අභිලේඛනමය මූලාශ්‍රයෝ.(ලංකා ඉතිහාසය)

අභිලේඛන ලෙස හඳුන්වන්නේ ඕනෑම මතුපිටක ලියූ පැරණි ලේඛනයන් ය. මේවා ගල් මත, මැටි පුවරු මත, තඹපත් මත, රන්පත් මත, තල්පත් මත,  සත්ත්ව හෝ මිනිස් අස්ථි මත, කඩදාසි මත, වීදුරු මත ආදී වශයෙන් ඕනෑම මතුපිටක ලියා තිබිය හැක. මේ සියලු වර්ග ලංකාවෙන් හමු නොවෙතත් ශිලා ලිපි, තඹපත්, රන්පත්, තල්පත් ආදිය හමු වේ. කඩදාසි මත හා දැවමත ලියූ ලියූ ඉතිහාස ලේඛන ද හමු වේ. දැවමත ලියූ ලේඛන අතර ඇම්බැක්කේ කණුවල ඇති සටහන් වැදගත් වේ. වල්ලිපුරම් රන් සන්නස ලංකාවේ ප්‍රකට රන් සන්නසකි. මෙහි ඇත්තේ වසභ රාජසමයේ තොරතුරු ය. වසභ රජ දවස නාගදීපය හෙවත් වත්මන් යාපන අර්ධද්වීපය වසභ රජුගේ අධීක්ෂණය යටතේ ඉසිගිරිය නමැති අමාත්‍ය වරයා විසින් පාලනය කළ බවත් එහි බෞද්ධ විහාරාරාම තිබූ වගත් ඉන් හෙළි වේ. ජේතවනාරාම රන් බණ පොත ද ලංකාවෙන් හමු වූ රන් තහඩු මත ලියූ ලිපියකි. මහා විජයබාහු රජුගේ කුඩා කල දිවි පෙවෙත, එතුමන් විඳි දුෂ්කරතා බුදල්නාවන් එතුමන්ට කළ උපකාර ආදිය සඳහන් පනාකඩුව තඹ සන්නස ලංකාවෙන් හමු වූ වඩාත් ප්‍රකට තඹ සන්නසයි. මෙම සන්නසෙන් හමු වූ තොරතුරු වලින් පොළොන්නරුව මුල්කරගත් චෝළ පාලන සමයේ ලංකාවේ තත්ත්වය අවබෝධ කරගත හැක.මෙහි එන තොරතුරු වෙනත් මූලාශ්‍රය වල සඳහන් නොවන නිසා තවත් වැදගත් ය.

ශිලාලේඛන

ඉතිහාසය හදාරන්නෙකුට ශිලාලේඛන වැදගත් වන ආකාරය පොදුවේ මෙසේ දැක්විය හැකිය.

  • ඉතිහාසගත කරුණු සනාථ කර ගැනීමට සාක්ෂි ලෙස ද
  • සාහිත්‍ය මූලාශ්‍ර වල සඳහන් වන කරුණු සනාථ කර ගැනීමට ද
  • සාහිත්‍ය මූලාශ්‍ර වල එන ඇතැම් වැරදි අඩුපාඩු නිවැරදි කරගැනීමට ද
  • ඉතිහාසගත නොවූ ඇතැම් කරුණු ගවේෂණයට ද
  • පුරාණ රාජ්‍යයන්ගේ හා රජවරුන්ගේ පාලන බල ප්‍රදේශය තීරණය කිරීමට ද
  • භාෂාවේ පරිණාමය ඉගෙනිමට ද
  • අක්ෂර පරිණාමය පිළිබඳ තොරතුරු ලබාගැනීමට ද යොදාගත හැක.

සෙල් ලිපි වනාහි අතිශය වැදගත් ම පුරාවිද්‍යා මූලාශ්‍රයයි. එහෙත් අඛණ්ඩ ඉතිහාසය ගොඩනැගීමට සෙල්ලිපි පමණක් ප්‍රමාණවත් නොවේ.

