මහාවංසය

මහාවංසය වංසකතා සාහිත්‍යයේ මුදුන්මල්කඩ සේ පිළිගැනේ. මෙය කෘතියක පාලි සංස්කරණයකි. පොරණ සීහලට්ඨකථා මහාවංසය යනු මහාවංසයට පාදක වූ මුල් සිංහල කෘතිය යි. (මුඛ්‍ය පාදක මූලාශ්‍රය යි.) මහාවංසය රචනා කිරීමේ දී මහානාම හිමි දීපවංස කර්තෘ තෝරා ගත් කාලපරිච්ඡේදය ම තෝරා ගෙන ඇත. එහෙත් මහාවංසය දීපවංසයට වඩා අංගසම්පූර්ණ කෘතියකි.  මෙය අදටත් ලියැවෙමින් පවතී. සම්ප්‍රදායක් වශයෙන් මහාවංසය ලෙස හඳුන්වන්නේ ආරම්භයේ සිට 37 වන පරිච්ඡේදයේ 52 වන ගාථාව දක්වා කොටසයි. ක්‍රි. පූ. 6 වන සියවසේ පමණ සිට මහසෙන් රාජ්‍ය යුගයේ අවසානය (ක්‍රි.ව.301) දක්වා කාලය අළලා රචනාකොට ඇත. ග්‍රන්ථාරම්භයේ සිට 37 වන පරිච්ඡේදයේ 52 වන ගාථාව දක්වා කොටස මහා විහාරයට අයත් දික්සඳ සෙනෙවියා පිරිවෙන් වැසි මහානාම නම් හිමි නමක් විසින් රචනා කොට ඇත. මෑත යුගයේ මහාවංසය සංස්කරණය කොට රෝමන් අක්ෂරයෙන් පළ කළේ විල්හෙම් ගයිගර් මහතා විසිනි. විලහෙම් ගයිගර් මහතා විසින් මහාවංසය රෝමන් අක්ෂරයෙන් පළ කරත් දී 37 වන පරිච්ඡේදයේ 52 වන ගාථාවට පසු කොටස් චූලවංසය වශයෙන් හඳුන්වා ඇතත් එසේ හැඳින්වීමට සාධාරණ හේතු නැත. මහානාම හිමියන්ට පසු මහාවංසය රචනා කළ කතුවරු ද තම කොටස් මහාවංසය වශයෙන් ම හදුන්වා ඇත. වංසත්ථප්පකාසිනිය යනු මහාවංසයේ ටීකාවයි.

  1. අනවශ්‍ය තරම් දීර්ඝ විස්තර කෙටි කිරීම
  2. සංක්ෂිප්තව දක්වා තිබූ ඇතැම් කරුණූ අවශ්‍ය පමණට දීර්ඝ කිරීම
  3. පුනරුක්තීන් බැහැර කිරීම

යන තුන් ආකාරයට පොරණ සීහලට්ඨකථා මහාවංසය සංශෝධනය කරමින් මහානාම හිමියෝ මහාවංස රචනා කළහ. ඒ බව මහාවංසයේ පළමු  පරිච්ඡේදයේ දෙවන ගාථාවේ ම දක්වා තිබේ.

