පාලි ධම්ම ග්‍රන්ථ

සීහලවත්ථූපකරණය හා සහස්සවත්ථූපකරණය පාලි ධම්ම ග‍්‍රන්ථ නමින් හඳුන්වනු ලබයි. පාලි ධම්ම ග‍්‍රන්ථ වලට තේමා වී ඇත්තේ ඉන්දියාවේ හා ලංකාවේ ජනකථාවන්ය. පාලි ධම්ම ග‍්‍රන්ථ රචනා කිරීමේ දී ලංකාවේ හා ඉන්දියාවේ ජන කථාවන්ට බෞද්ධ මුහුණුවරක් ලබා දී ඇත. පාලි ධම්ම ග‍්‍රන්ථ සමාජ, ආර්ථික හා ආගමික ඉතිහාසය ගොඩනැගීමට උපකාරී වේ. සීහලවත්ථූපකරණය හා සහස්සවත්ථූපකරණය කවර කලෙක රචනා වී දැයි නිශ්චිත නැත.  සීහලවත්ථූපකරණය දීපවංසයට ද පෙර රචනා වී ඇතැයි මතයක් පවතී. සීහලවත්ථූපකරණය රචනා කොට ඇත්තේ දකුණු ඉන්දියාවේ විසූ ධම්මනන්දි නම් හිමි නමකි. සහස්සවත්ථූපකරණය රචනා කොට ඇත්තේ අනුරාධපුරයේ විසූ රට්ඨපාල නම් හිමි නමකි. සීහලවත්ථූපකරණයේ කථා වස්තු 82 කි. සහස්සවත්ථූපකරණයේ කථා වස්තු 95 කි. සහස්සවත්ථූපකරණයට තවත් කථා වස්තු 8 ක් එක් කර සංශෝධන සහිතව හෙළ බසට පෙරළා රසවාහිනී නමින් ඉදිරිපත් කර ඇත. රසවාහිනිය වනවාසී වේදේහ නම් හිමියන් විසින් දඹදෙණි යුගයේ දී සම්පාදනය කොට ඇත.