  1. ලෙන් ලිපි – ලෙන් වල ලියූ ලිපි.
  2. ගිරි ලිපි – ගිරි හෙවත් පර්වත මත ලියූ ලිපි.
  3. ටැම් ලිපි – ටැම් මත ලියූ ලිපි.
  4. පුවරු ලිපි – ගල් පුවරු මත ලියූලිපි.
  5. ආසන ලිපි – ගල් ආසන මත ලියූ ලිපි.

යනුවෙන් ස්වභාවය අනුව සෙල්ලිපි ප්‍රධාන කොටස් පහකට බෙදෙයි. ඊට අමතරව ලියා ඇති කාලය අනුව ද කොටස් 3කට බෙදා දැක්විය හැක.

  1. පූර්ව බ්‍රාහ්මී සෙල්ලිපි- (ක්‍රි පූ. 03 සියවසේ සිට ක්‍රි.ව 01 සියවසේ මුල් භාගය දක්වා කාලයට අයත් සෙල්ලිපි)
  2. අපර බ්‍රාහ්මී සෙල්ලිපි- (ක්‍රි.ව.01 සියවසේ අග භාගයේ සිට ක්‍රි.ව. 07 වන සියවසේ අවසානය දක්වා කාලයට අයත් සෙල්ලිපි)
  3. පශ්චාත් බ්‍රාහ්මී සෙල්ලිපි (ක්‍රි.ව.අටවන සියවසේ සිට ක්‍රි.ව. පහළොස්වන සියවසේ අවසානය දක්වා කාලයට අයත් සෙල්ලිපි)

ලංකාවෙන් මෙතෙක් හමු වී ඇති ශිලා ලේඛන අතරින් පැරණි ම ශිලා ලේඛන හමු වී ඇත්තේ මිහින්තලේ හා වෙස්සගිරිය අදී ස්ථාන වලිනි ඒවා ආසන්න වශයෙන් ක්‍රි. පූ. 3 සියවසට, එනම් මහින්දාගමනය සිදුවූ යුගයට පමණ අයත් වේ. මේවා පූර්ව බ්‍රාහ්මී සෙල් ලිපි වර්ගයට අයත් ය.එමෙන් ම මේවා ලෙන් ලිපි ය.  පූර්ව බ්‍රාහ්මී සෙල් ලිපි ලංකාවේ කඳුකර ප්‍රදේශ වලින් හැර වෙනත් බොහෝ පළාත් වලින් ලැබේ. ඒවායින් ලංකාවේ ආර්ය ජනාවාස ව්‍යාප්තිය හා බුදුදහමේ ව්‍යාප්තිය පිළිබඳබොහෝ තොරතුරු ලැබේ. පූර්ව බ්‍රාහ්මී සෙල් ලිපි ඉතා කෙටිය. බොහෝ විට ඒවා ලෙන් ලිපි වන අතර ලෙන් කටාරමට යටින් කොටා ඇත.   පූර්ව බ්‍රාහ්මී සෙල් ලිපි වල සාමාන්‍යයෙන් අන්තර්ගත වන්නේ යම් යම් පුද්ගලයන් විසින් භික්ෂූන් වහන්සේලා උදෙසා කළ පරිත්‍යාගයන් පිළිබඳවය. එබැවින් ඒවා එක්තරා ආකාරයක ඔප්පු විශේෂයක් සේ ද සැලකිය හැකිය. (උදා-පරුමක ගුතහ පුත පරුමක තිශහ ලෙනෙ අගත අනගත චතුදිස සගස දිනෙ. එයින් අදහස් වන්නේ ගුත්ත නම් ප්‍රමුඛයාගේ පුත්‍ර ප්‍රමුඛ තිස්ස තමන් සතු ලෙනක් සඟ සතු කර පූජා කළ බවයි.) පූර්ව බ්‍රාහ්මී සෙල් ලිපි වලට වඩා අපර බ්‍රාහ්මී සෙල් ලිපි තරමක් දීර්ඝය. වස්තු විෂයය අතින් පූර්ව බ්‍රාහ්මී සෙල් ලිපි හා අපර බ්‍රාහ්මී සෙල් ලිපි  බොහෝ දුරට සමාන වේ. එහෙත්  අපර බ්‍රාහ්මී සෙල් ලිපි පූර්ව බ්‍රාහ්මී සෙල් ලිපි වලට වඩා තරමක් දීර්ඝ නිසා ඒවායෙන් හෙළිවන ඓතිහාසික තොරතුරු ප්‍රමාණය ද වැඩිය.

