ලංකාවෙ විවිධ ප්රදේශවල අප්රකට දෙවිවරු ඉන්නවා. ඒ වගේ ම තමා අප්රකට නං තියෙන ප්රකට දෙවිවරුත් ඉන්නවා. මේත් ඒ වගේ කෙනෙක්. නම, ‘මලල බණ්ඩාර’. කොහොඹා කංකාරියෙ දි වීරමුණ්ඩ නමින් පූජාවට බඳුන් වෙන්නෙ මලල බණ්ඩාර දෙවියන් බවට අදහසක් තියෙනවා. වීරමුණ්ඩ කියන නමත් සමහර වෙලාවල හරි ගැටලු සහගත ව්යවහාරයක්. හේතුව සමහර කවි, මන්ත්රවල වීරමුණ්ඩ කියලා හඳුන්වන්නෙ ගම්භාර සිද්ධ සූනියම් දෙවියන් ව. සමහර විට තව විවිධ දෙවියන් ව හඳුන්වන්න මේ නම භාවිත කරනවාත් ඇති. කොහොම නමුත් හිරියාල පත්තුවෙ මලල බණ්ඩාර දෙවියන් ව හඳුන්වන්නෙ ‘ගලේ බණ්ඩාර’ කියලා.
මේ දෙවියන් ගෙ උත්පත්ති කථාව තියෙන්නෙ මෙහෙම යි.
මලල බණ්ඩාර දෙවියන් ගෙ තාත්තා තමා දකුණු ඉන්දියාවෙ හිටපු සේරව කියන නාග රජතුමා. සේරව නාග රජතුමා ගෙ බිසව එක් රාත්රියක හීන තුනක් දැකලා බය වෙනවා. හීන තුන තමා මහනෙල් මල් තුනක්, ගිනි කඳක් සහ ජල කඳක්. පහුවෙනිදා මේ හීන ගැන බිසව රජතුමාට කියනවා. රජතුමා බමුණන් අට දෙනෙක් මාලිගාවට කැඳවලා හීන තුනේ තේරුම අහනවා. සිහිනය ගැන අවධානය යොමු කරපු බමුණො රජතුමාට මෙහෙම කියනවා.
“රජතුමනි, බය වෙන්න අවශ්ය නෑ. ඔබතුමා ගෙ බිසව කුමාරවරු තුන් දෙනෙක්ට ඉක්මනින් ම උපත ලබා දෙනවා. ඔවුන් තිදෙනා බොහො ම තේජස් සහිත, බලය සහිත කුමාරවරු තුන් දෙනෙක්. නමුත් රජතුමනි මේ කුමාරවරු තුන් දෙනා ම නැව් නැඟලා මේ රටින් බැහැර ව යනවා”
වන්නි හත් පත්තුවෙ කෝල්මුර කවිවල මේ විස්තරය කියැවෙන්නෙ මෙහෙම.
මානෙල් මල් තුන පිපුණා දුටි මි
ගිනි කඳ ලොව ඇවිලෙනවා දුටි මි
ජල බුබුලෙන් පැණ නැංගා දුටි මි
මෙලෙස සිහින තුන දුටිමි සැබෑ මි
මල් තුන නම් කුමරුන් තුන්දෙන ම ය
ගිනි කඳ නම් ලොව පැතිරෙන තෙද ම ය
දිය කඳ නම් සිඳු පිට යන ගමන ය
මෙ ලෙස සිහින තුන වේ ය සැබෑ ම ය
බමුණො කියපු විදියට ම කාලයත් එක්ක මේ හීන තුන සැබෑ වුණා. සේරව රජතුමා ගෙ බිසවට කුමාරවරු තුන් දෙනෙක් ඉපදුණා. රාම කර්ණ, සෝම නේත්ර හා මලල කියලා මේ කුමාරවරුන්ට නම් තියන්න රජතුමා කටයුතු කළා. බාලයා තමා මලල කුමාරයා. සමහර විස්තරවල තියෙන විදියට මලල කුමාරයා ගෙ වැඩිමල් සහෝදරයා තමා දෙවොල් දෙවියො. දෙවැනි සහෝදරයා තමා කුමාර බණ්ඩාර කියන්නෙ.