පොරාණෙහි කතො පෙසො-අතිවිත්ථාරිතො ක්වචි

අතීව ක්වචි සඞඛිත්තො අනෙක පුනරුක්තකො

පොරණ සීහලට්ඨකථා මහාවංසය යනු බෞද්ධ ත්‍රිපිටකයට ලියූ අටුවාවකි. අටුවාවක් ලියන්නේ යම් පොතක ඇති  කරුණු භාෂාමය ප්‍රශ්නයක් හෝ සංස්කෘතික හේතුවක් නිසා හෝ වෙනත් හේතු නිසා පාඨකයාට අවබොධ නොවන්නේ නම් ඒවා පැහැදිලි කරදීම පිණිස ය. ත්‍රිපිටක සාහිත්‍යයට පාදක වූයේ ඉන්දීය සංස්කෘතිය හා ඉන්දීය පරිසරය නිසා එහි එන ඇතැම් කරුණු ලාංකිකයාට පැහැදිලි කිරීමට අටුවා රචකයින් මෙරට උදාහරණ යොදාගන්නට ඇත. නිසා සීහලට්ඨකතාවට ලංකාවේ ඉතිහාස තොරතුරු ඇතුළත් වනන්ට ඇතැයි සිතිය හැකි වේ. මෙම සංස්කරණයේ දී මහානාම හිමියෝ වෙනත් මූලාශ්‍රය වල එන තොරතුරු ද ජනප්‍රවාද ද උපයෝගී කරගත් බව මහාවංස ටීකාවට අනුව පෙනී යයි. චේතිවංසට්ඨකථා, මහාබෝධිවංසට්ඨකථා, චූලසිහනාදසුත්තවණ්ණනා, සීහලනමක්ඛාරවණ්ණනා, දීපවංසට්ඨකථා ආදී කෘති මහාවංසය රචනා කිරීමේ දී මහානාම හිමියෝ මූලාශ්‍රය වශයෙන් යොදාගෙන ඇත. ඊට අමතරව රෝහණවංසට්ඨකථාව, උත්තරවිහාරට්ඨකථාව යන කෘති හා පුඤ්ඤපොත්ථක(පින්පොත්) ද වෙයි. ලංකාව පිළිබඳ ඉතිහාස තොරතුරු ඇතුළත් වුව ද ලංකා ඉතිහාසය වාර්ථා කිරීම මහානාම හිමියන්ගේ අරමුණ වූ වග නොපෙනේ. බුද්ධ ශාසනයත් අනුරාධපුර රජපවුලත් පිළිබඳ තොරතුරු සඳහන් කිරීම මහාවංස කතුවරයාගේ මූලික අරමුණ වූ වග මහාවංසයෙන් පෙනෙයි. මහාවංස කතු වරයා ප්‍රාග්මහින්ද යුගයේ වීරයා ලෙස පණ්ඩුකාභය රජතුමාවත්, මහින්දාගමනයට පසු යුගයේ වීරයා ලෙස දුටුගැමුණු රජතුමාවත් විශේෂයෙන් වර්ණනා කොට ඇත. මහාවංස ටීකාවට අනුව මෙම කෘතිය මහාවංසය ලෙස හඳුන්වා ඇත්තේ එහි බුදුන්වහන්සේලාගේ ද රහතන්වහන්සේලාගේ ද ප්‍රධාන රාජ වංශ වල ද ඉතිහාසය කියැවෙන නිසාය

සිය උත්සාහය වන්නේ පොරණ සීහලට්ඨකථා මහාවංසය සංශෝධන සහිතව පාළියට නැගීම බව මහාවංස කතුවරයා ග්‍රන්ථාරම්භයේ දී ම සඳහන් කර ඇත. ඇතැම් පඬිවරුන්ට අනුව මහාවංසය යනු මහා කාව්‍යයකි. පොරණ සීහලට්ඨකථා මහාවංසය යනු මහානාම හිමියන්ට පෙර සිටි අචාර්‍ය්‍යවරුන් විසින් සිංහල භාෂාවෙන් රචනා කළ ගද්‍යමය අට්ඨකථාවකි. (අටුවාවකි.)  මහාවංස කතුවරයා සිය කෘතියෙන් කිසිදු පුද්ගලයෙකුගේ දොස් දක්වා නැත. ඒ වෙනුවට වඩාත් උසස් පුද්ගලයන් පිළිබඳ වැඩි තොරතුරු ප්‍රමාණයකුත්, අනෙකුත් පුද්ගයන් පිළිබඳ සුළු තොරතුරු ප්‍රමාණයකුත් දක්වා ඇත. මහාවංසයේ මුල් පරිච්ඡේද වල ප්‍රාතිහාර්යාත්මක හා අද්භූතජනක කරුණු වැඩිය. ඊට හේතුව එකල ජනයා තමන් නොදුටු ඉතිහාසය පිළිබඳ එබඳු කරුණු විශ්වාස කිරීම විය යුතුය. මහින්දාගමනයේ සිට වළගම්බා රාජ්‍යෝදය දක්වා වන මහාවංස විස්තර අතර ප්‍රාතිහාර්යාත්මක හා අද්භූතජනක කරුණු බොහෝ අඩුය. වළගම්බා රජුගේ සමයට පසු කාල පිළිබඳ මහාවංස තොරතුරු අතර ප්‍රාතිහාර්යාත්මක හා අද්භූතජනක කරුණු නොමැති තරම් ය. මහාවංසයේ එන කරුණු අතරින් බොහොමයක් අභිලේඛන හා වෙනත් පුරා විද්‍යාත්මක සාධක ඇසුරෙන් සනාථ වී ඇත. එහෙත් සාමාන්‍ය මහජනතාව, වාරි තාක්ෂණය, කෘෂිකර්මය, වාණිජ ක්‍රම, සමාජ සබඳතා ආදිය පිළිබඳ තොරතුරු විරල වීම මහාවංසයේ එක් දුර්වලතාවකි. සෑම පරිච්ඡේදයක ම වාගේ අග හුදී ජන පහන් සංවේගය පිණිස ලියූ වග දක්වා තිබීමෙන් කෘතිය රචනා කිරීමේ දී වඩාත් මූලික වී ඇත්තේ ආගමික අරමුණක් බව පැහැදිලිය. මහාවංස ටීකාව වන්නේ වංසත්ථප්පකාසිනිය යි.