පූර්ව බ්‍රාහ්මී හා අපර බ්‍රාහ්මී සෙල් ලිපි  එක්ව ගත් කල ඒවායින්

  • සිංහල අක්ෂර වල විකාශය පිළිබඳ ,
  • නොයෙක් සංකේත පිළිබඳ ,
  • සිංහල වියරණ පිළිබඳ ,
  • රාජකීය නාම පිළිබඳ ,
  • රාජකීය විරුද නාම පිළිබඳ ,
  • ප්‍රාදේශීය රජවරුන් සහ කුමාරවරුන් පිළිබඳ ,
  • බ්‍රාහ්මණ, පරුමක, ගමික, ගපති වැනි කණ්ඩායම් පිළිබඳ
  • සමකාලීන ලංකාවේ රාජ්‍ය නිළධාරීන් පිළිබඳව,
  • එකල වෙළඳ කටයුතු පිළිබඳව,
  • ඉඩම් භුක්තිය පිළිබඳව,
  • භික්ෂූන් වහන්සේලා සහ භික්ෂුණීන් වහන්සේලා පිළිබඳව,
  • උපාසක උපාසිකාවන් පිළිබඳව
  • විවිධ ආගමික විශ්වාස පිළිබඳව

තොරතුරු රැසක් හෙළිකරගත හැක.   පූර්ව බ්‍රාහ්මී හා අපර බ්‍රාහ්මී සෙල්ලිපි යන දෙවර්ගයටම වඩා පශ්චාත් බ්‍රාහ්මී සෙල්ලිපි දීර්ඝ ය.  පශ්චාත් බ්‍රාහ්මී සෙල්ලිපි ආගමික අරමුණකින් ලියැවුණ ද ඒවායේ අනෙක් සෙල්ලිපි දෙවර්ගයටම වඩා සමාජ, ආර්ථීක, දේශපාලනික තොරතුරු වැඩි ප්‍රමාණයක් අන්තර්ගත වේ. පශ්චාත් බ්‍රාහ්මී ලිපි අතර ලෙන් ලිපි නොමැති තරම්ය. පුවරු ලිපි, පර්වත ලිපි හෙවත් ගිරි ලිපි, ටැම් ලිපි හා අසන ලිපි ආදිය වැඩිය. අනුරාධපුර යුගයේ අවසානය වන විට වඩා ප්‍රචලිතව පැවතියේ පුවරු ලිපි ය. මේ යුගයේ ඇතැම් සෙල්ලිපි වල රාජකීය නාම වෙනුවට විරුද නාම හෝ කෙටි නාම (තිස්ස, ගමණි, අභය, සිරිසෙඟබෝ, සලමෙවන් ආදී වශයෙන්) සඳහන් වන නිසා නිශ්චිත වශයෙන් කවර රජුට අයත්දැ‘යි සඳහන් කිරිම අපහසුය. එහෙත් සාහිත්‍ය මූලාශ්‍ර ද ඇසුරු කරගනිමින් ඉතිහාසඥයෝ ඉහත අභියෝගයට සාර්ථකව මුහුණ දෙති.

ශිලා ලේඛන අනුව පුරාණ නගර, ගම්, මාර්ග හඳුනාගතහැකි බව.

