අට්ඨකථා ප‍්‍රථමයෙන් ම ලියා තිබී ඇත්තේ සිංහල බසිනි. ප‍්‍රථමයෙන් ම සිංහල බසින් ලියා තිබූ අට්ඨකථා පසුව අවශ්‍ය සංශෝධන සහිතව පාලි බසට නගා ඇත. අට්ඨකථා යනු ත‍්‍රිපිටක ග‍්‍රන්ථ වලට ලියන ලද අටුවාවන්ය. ත‍්‍රිපිටකයේ එන ඇතැම් කරුණු විස්තර කිරීමේ අභිලාෂයෙන් රචනා කොට ඇත. පාලි අට්ඨකථා වලට පාදක වූ සිංහල අට්ඨකථා මිහිඳු මාහිමි දවස පටන් පැවත එන්නට ඇතැයි සැලකේ. පැරණිතම පාලි අට්ඨකථාව ක‍්‍රි. ව. පස් වන ශතවර්ෂයට පමණ අයත්වේ. පාලි අට්ඨකථා පළමු වරට රචනා කිරීමේ ගෞරවය බුද්ධඝෝෂ හිමියන්ට හිමි වේ. විදේශිකයෙකු වූ බුද්ධඝෝෂ හිමියෝ මහා විහාරයේ වැඩ වසමින් පාලි අට්ඨකථා රචනා කළ බව දැක්වේ. පාලි අට්ඨකථා වලින් හරි අඩකට වඩා ලියා ඇත්තේ බුද්ධඝෝෂ හිමියන් විසිනි. විනය පිටකය අළලා ලියන ලද අට්ඨකථාව සමන්තපාසාදිකාවයි. අංගුත්තරනිකාය පිළිබඳ අට්ඨකථාව මනෝරථපූරණිය වේ. ධම්මපදය අළලා ලියූ අට්ඨකථාව ධම්මපදට්ඨකථාවයි. ජාතක කථාවන් පිළිබඳ වූ අට්ඨකථාව ජාතකට්ඨකථා නම් වේ. කංඛාවිතරණී, අත්ථසාලිනී, සම්මෝහවිනෝදනී, පරමත්ථජෝතිකා, සාරාත්ථප්පකාසිනී, කථාවත්ථු, ධාතුකථා, පුග්ගලපඤ්ඤත්ති, පඤ්චප්පකර්ණට්ඨකථා, ආදිය අට්ඨකථා වලට උදාහරණ වේ. බුද්ධඝෝෂ හිමියන්ගේ මුල් කෘතිය වන්නේ විසුද්ධිමග්ගය යි. විසුද්ධිමග්ගය අට්ඨකථාවක් නොවේ. අට්ඨකථා ඇසුරෙන් ඉතිහාසය හදාරන්නෙකුට ඉතා වැදගත් කෘතිය වන්නේ සමන්තපාසාදිකාවයි. සමන්තපාසාදිකාව ඇසුරෙන් ලංකා ඉතිහාසයේ මුල් කොටස පිළිබඳ තොරතුරු යම් පමණක් අනාවරණය කරගත හැකිය. මහාවංසයෙන් හෝ වෙනත් මූලාශ‍්‍රය වලින් නොලැබෙන තොරතුරු රැසක් සමන්තපාසාදිකාවෙන් ලැබේ. බුද්ධඝෝෂ හිමියන්ගේ කෘති උසස් පර්යේෂණවල ප‍්‍රතිඵල සේ හැඳින්විය හැක. ධම්මපාල හිමියෝ තවත් අටුවාචාරීන් වහන්සේ නමකි. ධම්මපාල හිමියෝ සිය අටුවාග‍්‍රන්ථ සියල්ල පරමත්ථදීපන නමින් හදුන්වා ඇත. ධම්මපාල හිමියෝ සිය පරමත්ථදීපන නම් අටුවාග‍්‍රන්ථ උදාන, ඉතිවුත්තක, සුත්තනිපාත, විමානවත්ථු, පේතවත්ථු, ථෙරගාථා, ථෙරිගාථා, චරියාපිටක ආදී ග‍්‍රන්ථ අළලා ලියා ඇත. නිද්දේසය අළලා උපසේන හිමියෝ ලියූ අට්ඨකථාව සද්ධම්මපජෝතිකා නම් වේ. පටිසම්භිදාමග්ගය අළලා මහානාම හිමියෝ රචනා කළ අට්ඨකථාව සද්ධම්මප්පකාසිනී නම් වේ. ආපදානපාලිය අළලා ලියා ඇති විසුද්ධජනවිලාසිනි නම් කෘතියේ කතුවරයා කවුරුන්දැයි කිව නොහැක.