මහාවංසයේ ප්‍රබලතා

මහාවංසය පෙර‘පර දෙදිග  විද්වතුන්ගේ ඇගයීමට ලක්වූ ග්‍රන්ථයකි. ජෝර්ජ් ටර්නර්, ජේම්ස් ප්‍රින්සෙෆ්, හර්මන් ඔල්ඩන්බර්ග්, විල්හෙල්ම් ගයිගර් ආදී අග්‍රගණ්‍ය උගතුන් ඒ අතර ප්‍රමුඛ වේ. විල්හෙම් ගයිගර් විසින් මෙම කෘතිය රෝමන් අක්ෂරයෙන් පළ කිරීමට ද කටයුතු කළ අතර මහාවංසය පිළිබඳ විශේෂ අධ්‍යයනයක් ද කළේ ය. නමුත් මහාවංසය වින්සන් ස්මිත්, ෆ්රැලරෑන්ක් වැනි උගතුන්ගේ විවේචනයට ද ලක් වී ඇත. ඔවුන් සඳහන් කළේ මහාවංසයේ ඇත්තේ මිථ්‍යා කතා හා මහාවිහාරික භික්ෂූන්වහන්සේලාගේ ප්‍රලාප ආදිය බවයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ අඛණ්ඩ ඉතිහාසය ගොඩනැගීමට මහාවංසය තරම් වැදගත් වන වෙනත් කෘතියක් නොමැත. මහාවංසයේ එන බොහොමයක් කරුණු පුරාවිද්‍යාත්මකව සනාථ වී ඇති නිසා එහි වටිනාකම තවත් වැඩි ය. රුවන්මැලිසෑය, අභයගිරිය, ජේතවනය, සීගිරිය බලකොටු උද්‍යානය වැනි ප්‍රකට ඉදිකිරීම් සම්බන්ධ මහාවංස විස්තර පැහැදිලි ලෙස ම සනාථ වී ඇත. ඊට අමතරව තවත් ප්‍රධාන නොවන ඉදිකිරීම් රැසක් පිළිබඳ මහාවංසයේ එන තොරතුරු පුරාවිද්‍යාත්මකව සනාථ වී තිබේ. ඒවා අතර,

