ක්‍රිස්තු පූර්ව 6වන සියවසේ භාරතයේ උත්තර ප්‍රදේශයය කේන්ද්‍රකරගනිමින් නව දේශපාලන හා ආර්ථික සංස්කෘතියක් වර්ධනය වෙමින් පැවත් බව ඉහත විස්තර අනුව පෙනී යයි. මේ කාලයේ ගංගානිම්නයේ වෙළඳ හා ගොවි පන්තිය ප්‍රබල වෙමින් නැගී ආයේ ය. උතුරු ඉන්දියාවේ නැගෙනහිර කොටසට වන්නට වූ තොටුපළ ආශ්‍රිතව ශ්‍රේෂ්ඨීන් හෙවත් සෙට්ටිවරු(සිටුවරු) ධනවත් පන්තියක් ලෙස වර්ධනය වෙමින් සිටිය හ. මෙකල ගහපති යනුවෙන් හැඳින්වූයේ පවුලේ ප්‍රධානියා නොවේ. ඕනෑම කුලයක ධනවත් අයෙකු හැඳින්වීමට මෙම නාමය භාවිත විය. ගවයා යනු ආර්ථිකය මනින එකම මිනුම් දඬුව නොවූව ද ගවයාට පෙර තිබූ ස්ථානය ම හිමි වී තිබුණි. ගවයින් බොහෝකොට ඇත්නම් හේ ධනවතෙකු සේ පිළිගැනුණි. ඉපැයීම, විනෝදය, නිදහස වැනි දේට විනා අමූලක කුල ක්‍රම හෝ අනවශ්‍ය සීමා බන්ධන වලට වැඩි තැනක් නොලැබුණි. අශ්වමේධ, පුරුෂමේධ වැනි මහා පරිමාණ යාග යටපත් වී ගොස් තිබුණි. දේශපාලනයේ දී යුධ ආක්‍රමණය, ආර්ථික අතින් බලවත්වීම වැනි දේට මිස පුහු යඥවලට මුල්තැන නොලැබුණි. ඒනිසා මේ කාලයේ බලවන්ත ග්‍රාම වලින් ඇරඹී ආර්ථික ශක්තිය හා යුධ ශක්තිය ක්‍රමයෙන් වර්ධනය කරගත් කණ්ඩායම් කුඩා රාජධානි වශයෙන් වර්ධනය විය. මේවා ක්‍රමයෙන් බලවත් වීමෙන් ගංගා නිම්නය අවට කුඩා රාජධානි ගණනාවක් බිහිවිය. මේවා අතරින් වඩාත් බලවත් වූ රාජධානි 16ක් පිළිබඳ බෞද්ධ හා ජෛන සාහිත්‍ය ග්‍රන්ථ වල සඳහන් වේ. මේ අතරින් බෞද්ධ අංගුත්තර නිකායේ සඳහන් වන සොළොස්මහා ජනපද ඉන්දීය ඉතිහාසයේ මේ යුගය හැදෑරීමේ දී පදනම කරගැනේ.
- අංග – රාජාණ්ඩුවකි. චම්පාව අගනුවර කරගනිමින් ඉන්දියාවේ නැගෙනහිර කොටසේ වර්ධනය විය.
- මගධ – රාජාණ්ඩුවකි. පළමුව ගිරිබ්‍රජය අගනුවර කරගත් මෙය පසුව රාජගෘහය අගනුවර කරගෙන වර්ධනය විය. නමුත් වඩාත් ප්‍රබල වූයේ පාඨලීපුත්‍රය අගනුවර බවට පත්වූ පසු ය. සොළොස්මහා ජනපද අතරින් වඩාත් ප්‍රබල, ප්‍රමුඛ ජනපදය ලෙස වර්ධනය වූයේ මෙය යි.
- කාසි – රාජාණ්ඩුවකි. බරණැස අගනුවර විය. මුල දී ස්වාධීනව සිටි ඔවුන් පසුව කෝසලයට යටත් රාජ්‍යයක් බවට පත් විය. අනතුරුව මගධයට අයත් විය.
- කෝසල – රාජාණ්ඩුවකි. උතුරු හා දකුණු කෝසලය ලෙස කොටස් දෙක විය. නමුත් පාලනය වූයේ එක් රජෙකු යටතේ නිසා එක් රාජ්‍යයක් සේ සැලකේ. කුසාවතිය සා සාවත්තිය(ශ්‍රාවස්ථිය) අගනුවර දෙක විය. ප්‍රසේනජිත් කොසොල් රජු යටතේ ප්‍රබල රාජ්‍යයක් වශයෙන් වර්ධනය විය.
- වජ්ජි – සමූහාණ්ඩුවකි. වේසාලිය අගනුවර කරගනිමින් වර්ධනය විය.
- මල්ල – සමූහාණ්ඩුවකි. කුසිනාරා හා පාවා නමින් අගනුවර දෙකක් විය.
- චේදි – රාජාණ්ඩුවකි.සොත්ථිමතී අගනුවර විය.
- වත්ස – රාජාණ්ඩුවකි. කෝසම්බි හෙවත් කෞෂම්භිය අගනුවර විය.
- කුරු – රාජාණ්ඩුවකි. – ඉන්ද්‍රප්‍රස්ථ හෙවත් ඉඳිපත්නුවර අගනුවර විය. බුද්ධකාලීනව කෞරව්‍ය හෙවත් කෞරව රජු පාලනය කළේ ය.
- පංචාල – රාජාණ්ඩුවකි. අභිච්ඡත්‍ර හා කාම්පිල්‍ය නමින් අගනුවර දෙකක් විය. චූලනී බ්‍රහ්මදත්ත නමින් ප්‍රකට රජෙකු විය.
- මත්ස්‍ය – රාජාණ්ඩුවකි. විරාටය අගනුවර විය.
- සූරසේන – රාජාණ්ඩුවකි. යමුනා නදීබඩ පිහිටි මෙය මථූරාව අගනුවර කරගනිමින් වර්ධනය විය.
- අස්මක – රාජාණ්ඩුවකි.අගනුවර පෝතාලි නම් විය.
- අවන්ති – රාජාණ්ඩුවකි – මුල් අගනුවර මාහිෂ්මතී නම් විය. පසුව උජ්ජයිනී අගනුවර බවට පත් විය. චණ්ඩ
- පජ්ජෝත රජු මෙහි බුද්ධකාලීන පාලකයෙකි.
- ගාන්ධාර – රාජාණ්ඩුවකි. කත්ෂිලාව අගනුවර විය.
- කාම්බෝජ – සමූහාණ්ඩුවක් බව කෞටිල්‍ය සඳහන් කර තිබේ. එය අපැහැදිලිය. අගනුවර ද්වාරකා විය යුතු නමුත් පැහැදිලි තොරතුරක් නැත.