ශිලාලේඛන පිහිටා ඇති ස්ථානය අනුව පුරාණ ජනාවාස, පුරාණ මාර්ග, රාජ්‍ය බල ප්‍රදේශ ආදිය හඳුනාගත හැක. නූතන ගවේෂණ වල දී ශිලා ලේඛනයක් වනගත ප්‍රදේශයක තිබී හමුවිය හැකිය. නමුත් සාමාන්‍යයෙන් ශිලා ලේඛනයක් පිහිටුවන්නේ යම් කැරුණත් පිළිබඳ මහජනයා දැනුම්වත් කිරීම සඳහා වන නිසා එම ශිලා ලේඛනය පිහිටි ස්ථානය දැනට වනගත වුව ද එකල එම සථානය ජනාකීර්ණ හෝ මාර්ගයක් ආසන්න ස්ථානයක් බව අනුමාන කළ හැකි ය.

වංසකථා වල දක්නට නොලැබෙන කරුණු ද සෙල්ලිපි වල දක්නට ලැබෙන බව.

දෙවනපිය යන විරුද නාමය මුටසිව රජ පුත් තිස්ස රජු පමණක් නොව(දෙවන උපතිස්ස රජු දක්වා) අනුරපුර මුල් යුගයේ රජ කළ බොහෝ පාලකයෝ භාවිත කළ බව හෙළි වූයේ ශිලාලේඛන මාර්ගයෙනි. කුංචනාග සහ දෙවන සිරිනාග රජු අතර ඥාති සබඳතාවක් පිළිබඳ වංසකතා වල සඳහන් නොවෙතත්  වෙස්සගිරි ශිලාලේඛනයෙන් ඔවුන් අතර පැවති සබඳතාව හෙළි වේ.  දෙවන සිරිනාග සහ ගොඨාභය රජු අතර ඥාති සබඳතාව වංසකතා වල නැතත් තිඹිරිවැව ශිලාලේඛනයෙන් හෙළි වේ. හබැස්ස සහ තම්මැන්නාව ශිලාලේඛන වලින් වසභ රජුට උතර හා දුටග නමින් පුතුන් දෙදෙනෙකු සිටි බව හෙළි වේ. මේ දෙදෙනා පිළිබඳ වංසකතා වල සඳහන් නොවේ. කුසලානකන්ද, හෙන්නන්නේගල, බඹරගල, යටහලෙන ලිපි වලින් ලංකාවේ සිටි ප්‍රාදේශීය රජවරුන් පිළිබඳ තොරතුරු හෙළි වේ. කදුරුවැව ලිපියේ ඇමති පරම්පරා පහක් පිළිබඳ සඳහන් වේ. ලංකාවේ ආර්ථීක ඉතිහාසය පිළිබඳ  වංස කතා වල තොරතුරු බොහෝ අඩු ය. මේ නිසා ඒ සඳහා ද ශිලා ලේඛන යොදා ගතහැකිය. ඊට අනුව ලංකාවේ ආර්ථික ඉතිහාසය ගවේෂණය කරන විට වඩාත් ම වැදගත් ලිපි වන්නේ ගොඩවාය ලිපිය සහ හෝපිටිගමු(බදුලූ) ටැම් ලිපියයි. ගොඩවාය ලිපියේ එහි වරායෙන් ගන්නා ලද බදු මුදල් සංඝයාට පිරිනැමීම පිළිබඳවත් බදුල්ල ලිපියේ වෙළඳ නගරයක පාලනය පිළිබඳවත්, සිතුල්පව්ව ලිපියේ පළාතේ උසාවියට ලැබුණු දඩ ආදායම සංඝයාට පිරිනැමීම පිළිබඳවත් සඳහන් වේ. මෙම තොරතුරු වංස කතා වල සඳහන් නොවේ. චෝඩගංග නම් කුමාරයෙකු විසින් මෙරටට කළ ආක්‍රමණයක් පිළිබඳව ත්‍රිකුණාමලයේ කෙටි සංස්කෘත ලිපියක සඳහන් වන කරුණ කිසිදු සාහිත්‍ය මූලාශ්‍රයක සඳහන් නොවේ.  සාහිත්‍ය මූලාශ්‍රය වල සඳහන් නොවන ක්‍රි.පූ. 2වන සියවසට පෙර පැවති ප්‍රාදේශීය පාලන ඒකක රැසක් පිළිබඳව ද ශිලා ලේඛන වල සඳහන් වේ.