මහාභාරතය

ඉන්දීය ඉතිහාසය හැදෑරීමට යොදා ගන්නා දේශීය(ඉන්දීය) සාහිත්‍ය මූලාශ්‍රයකි. පැරණි ඉන්දීය සාහිත්‍යයට අයත් මහා කාව්‍යයක් ලෙස ද වීර කාව්‍යයක් ලෙස ද හැඳින්වේ. හින්දු පුනර්ජීවනයක ප්‍රතිඵල නිසා බිහි වූවක් යැයි ද පිළිගැනේ. අතිශයෝක්තීන් හා දේවකතා ආදිය බහුල වීම නිසා ප්‍රබල ඉතිහාස මූලාශ්‍රයක් ලෙස නොපිළිගැනේ. රාමායනය නම් අනෙක් මහා කාව්‍යයට සාපේක්ෂව මහාභාරතය වඩාත් පුළුල් භූගෝලීය පරිස්ථීතියක් සහිත ඉන්දියාවක් පිළිබඳ තොරතුරු හෙළි කරයි. දක්ෂිණාපථයේ වන රාජධානි පිළිබඳව ද, එහි වාසය කළ ජාතීන පිළිබඳව ද, ගංගාවන් පිළිබඳව ද මහා භාරතයේ විස්තර ඇතුළත් වේ. එහි එක් යුධ වීරයෙකු වන සහදේව පාණ්ඩ්‍ය, ද්‍රවිඩ, උද්‍ර, කේරළ හා ආන්ද්‍රයන ජාතීන් ජයගත් බව සඳහන් වීමෙන් ම මෙම කතුවරයා දක්ෂිණාපථය පිළිබඳව යම් අවබෝධයක් ලබා තිබූ බව හෙළි වේ. මහා නදී, ගෝදාවරී, ක්‍රිෂ්ණ, කාවේරි යන නදීන් පිළිබඳව ද, උත්තරාපථයේ සිටි ජාතීන් 157 (එකසිය පනස් හතක්) පිළිබඳව ද, දක්ෂිණාපථයේ සිටි ජාතීන් 50 (පනහක්) පිළිබඳව ද මෙම කෘතියේ සඳහන් වේ. මෙම මහා කාව්‍යය 10 – 11 සියවස් වල දී චෝළ පාලකයින්ගේ අනුග්‍රහය මත තෙළිඟු බසට ද පරිවර්තනය වී ඇත. ඉන් පෙනෙන්නේ උත්තරාපථය කියා හෝ දක්ෂිණාපථය කියා හෝ  භේදයකින් තොරව මේ මහා කාව්‍යය සියලූ භාරතීයයන් විසින් පිළිගත් බවයි.