  • දුටුගැමුණු රජුගේ සේනාවේ සිටි දසමහා යෝධයන් පිළිබඳ මහාවංස තොරතුරු තරමක් දුරට හෝ සනාථ වී තිබේ. ඒ සිතුල්පව්ව(නන්දිමිත්‍ර) හා වැලඑල්ලුගොඩ(පුස්සදේව) ශිලාලේඛන වලිනි.
  • රුවන්වැලි සෑ ලිපියේ සඳහන් බුදදස ලපරිදෙව යන්නෙන් ඛුද්දපාරින්ද නම් ආක්‍රමණිකයාත්, කතරගම සෙල්ලිපියේ සඳහන් සරතර යන්නෙන් තිරිතර නම් ආක්‍රමණිකයාත් හැඳින්වෙන බව අනුමාන කෙරෙන නිසා මෙම ආක්‍රමණිකයන් පිළිබඳව මහාවංසයේ එන තොරතුරු ද සනාථ වී ඇත.
  • වෛතුල්‍යවාදී භික්ෂූන් වහන්සේලා නිසා ශාසනයට සිදුවූ හානි පිළිබඳව මහාවංසයේ යම් තොරතුරු ප්‍රමාණයක් සඳහන් වේ. (ම.ව.36 පරි.) මහසෙන් රජුගේ ජේතවනාරාම සෙල්ලිපියේ ‘වයතුඩල‘ යන වදනින් වෛතුල්‍යවාදීන් අදහස් කෙරෙන බව පෙනේ. ඊට අනුව වෛතුල්‍යවාදීන් සිටි බවට මහාවංස පුවතට සාක්ෂියක් ජේතවනාරාම සෙල්ලිපිය ගතහැක.
  • මහාචූලික මහාතිස්ස – කූඨකණ්ණතිස්ස – භාතිකාභය හා මහාදාඨික මහානාග රජවරුන්ගේ ඥාති සබඳතාවය පිළිබඳව මහාවංසයේ 34වන පරිච්ඡෙදයේ සඳහන් වේ. මහරත්මලේ හා මෝලාහිටිය වෙලේගල ලිපි වලින් එය සනාථ වි තිබේ.