කොහොම නමුත් කාලයක් යද්දි මේ කුමාරවරු නිසා සේරව රජතුමා ගෙ රාජධානියෙ ගැටළු ඇති වෙන්න පටන් ගත්තා. වැඩි වියට පත් වුණු කුමාරවරු මැරකම් කරමින් කාලය ගත කළා. කුඩා දරුවන්ට හිංසා කරන්න පටන් ගත්තා. කුමාරවරුන් ගෙ මේ නොපණත්කම් ගැන රටවැසියො සේරව රජතුමාට පැමිණිලි කළා. තමන් ගෙ කුමාරවරුන් ගෙ නොපණත්කම් නිසා කෝපයට පත් වුණු සේරව රජතුමා මේ කුමාරවරු තුන් දෙනා රටින් පිටුවහල් කරන්න අණ කළා.
අණ කළේ පියතුමා වුණත්, රාජ අණ කඩ කරන්න කුමාරවරුන්ට හැකියාවක් තිබුණෙ නෑ. ඒ නිසා කුමාරවරු තුන් දෙනා එකට එකතු වෙලා සාකච්ඡා කළා කොයි රටට ද යන්නෙ කියලා. අවසානෙ තුන් දෙනා ගෙ තීරණය වුණේ සිංහල රටට යමු කියන එක. ඒ අනුව ශෛලමය නැව් රැසක් ම නිර්මාණය කරවපු මේ කුමාරවරු, පන්සියයක් පිරිවරත් එක්ක සිංහල රටට පිටත් වෙන්න නැව් නැඟුණා. කෝල්මුර කවිවල තියෙන විදියට මේ අය ගොඩබහින්නෙ සීනිගමට.
කවිවල තියෙන විදියට, ලංකාවට ගොඩ බැස්ස මලල බණ්ඩාරට නොයෙක් ගැටුම්වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. මුලින් ම මලල කුමාරයාට විරුද්ධ ව ආවෙ ඊරියගම කියන යක්ෂයා. ඊරියගම යක්ෂයා ව පරද්දවන මලල කුමාරයා ඊගාවට යන්නෙ නවගමුවට. නවගමුවෙදි පත්තිනි මෑණියන් ගෙ රන් හළඹෙ ගිගිරි හඬ නවත්තලා එ තැන මුල් පුටුව ගන්නවා. ඊට පස්සෙ ඔහු විල්බාවට ගිහින්, විල්බාවෙ විෂ්ණු දෙවියන් ගෙ ළිඳට මල් පණුවො දානවා. ඒ විතරක් නෙවෙ යි. විල්බාවෙ විෂ්ණු දෙවියන් ගෙ දේවාලය ළඟ තිබුණු තල් ගස් දෙකක් ලණු අඹරනවා වගේ අඹරලා දානවා. ඔය සිද්ධි නිසා විල්බාවෙදිත් සතියක් මුළුල්ලෙ ම මලල බණ්ඩාර පූජා සත්කාර ලබනවා. එතැනින් කුරුණෑගලට එන ඔහු කුරුණෑගල මහ වැවේ රාජකීය ඔරුව පදින්නට නො දී නතර කරනවා.
එතැනින් දෙවියෝ වැඩලා නවගමුවේ වැඩ සිටි නේ
පුටුව ගන්ඩ නඩු කියමින් සත් දවසක් වැඩ සිටි නේ
රට සිට ආ මලල රජුට නො දෙමි පුටුව කියමින් නේ
හළඹ ගිගිරි හඬ නවතා මුල් පුටුවේ වැඩ සිටි නේ
එල්ල බලා වැඩ සිටගෙන සතොසින් එම විල්බාක ඩ
නල්ල වෙලා කුරුණෑගල නරනිඳු හට තෙද පාන් ඩ
රැල්ල බලා දේව අඟුල මහ වැව මැද බැරි පදින් ඩ
වල්ල මලක් පෙරහැර කර ඉද්දර මල් පුටුව ගන් ඩ
එ කල්පයක් සත හට පවතින්නට
හළඹ ගිගිරි හඬ නවතා ලා
දෙ කල්පයක් සත හට පවතින්නට
වීර විකුම් හඬ පතුරා ලා
විකල් බිහිරි හඬ පිස්සු විකාරෙන්
යකුන් දමා ගසමින් පැන ලා
උපුල් රාම රජ නො බලා මුරුතැන්
ළිඳේ ද පණුවන් ලා එක ලා
අවසානෙ දඹදෙණියෙ මාලිගාවට ගිහින් දඹදෙණි මාලිගාවෙ බිසෝවරු හැටක ගෙ ම බෙල්ල කඩලා මරලා දානවා. මේ විදියට තමන් ගෙ බලය ලංකාවෙ පතුරවන්න මලල බණ්ඩාර කටයුතු කළා. මේ සිදුවීම ගැනත් කෝල්මුර කවිවල මේ විදියට සඳහන් වෙනවා.
