රාමායනය

ඉන්දීය ඉතිහාසය හැදෑරීමට යොදා ගන්නා දේශීය(ඉන්දීය) සාහිත්‍ය මූලාශ්‍රයකි. භරතීය මහාකාව්‍යද්වයෙන් එකකි. මහාභාරතය හා රාමායනය යන මහාකාව්‍යද්වයෙන්  මෙය වඩා පැරණි කෘතිය යැයි ද, පෞරාණික ආර්ය සම්ප්‍රදාය පිළිබිඹු කරන කෘතිය යැයි ද පිළිගැනේ. නමුත් මහාභාරතයට පාදක වූ සිද්ධිය රාමායනයට පාදක වූ සිද්ධියට පෙරාතුව සිදු වූ බව පිළිගැනෙයි. වාල්මිකී නම් මහර්ෂිවරයා මෙහි කතුවරයා යයි විශ්වාස කෙරේ. පැරණි ඉන්දීය සාහිත්‍යයට අයත් මහා කාව්‍යයක් ලෙස ද වීර කාව්‍යයක් ලෙස ද හැඳින්වේ. අතිශයෝක්තීන් හා දේවකතා ආදිය බහුල වීම නිසා ප්‍රබල ඉතිහාස මූලාශ්‍රයක් ලෙස නොපිළිගැනේ.  රාමායනය හෙළි කරන ඉන්දියාවේ භූ ගෝලීය පර්ස්ථීතිය තරමක් කුඩාය. දක්ෂිණාපථයේ රාජධානි පිළිබඳව රාමායනයේ සඳහන් නොවේ. එහෙත් එහි සඳහන් වන දණ්ඩකාරණ්‍යය නම් මහ වනය දක්ෂිණාපථයේ පිහිටි එකකැ’යි විද්වත්හු විශ්වාස කරති. රාමායනය වත්මන් තත්ත්වයට වෙනස් වූයේ කවර කලෙකදැ’යි නිශ්චිත නැත. මෙම මහා කාව්‍යය 10 – 11 සියවස් වල දී චෝළ පාලකයින්ගේ අනුග්‍රහය මත තෙළිඟු බසට ද පරිවර්තනය වී ඇත. ඉන් පෙනෙන්නේ උත්තරාපථය කියා හෝ දක්ෂිණාපථය කියා හෝ  භේදයකින් තොරව මේ මහා කාව්‍යය සියලූ භාරතීයයන් විසින් පිළිගත් බවයි.