවන ලද ස්පාඤ්ඤ අධර්ම මර්ධනාධිකරණය, යුදෙව්වන්, මුස්ලිම්වරුන් සහ අනෙකුත් සැක සහිත මිථ්‍යාදෘෂ්ටිකයන් ඉලක්ක කර ගන්නා ලදී. අද වන විට අධර්ම මර්ධනාධිකරණය යුරෝපීය ඉතිහාසයේ අඳුරු පරිච්ඡේදයක් ලෙස සලකනු ලැබේ, එය ආගමික නොඉවසීම, හිංසා පීඩා සහ බලය අනිසි ලෙස භාවිතා කිරීම සංකේතවත් කරන බව පිළිගෙන තිබේ. තව ද එය ආගමික අන්තවාදය සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ ආයතනයක් වූ බව ලෝකය පිළිගනී. නමුත් මෙම ආයතනය තනිකරම අවලංගු නොකළ අතර, කාලයත් සමඟ සැලකිය යුතු වෙනස්කම් හා ප්‍රතිසංස්කරණවලට භාජනය විය. ඒ අතර එක් කැපී පෙනෙන සිදුවීමක් වූයේ 1808 දී “ස්පාඤ්ඤ අධර්ම මර්ධනාධිකරණය මර්දනය කිරීම”යි. එය අර්ධද්වීප යුද්ධයේදී ස්පාඤ්ඤය නැපෝලියන්ගේ හමුදා විසින් අත්පත් කර ගන්නා විට ම සිදුකරන ලදී. නමුත් මෙය තාවකාලික පියවරක් වූ අතර, නැපෝලියන්ගේ පරාජයෙන් පසුව ස්පාඤ්ඤ අධර්ම මර්ධනාධිකරණය නැවත ස්ථාපිත කරන ලදී.