පොටක් රුවැති නීල සලුව
වසමින් එයි ලොව මුලුල් ල
තුඩත් වඩන මහත් වු රන්
කඩුව ගනිති සුරත එල් ල
බැටත් දි දී ගජැතු ලෙසින්
පරදවමින් රුපු සියල් ල
හැටක් කතුන් දඹදෙණි පුර
රජ ගෙට ගොස් කඩති බෙල් ල
මලල බණ්ඩාර දෙවියො ලංකාවට එන්නෙ දඹදෙණිය රාජධානි සමයෙදි. මුලින් ම අණ තෙද පාගෙන, බැල්ම ලාගෙන හිටියෙත් කුරුණෑගල දිස්ත්රික්කයෙ ම ප්රදේශයකට බව පැවැසෙනවා. මලල බණ්ඩාර දෙවියන් වෙනුවෙන් මුලින් ම දේවාලයක් නිර්මාණය වුණු ආකාරය ගැන තියෙන්නෙත් අපූරු කථාවක්.
එක දවසක්, යගම් පත්තුවේ තිබුණු යකඩ කම්හලකට එන වල් අලියෙක්, එහි තිබුණු මැණිකක් සොරකම් කළා. මැණික අරගෙන යන හස්ථියා එක්තරා මඟුල් කරඳ ගහක බෙණයක මැණික තැන්පත් කරලා ආහාර ගන්න පටන් ගත්තා. ආහාර ගෙන අවසානයේ ආයෙත් කැලයට යන්න සූදානම් වුණු හස්ථියා, මඟුල් කරඳ ගහේ බෙණයේ තැන්පත් කරපු මැණික සොඬින් ගන්න උත්සාහ කළා. බෙණයේ සිදුර බොහෝ කුඩා එකක් වූ නිසා හස්ථියාට තමන් සොරකම් කරපු මැණිය නැවැත ගැනීමේ හැකියාවක් ලැබුණෙ නෑ.
මඟුල් කරඳ ගහක් යටට වෙලා හස්ථියෙක් යම් දෙයක් කරමින් ඉන්නවා ගමේ මිනිස්සු දැක්කා. හස්ථියාව පළවා හරින ගම්වැසියො, මඟුල් කරඳ ගහ යටට වෙලා ඌ කර කර හිටියෙ මොකක්ද කියලා හොයලා බැලුවා. ඒ වෙලාවෙ දි ඔවුන් දැක්කා ගස් බෙණේ තිබුණු මැණික. ඔවුන් මැණික ගන්න උත්සාහ කරද්දි එතැන හිටපු කෙනෙකුට දේවාරූඪයක් ඇති වුණා. ‘මේ මැණික මලල බණ්ඩාර දෙවියන්ට අයිති එකක්. එය තියෙන තැනින් ඉවත් නො කර මේ ස්ථානයේ ම දේවාලයක් ඉදි කරන්න.’ ආරූඪයෙන් ගම්වැසියන්ට අණ කළේ ඒ විදියට. දෙවියන් ගේ අණ අනුව ඒ ස්ථානයේ දේවාලයක් නිර්මාණය කරලා මලල බණ්ඩාර දෙවියන්ට පුද සත්කාර කරන්න මිනිස්සු කටයුතු කළා.
මලල බණ්ඩාර දෙවියන් සම්බන්ධ විශ්වාසය ලංකාවේ විවිධ පැතිවල මේ වෙද්දි ව්යාප්ත වෙලා තියෙනවා. සමහර විට මලල බණ්ඩාර නමින් ම නැතත්, වෙනත් නම්වලින් හෝ ඔහු සම්බන්ධයෙන් විවිධ අභිචාර විධි හා විශ්වාස පවතින බව පේනවා. මේ සටහනට අමුණලා තියෙන්නෙ පුස්කොළ පොතක ඇඳ තිබුණු මලල බණ්ඩාර දෙවියන් ගෙ රූප සටහනක්.