(බඹරගල, ගෝණවත්ත, ඇඹුල්ඇඹේ, නැට්ටුකන්ද, පෙරියපුලියන්කුලම, කුසලාන්කන්ද, මොට්ටයක්කල්ලූ, සිතුල්පව්ව…) උත්තිය රජු, වළගම්බා රජු, කූටකණ්නතිස්ස රජු, භාතිකාභය රජු, මහාදාටික මහානාග රජු, වසභ රජු, අමණ්ඩගාමිණි අභය රජු, ගජබාහුු රජු, සිරිනාග රජු, සිව්වැනි මිහිඳු රජු, වැනි පාලකයන් පිළිබඳව හා ඔවුන්ගේ  පරම්පරා පිළිබඳව වැඩිදුරටත් තොරතුරු ලැබී ඇත්තේ ද ශිලා ලේඛන වලිනි. කතරගම දසභාතික(දසබෑ) රජවරුන් පිළිබඳව සාහිත්‍ය මූලාශ්‍රය වල නොඑන තොරතුරු හෙළි වූයේ ද හෙන්නන්නේගල හා කුසලානකන්ද ශිලාලේඛන මගිනි. ගෝඨාභය රජුගේ පියා සිරිනක හෙවත් සිරිනාග යැයි තිඹිරි වැව ලිපියේ සඳහන්ව ඇත මෙය ද වංසකථා වල නො එන තොරතුරකි. විදේශිකයෙකු විසින් මෙරට බෞද්ධ විහාරස්ථානයකට, හින්දු කෝවිලකට සහ ඉස්ලාම් පල්ලියකට කරන ලද පරිත්‍යගයන් පිළිබඳව ගාල්ලේ ත්‍රිභාෂා ලිපියේ සඳහන් වේ. දෙමළ, චීන හා අරාබි භාෂා වලින් මෙම ලිපිය ලියා ඇත. කුච්චවේලි ලිපිය හා තිරියාය ලිපිය ලංකාවේ මහායාන දර්ශනය පිළිබඳ කදිම සාක්ෂි දෙකකි.  මිහින්තලේ පුවරු ලිපිය, අභයගිරි පුවරු ලිපිය, කළුදිය පොකුණ ලිපිය ආදියේ සඳහන් වන්නේ විහාර පාලනය, විහාරගම් පාලනය පිළිබඳව වංස කතා වල පවා නොඑන තොරතුරු ය. පුරාණ ලංකාවේ ජල පරිපාලනය පිළිබඳ තොරතුරු සොයන්නෙකුට සිව්වන මිහිඳු රජුගේ වෙස්සගිරිය පුවරු ලිපිය වැදගත් වේ. ශ්‍රීපාදස්ථානයට මහා විජයබාහු රජු විසින් කළ පුද සත්කාර පිළිබඳ කොරකුරු ඇතුළත් අඹගමුව ලිපිය ලංකාවේ ආගමික ඉතිහාසය පිළිබඳව සහ ශ්‍රීපාදස්ථානයේ ඉතිහාසය සොයන්නෙකුට අතිශය වැදගත්ය. රජවරුන්ට පක්ෂපාතීව කටයුතු කළ ඇමති සේනාපති ආදීන්ට ලබා දුන් වරප්‍රසාද පිළිබඳව මහා පරාක්‍රමබාහු රජුගේ දෙවනගල ලිපියේ ද, දෙවන විජයබාහු රජුගේ පොළොන්නරු ලිපියේ ද සඳහන් වේ. සංගමු විහාර ලිපිය වනාහි ඓතිහාසික සාම ගිවිසුමකි. එය මහා පරාක්‍රමබාහු සහ ගජබාහු රජවරුන් අතර සිංහාසන අරගලය සමථයකට පත් කිරීම උදෙසා භික්ෂූන් වහන්සේලා මැදහත්ව ඇතිකළ ගිවිසුමයි.  පෙරිමියම්කුලම් ලිපියේ වෙළඳ ශ්‍රේණි හා කර්මාන්ත පිළිබඳව සඳහන් වන තොරතුරු සාහිත්‍ය මූලාශ්‍ර වලින් සොයා ගත නොහැක. මහා විජයබාහු රජ සමයට අයත් පනාකඩුව තඹ සන්නස මෙතෙක් ලංකාවෙන් හමු වූ පැරණිම තඹපත සේ පිළිගැනේ. රජුගේ ජීවිතයේ දුර්භාග්‍ය සමයේ ඔහුට උපකාර කළ බුදල්නාවන්ගේ පවුලට රජු විසින් කළ ප්‍රදානයන් පිළිබඳව එහි සඳහන් වේ.

