WordPress WooCommerce Themes

නාණක මූලාශ්‍රයෝ (ලංකා ඉතිහාසය)

කාසි පිළිබඳ විද්‍යාව  නාණක විද්‍යාව නම් වේ. කාසි වලින් අතීත ආර්ථීක තොරතුරු, දේශපාලන තොරතුරු, ආගමික තොරතුරු, තාක්ෂණික තොරතුරු, විදෙස් සබඳතා පිළිබඳ තොරතුරු ආදිය හෙළි වේ.  ලංකාවෙන් හමු වී ඇති පුරාණතම කාසි වර්ගය වන්නේ කහාපණය යි. එය කර්ෂාපනය, පුරාණය, ධරණය වැනි නම් වලින් ද හැඳින්වේ. පුරාණ කාලයේ පටන් ලංකාවේ කාසි භාවිත වූ බවට මේ මගින් තොරතුරු හෙළි වේ. එම කාසි වලට අමතරව ලංකාවෙන් ඇතා සහ ස්වස්ථික කාසි, සිංහ කාසි, ලක්ෂ්මී තහඩු කාසි  ආදිය ද හමු වේ. මේවායින් ලංකා ඉතිහාසය පිළිබඳ බොහෝ තොරතුරු හෙළිකරගත හැක. කහාපණය යනු රිදී පොලූ තලා එක පමණට කපා සකසා ගත් කාසියකි. ලෝහ තහඩු වලින් කළ කාසි ද විවිධ සංකේත එබ්බවූ කාසි ද, විවිධ හැඩ වලට සකස් කළ කාසි ද, කාසි අච්චු ද ලංකාවෙන් හමු වී ඇත. මේවායින් ලංකාවේ පුරාණ ලෝහ තාක්ෂණය පිළිබඳ තොරතුරු ලබාගත හැකි වේ. ඇතා සහ ස්වස්ථීක කාසිය, සිංහ කාසිය, ලක්ෂ්මී තහඩු කාසිය, සිංහල මසු ආදිය ලංකාවෙන් හමු වූ දේශීය කාසි වර්ග වන අතර රෝම කාසි, ඉන්දු-රෝම කාසි, චීන කාසි, පාණ්ඩ්‍ය කාසි, සොළී කාසි, පෘතුගීසි කාසි, ලන්දේසි කාසි ආදිය ලංකාවෙන් හමු වූ විදේශ කාසි වර්ග වේ. විදෙස් කාසි වලින් ලංකාවේ විදෙස් සබඳතා හා විදෙස් වෙළඳ සබඳතා පිළිබඳ තොරතුරු හෙළි වේ. කාසි වලින් වැඩි වශයෙන්ම හෙළි වන්නේ ආර්ථීක තොරතුරුය. නාණක විද්‍යා විෂයක්ෂේත්‍රයට කාසි වල ප්‍රභවය, සංවර්ධනය, විවිධ කාසි මුද්‍රණය, ලෝහ විද්‍යාව, කාසි වල මුදල්මය අගය වැනි අංග ඇතුළත් වේ. අනුරපුර යුගයේ ශිලා ලේඛන වල ද කහවණුව, අඩකහවණුව වැනි වදන් හමු වේ. යම් කාසියක් භාවිත වන්නේ එම කාසිය නිකුක් කළ රජුගේ අණසක පැතිර ඇති ප්‍රදේශ වල පමණක් නිසා කාසි වල භූගෝලීය ව්‍යාප්තිය අනුව ඒ ඒ රජවරුන්ගේ දේශපාලන බල ව්‍යප්තිය ද අවබෝධ කොට ගත හැක. ඉතිහාසය පිළිබඳ කාල නිර්ණයට ද කාසි වලින් මහත් පිටුබලයක් ලැබේ. ලංකාවෙන් හමු වූ විදේශ කාසි ඇසුරෙන් ලංකාවේ විදේශ සබඳතා වල ඉතිහාසය පිළිබඳව ද කරුණු අධ්‍යයනය කළ හැක. කලින් කලට මෙරට පැතිර ගිය විදේශ ආධිපත්‍යයන් පිළිබඳව ද කාසි වලින් තොරතුරු සොයා ගත හැක. කාසි වල ඇති ඇතැම් රූප සටහන් වලින් ද බොහෝ තොරතුරු හෙළි වෙයි. ලක්ෂ්මී රුව ආගමික තොරතුරු හෙළි කරයි. ඒවායේ ඇති ඇඳුම් පැළඳුම් ආදියෙන් සාමාජික තොරතුරු හෙළි වේ. එ්වායේ ඇති සැරසිලි ලක්ෂණ ආදියත් මානව සත්ත්ව රූප ආදියත් පැරණි කලා කටයුතු පිළිබඳ සාක්ෂි වේ.

සබැඳි ලිපි

ArtEncyclopedia

අං සහිත දෙවියා

අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
EncyclopediaEncyclopedia-History

අංග

අංග උතුරු ඉන්දියාවේ වත්මන් භාගල්පූර් හා මොන්ගීර් දිස්ත්‍රික් ආශ්‍රිතව රාජ්මහල් කඳු ප්‍රාන්තයේ පුරාතනයේ පැතිර තිබූ රාජධානියකි. නැගෙනහිරින් චම්පා නදිය විය. උතුරින් ගලා ගියේ ගංගා නදිය...
Encyclopedia

අංගද

අංගද ඉන්දීය ඉතිහාසයේ හමුවන චරිතයකි. භාරතයේ වීර කාව්‍යයක් සේ සැලකෙන රාමායනයේ ප්‍රමුඛ චරිතය වන රාම රජුගේ සොයුරු ලක්ෂ්මණගේ පුතුන් දෙදෙනාගෙන් කෙනෙකි. අතේ ඉහළ කොටස හෙවත්...
Encyclopedia

අංගාර චේතිය

අංගාර චේතිය දඹදිව පිප්ඵලී වනයෙහි විසූ මෝරිය රජ දරුවන් විසින් ඉදි කළ චෛත්‍යයකි. බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑ පසු ආදාහනය කළ ස්ථානයෙන් ලබා ගත් අඟුරු නිදන්...
Encyclopedia

අංගිය

අංගිය භාරතීය කුල නාමයකි. මෙය ම අම්බිය නමින් ද හැඳින්වේ. සාතවාහන රාජ වංශයට අයත් ගෞතමීපුත්‍ර ශාතකර්ණී රජු විවාහ වූයේ මේ කුලයේ කුමරියක සමග බව නානාඝාත්...
Encyclopedia

අංගීරස

අංගීරස (බෞද්ධ) ශරීර අංගයන්ගෙන් රශ්මිය විහිදෙන යන අරුතින් බුදුරදුන් වෙනුවෙන් යෙදූ අපර නාමයකි.