මහාවංසයේ සඳහන් වන ආකාරයට මෙරට පළමු පාලකයා විජය නමැති උතුරු ඉන්දියානුවෙකි. නමුත් විජය යනු සංක්‍රමණියයෙක් වශයෙන් පැමිණ ආක්‍රමණියෙක් ලෙස ලංකායේ උතුරුදිග තැන්නේ සැලකියයුතු ප්‍රදේශයක බලයක් ගොඩනගාගත් අයෙකි. එහෙත් ඔහු එම බලය ගොඩනගාගත්තේ බලහත්කාරයෙන් මිස මහජන සම්මතයකින් නොවේ. එපමණක් නොව ඔහු විටිින් විට මෙරටට ඉන්දීය ජනයා ගෙන්වා මෙහි ඉන්දීය ගහණය වැඩි කරන්නට උත්සාහ කළ බව පෙනී යයි. දකුණු ඉන්දියාවෙන් පවා දහස්ගණනින් ජනතාව ගෙන්වා පදිංචි කරවූ බව වංසකතා අනුව පැහැදිලි වේ. දේශීය ජනයාට සැලකුවේ පහත් කුලිකයන්ට ආකාරයෙනි. කුවේණිය පිටමංකිරීම ඊට කදිම උදාහරණයකි. ඔහුගේ සහචරයින්ට පවා විවාහ කරදුන්නේ ද ඉන්දීය කාන්තාවන් ය. මේ නිසා විජය දේශීය ජනයාගේ අවශ්‍යතා නියෝජනය කළ නායකයෙක් නොවන බව පැහැදිලි වේ. නමුත් පණ්ඩුකාභය ඉන්දීය සම්භවයක් ඇති පුද්ගලයෙක් යැයි අනුමාන කරතත් කුඩාකළ පටන් හැදී වැඩුනේ දේශීය ගොපළු ගමක. ඔහු මාමාවරුන් හා යුද්ධ කළේ උතුරුදිග තැන්නේ බොහෝ ජනතාවගේ උපකාර ඇතිව ය. මල්වතු ඔය නිම්නය, අනුරාධපුරයට දකුණුදිගින් ඇති ප්‍රදේශ වල, ගල්කඩ රට වැනි කලා ඔය ආශ්‍රිත ප්‍රදේශවල හා මහවැලි නිම්නයේ උදුම්බරාගිර හෙවත් දිඹුලාගල වගේ ප්‍රදේශවල ජනතාව මෙන් ම ප්‍රාදේශීය ප්‍රභූපන්තිය ද ඔහුට උපකාර කළ බව මහාවංසය අනුව පෙනී යයි. හේතුව විජයගෙන් පසු බිහි වූ, දේශීයත්වයට විරුද්ධ ඉන්දීය මූලයක් සහිත පාලනයෙන් මිදීමට ඔවුන්ට අවශ්‍ය වූ නිසා ය. එතුවක් කල් ක්‍රමයෙන් වැඩෙමින් පැවති ගමික, පරුමක ආදී තනතුරු මුල් කරගත් දේශීය පාලන රටාව යළි ශක්තිමක් කරන්නට අවශ්‍ය වූ නිසා ය. මේ නිසා පණ්ඩුකාභය බලයට පත්වන්නේ බහුතර මහජන සම්මුතියක් ඇතිව ය. මහජන කැමැත්ත ඇතිව ය. දේශීය සහය ලැබුණු නිසා ඔහු බලයට පත්වූ පසු අගනුවර කරගන්නේ දේශීය ජනයා විසින් කාලයක් තිස්සේ හෙක්ටයාර 50කට වඩා විශාල ජනාවාසයක් වශයෙන් ගොඩනංවා තිබූ අනුරාධගාමය. පණ්ඩුකාභය එය අනුරාධපුරය බවට පත් කළේ ය. විජය හා පැමිණි අනුරාධ නමැති සහචරයා මේ ගමේ ගම් ප්‍රධානියා බලයෙන් පහකර හෝ මරා දමා මේ ජනාවාසය අල්ලාගෙන එය අනුරාධගාමය කියා නම් කළත් මල්වතු ඔය නිම්නයේ පිහිටි මේ ජනාවාසයට පැරණි නමක් සඳහන් නොවේ. නමුත් පුරාවිද්‍යා කැණීම් වලින් පවා විජයාගමනයට පෙර මල්වතු ඔය නිම්නයේ තිබූ මේ හෙක්ටයාර 50ක් තරම් විශාල ජනාවාසය සනාථ වී තිබේ. එය සපුරාම දේශීය ජනාවාසයකෙි. උපතිස්ස නුවර ඒ වනවිට ඉන්දීය ගහණය වැඩි ජනාවාසයක් වූ බව, විටින් විට පැමිණි ඉන්දීය සංක්‍රමණිකයින් පිළිබඳ වංසකතා සාධක වලින් පෙනී යයි. මේ නිසා පණ්ඩුකාභය තෝරා ගත්තේ අනුරාධගාමය යි. ඔහු එය සංවර්ධනයේ දී වැඩි නැඹුරුවක් දැක්වූවේ දේශීය අවශ්‍යතාවන්ට ය. ඒ නිසා ඔහු නගර සංවර්ධනයේ දී පාරම්පරික දේශීය ඇදහිලි වලට විශාල ඉඩක් වෙන් කළේ ය. දේශීය ඇදහිලි වූ පශ්චමරාජිනී, ව්‍යාධ, වෙසවුණි සහ කම්මකාර වැනි දෙවි වරුන්ට අමතරව තමන්ට යුද්ධයේ දී උපකාර කළ වලවාමුඛි සහ චේතියාටත්, තමන්ව රැකගත් චිත්‍රරාජ සහ කාලවේල දෙදෙනාටත්, කුඩා කාලයේ තමන්ව ආරක්ෂිතව ගොපළු ගමට ගෙනගිය ගුම්බකභූතා කියන දේශීය ගොපළු කාන්තාවටත් දේවාල කරවා වන්දනාවට පාත්‍ර කළේ ය. ඒ බොහොමයක් නගරය තුළ හා නගරයට ඉතා ආසන්නව ඉදි කළේ ය. දේශීය ඇදහිලි වලට ඒ තරම් සැලකුව ද ඉන්දීය මූලයක් ඇති ආජීවක, පරිබ්‍රාජක, නිගණ්ඨ, බ්‍රාහ්මණ හා ශිව ලිංග වන්දනාව, වැනි ආගම් වලට පමණක් ආරාම කිහිපයක් නගරයට පිටතින් ඉදිකළ බව සඳහන් වේ. මේ අනුව පෙනී යන්නේ පණ්ඩුකාභය දේශීය ජනයාවත්, ජන අවශ්‍යතාත් වැඩි වශයෙන් නියෝජනය කළ බව යි. වාර්තාගත ඉතිහාසයේ එවැනි කටයුතු කළ පළමු රජු ඔහු ය. ඒ නිසා ඔහු මෙරට පාලකයා වශයෙන් සැලකේ.