ශිලා ලේඛන වලින් සාහිත්‍ය මූලාශ්‍රය වල තොරතුරු සනාථ වන අවස්ථා

දුටුගැමුණු රජුගේ සේනාවේ සිටි බවට සැලකෙන දසමහා යෝධයන්ගෙන් දෙදෙනෙකු පිළිබඳ තොරතුරු සිතුල්පව්ව(නන්දිමිත්‍ර) හා වැලඑල්ලුගොඩ(පුස්සදේව) ලිපිවල සඳහන් වේ. රුවන්වැලි සෑ ලිපියේ සඳහන් බුදදස ලපරිදෙව යන්නෙන් ඛුද්දපාරින්ද නම් ආක්‍රමණිකයාත්, කතරගම සෙල්ලිපියේ සඳහන් සරතර යන්නෙන් තිරිතර නම් ආක්‍රමණිකයාත් හැඳින්වෙන බව අනුමාන කෙරෙන නිසා මෙම ආක්‍රමණිකයන්  පිළිබඳව සාහිත්‍යාගත තොරතුරු ද සනාථ වී ඇත. පොළොන්නරු යුගයේ රජ කළ මහ පැරකුම්බාවන් රාමඤ්ඤ දේශය ජයගත් බව මහාවංසයේ සඳහන් වෙයි. (ම.ව. 76 පරිච්ඡේදය) මෙය මුසාවකැයි ඇතැමෙකු සිතන්නට පිළිවන. එහෙත් දෙවනගල ලිපිය අනුව මෙය මුසාවක් නොවේ.  අනුරාධපුර අගනුවර ක්‍රි.ව 5වන සියවස වනවිට භික්ෂූන් වහන්සේලා 5000-6000 ක් පමණ සිටි බවත් රජගුමා ඔවුන්ට දිනපතා සිවුපසයෙන් උපස්ථාන කළ බවත් ෆාහියන් හිමි කියයි. (බලන්න විමල් ජී බලගල්ල මහතා පරිවර්තනය කළ ෆාහියන් දේශාටන වාර්තාව – 95 පිට 1999 මුද්‍රණය) අනුරාධපුර ගෙඩිගෙය අසල ගල් ඔරුවේ සන්නසෙන් මේ වග සනාථ වේ. වෛතුල්‍යවාදී භික්ෂූන් වහන්සේලා නිසා ශාසනයට සිදුවූ හානි පිළිබඳව මහාවංසයේ යම් තොරතුරු ප්‍රමාණයක් සඳහන් වේ. (ම.ව.36 පරි.) මහසෙන් රජුගේ ජේතවනාරාම සෙල්ලිපියේ ‘වයතුඩල‘ යන වදනින් වෛතුල්‍යවාදීන් අදහස් කෙරෙන බව පෙනේ. ඊට අනුව වෛතුල්‍යවාදීන් සිටි බවට මහාවංස පුවතට සාක්ෂියක් ජේතවනාරාම සෙල්ලිපිය ගතහැක.  මහාචූලික මහාතිස්ස – කූඨකණ්ණතිස්ස – භාතිකාභය හා මහාදාඨික මහානාග රජවරුන්ගේ ඥාති සබඳතාවය පිළිබඳව මහාවංසයේ 34වන පරිච්ඡෙදයේ සඳහන් වේ. මහරත්මලේ හා මෝලාහිටිය වෙලේගල ලිපි වලින් එය සනාථ වි තිබේ.

