සමන්තපාසාදිකාව

සමන්තපාසාදිකාව යනු විනය පිටකයට ලියන ලද අටුවාව යි.  සුප‍්‍රකට අර්ථකථාචාර්ය බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ විසින් රචනා කොට ඇත. විනය උතුම් බව හෙළි කිරීම කෘතියේ අරමුණ වී ඇති නිසා දිවයිනේ ඉතිහාසය පිළිබඳව තොරතුරු ඇතුළත් කර ඇත්තේ අල්ප වශයෙනි. මිහිඳු මාහිමියන්ගේ පරිනිර්වාණය දක්වා ශාසනික තොරතුරු මෙහි ඇතුළත්ය. සිරිනිවාස හෙවත් මහානාම රජුගේ(ක‍්‍රි.ව. 406-428)විසි එක්වැනි රාජවර්ෂයේ දී මෙම කෘතිය ලියා නිමවා ඇත.  සෑම අයුරකින් ම ප‍්‍රසාදය උපදවන නිසා සමන්තපාසාදිකා නමින් හඳුන්වන වග සාරත්ථදීපනී නම් විනය ටීකාව විසින් නිර්වචන සපයා ඇත. (සමන්තතො සබ්බසො පසාදං ජනෙතිති සමන්තපාසාදිකා) බෞද්ධයාගේ ශ‍්‍රද්ධා බුද්ධි වර්ධන අවශ්‍යතාවයක් මත සම්පාදනය කළ මෙම කෘතියේ බහුල වශයෙන්  ම ඇතුළත් වන්නේ බෞද්ධ ඉතිහාස කථා සහ බෞද්ධ දර්ශනයේ සංක්‍ෂිප්තය යි.  ඉතිහාස කථා අතරින් බහුතරය අතිශයෝක්ති වර්ණනා වලින් වැසී ගොසිනි. සාමාන්‍ය බෞද්ධයා තුළ ශ‍්‍රද්ධාව වර්ධනය කිරීම හෝ හින්දු ආගමික අභියෝගයන්ට මුහුණ දෙනු පිණිස එසේ කරන්නට ඇතැ’යි සැළකිය හැකිය.  සමන්තපාසාදිකාව ඉතිහාස මූලාශ‍්‍රයක් සේ පරිශීලනය කිරීමට උචිත වනනේ එම අතිශයෝක්තීන් දුරු කළ පසුව ය. මෙම කෘතියේ සමාජ, ආර්ථික හා දේශපාලන අහඹු ලෙස සටහන් වී ඇත.