ඓතිහාසික ස්ථාන හඳුනාගැනීමේ දී ශිලා ලේඛන වැදගත්වන බව.

එළාර සොහොන යැයි බොහෝ කලක් තිස්සේ හැඳින්වූ ස්ථානය එළාර සොහොන නොව දක්ඛිණගිරි විහාරය යැයි නිවැරදිව හඳුනා ගත්තේ ද එම ස්ථානයේ තිබී හමු වූ ලිපියක් නිසාවෙනි.(පිතු මහරජ දකිනි චෙත…..)  කලක් තිස්සේ ජ්තවන හා අභයගිරි චෛත්‍යයන් පටලවාගෙන හඳුනාගෙන සිටි අතර එ් අවුල නිරවුල් කළේ ද අභයගිරි නැගෙනහිර වාහල්කඩ යට තිබී හමු වූ ලිපිය හා මළුතිස් රජුට අයත් සෙල් ලිපියයි.(අබයගිරි මහ විහර-උතර මහ චෙත….)

සාහිත්‍ය මූලාශ්‍රය වල ඇති වැරදි නිවැරදි කරගත හැකි අවස්ථා

කිත්සිරිමෙවන් රජුගේ පාලන කාලය දින 19ක් බව මහා වංසය කීව ද එතුමාගේ සිවු වන රාජ වර්ෂයේ පිහිටවූ ටැම්ගොඩ විහාර ලිපිය අනුව මහා වංස තොරතුරෙහි දෝෂයක් ඇති බව පෙනේ. (පූජාවලියට අනුව මෙතුමාගේ පාලන කාලය වසර 19කි.)

ඉතිහාසය පිළිබඳ කාල නිර්ණයට ශිලා ලේඛන වැදගත් වූ අවස්ථා.

ඉතිහාසය පිළිබඳ කාල නිර්ණයේ දී සෙල්ලිපි වල සඳහන් වර්ෂ ඉතා වැදගත්ය. සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ වර්ෂය පිළිබඳ නිවැරදි තීරණයකට පැමිණීමට නිශ්ශංකමල්ල රජුගේ පොළොන්නරු ලිපිය උපකාරී වී ඇත. ක්‍රි. පූ. 3 වන සියවසේ සිට දිවයිනේ ඉතිහාසය සඳහන් වන ශිලා ලේ්ඛන බොහෝ ගණනක් වෙයි. අනුරාධපුර යුගයට අයත් සෙල්ලිපි වෙන වෙනම ගත් විට ඒවායෙන් හෙළි වන, ලංකාවේ දේශපාලන ඉතිහාසය පිළිබඳ තොරතුරු ප්‍රමාණය  අල්ප නමුත් වංසකථා සමග ගත් කල ඒ ඒ වංසකථා වල එන කරුණු සනාථ කර ගැනීමට සෙල්ලිපි බොහෝ උපකාරී වේ.  මෙරට රාජ්‍යත්වයේ ආරම්භය ඉන්දීය මූලයකට සම්බන්ධ බවක් සාහිත්‍ය මූලාශ්‍රය අනුව පෙනී ගිය ද, මෙරට ශිලාලේඛන වල සඳහන් ගමණි, රජ, මහරජ, මපුරුමුඛ වැනි වදන් අනුව මෙරට රාජ්‍යත්වය දේශීය මූලයක් සහිත එකක් බව සනාථ වී තිබේ. උවරජ, උපරජ, සෙනපති, ඇමති, මහමති, බඩගරික, රටික, රෝහණ බොඣක, ගමික ආදී රජ්‍ය නිලධාරීන්ගේ නිල නාම සෙල්ලිපි වල සඳහන් වීමෙන් මෙරට පරිපාලනය පිළිබඳව තොරතුරු ලබා ගැනීමට ද සෙල්ලිපි වලින් මහත් පිටුබලයක් ලැබී ඇත. ලංකාවේ වැඩිම සෙල් ලිපි සංඛ්‍යාවක් පිහිටවූ රජු ලෙස සැලකෙන්නේ පොළොන්නරු යගයේ රජකළ නිශ්ශංකමල්ල රජු ය.