මේ ආකාරයට මහාවංසයේ එන තොරතුරු රැසක් සනාථ වී තිබේ. ලංකාවේ පමණත් නොව ඉන්දීය ඉතිහාසය පවා ගොඩනැංවීමට මහාවංසය දායක වී තිබේ. ඉන්දීය ඉතිහාසඥයින් ම පවසන ආකාරයට ඔවුන්ගේ ඉතිහාසය ගොඩනැංවීමට මහාවංසය ලබා දී ඇති දායකත්වය ප්‍රමාණ කළ නොහැකි තරම් විශාලය. මගධ අධිරාජ්‍යෙය් හර්යංක, ශිශුනාග, නන්ද, මෞර්ය වැනි වංශ සම්බන්ධ දිනවකවානු රැසක් නිරාකරණය කරගැනීමට හැකි වූයේ මහාවංසය නිසා ය. මහාවංසය පමණක් නොව මේ කාර්යයේ දී අනෙකුත් ලාංකේය වංස කතා ද ප්‍රයෝජනයට ගෙන ඇත. අජාසත් රජුගේ සිට චන්ද්‍රගුප්ත මෞර්ය රජු දක්වා මගධයෙහි රජ කළ රජවංශයන්ගේ අනුපිළිවෙළ ද නිරාකරනය කර ගැනීමට හැකි වූයේ මෙ මගිනි. දේවානම්පියදසි යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූයේ අශෝක අධිරාජයා බව තහවුරු වූයේ ද මහාවංසය නිසා ය. ග්‍රීක කාසි ඇසුරෙන් මුලින් ම ඛරෝෂ්ඨි අක්ෂර මාලාව හඳුනා ගත් ජේම්ස් ප්‍රින්සෙෆ් පඬිවරයා ලංකාවේ භාවිතව පැවති බ්‍රාහ්මී අක්ෂරමාලාව ද ඊට සම බව තහවුරු කරගත්තේ ය. ඊට අනුව යමින් ඉන්දීය ශිලාලේඛන කියවීමට පෙළඹුණු ප්‍රින්සෙෆ් පඬිවරයාට මුලු මහත් භාරතය පුරා සෙල්ලිපි රාශියක “දේවානම්පිය පියදසි“, “දේවානම්පිය“ යන නම්වලින් හැදින්වෙන පාලකයෙකු ගැන දත හැකි විය. ප්‍රියදර්ශීන් යන විරුද නාමය චන්ද්‍රගුප්ත මෞර්ය රජු විසින් දරන ලද බවට ප්‍රවාදයෙක් විය. පසුව මෙම අභිධානයන් පිළිබද ගැටලුව ලක්දිව පාලි වංශකථාවන් මගින් බොහෝ දුරට විසදා ගන්නට පඩිවරයා සමත් විය. දේවානම්පිය යනු අශෝක රජුගේම විරුද නාමයකැයි ද එම විරුදනාමය ඔහුගේ සුමිතුරු තිස්ස රජු විසින් ද යොදා ගන්නා ලදැයි ද යන කරුණු තහවුරු කර ගන්නට හෙතෙම සමත් විය. මෙසේ භාරත ඉතිහාසයේ අප්‍රකට කරුණු රාශියක් හෙළි කර ගැනීමට හා විසදාගත නොහැකිව තිබූ ගැටලු කිහිපයක් නිරාකරණය කර ගැනීමට දීපවංසය හා මහාවංසය යන කෘතීහූ ඉවහල් වූහ. ලංකාවේ වංසකථා මිථ්‍යා ප්‍රබන්ධ හෝ මහා විහාරිකයන්ගේ ප්‍රලාප ලෙස හෙළා දුටු වින්සන්ට් ස්මිත් වැනි ඉංග්‍රීසි උගතුන් දුර්මුඛ කිරීමට මෙම සොයා ගැනීම් හේතු විය. ධර්මාශෝක රජ දවස සිදුකළ 3 වන බෞද්ධ ධර්ම සංඝායනාව පිළිබදව මහාවංසයේ එන තොරතුරු කිසිදු සැකයකින් තොරව ඔප්පු කළ හැකි පුරාවිද්‍යාත්මක සාධක ද ලැබී ඇත. මෙම සංඝායනාවේ ප්‍රධානත්වය දැරූ මොග්ගලීපුත්ත තිස්ස මහ තෙරුන්ගේ ශාරීරික ධාතු අඩංගු කරඩුවක් සාංචි අංක 2 දරන ස්තූපයේ කැණීම්වලින් ලැබුණු අතර එහි පියනෙහි “ සපුරිස මොගලීපු“ යනුවෙන් අකුරු කොටවා ඇත. ඉන්දියාවේ සාංචි හා සොනාරි ස්තූපවල කෙරුණු කැණීම්වලින් සොයා ගත් ධාතු කරඩුවල ඇති ලිපිවලින් 3 වන ධර්ම සංඝායනාවෙන් අනතුරුව ගත් වැදගත්ම තීරණය වූ රටවල් 9 කට ධර්ම දූතයන් වහන්සේලා යැවීමත් ඒ සදහා යැවුණු මහ රහතන් වහන්සේලාගේ ඓතිහාසිකත්වයත් නිසැක ලෙසම තහවුරු වී ඇත. ලංකාවේ වංසකථාවල සදහන් පරිදි හිමාලය ප්‍රදේශයේ බුදු සස්න පිහිටුවීමේ කාර්යය පැවරී තිබුණු මජ්ජිම, කෝටිපුත්ත, කස්සපගොත්ත හා දුන්දුභිස්සර මහ රහතන් වහන්සේලාගේ නම් එම ලිපිවල සදහන් වේ. මහාවංසයේ 11 වන පරිච්ජේදයේ සිට 37 වන පරිච්ජේදයේ 52 වන ගාථාව තෙක් ඇති කොටසේ ඓතිහාසික අගය පිළිබදව ප්‍රමාණික උගතුන් අතර ඇත්තේ එකගතාවකි. දේවානම්පියතිස්ස රජුගේ යැයි පැහැදිලිව හදුනා ගත හැකි ශිලාලිපි සොයා ගෙන නැතත් එම රජුගේ මලණුවන් වූ උත්තිය රජුගේ නම සදහන් වන ශිලාලිපි ගණනාවක් සොයා ගෙන ඇත. සේන- ගුත්තික, එළාර, පඤ්ච දමිළයන් හා චෝරනාග, අනුලා, සීවලී වැනි පාලකයන් කිහිප දෙනෙකුගේ හැර අන් හැම රජ කෙනෙකුගේ ම නම් සදහන් වන ශිලාලිපි ලැබී තිබේ. මෙම ලිපි ද උපයෝගී කරගෙන ක්‍රි. ව. 301 තෙක් අනුරාධපුර රාජ්‍යයේ රාජ නාමාවලිය සකස් කරගත හැකිය.  මේ සඳහා මහාවංසයෙන් ලැබෙන්නේ නොමද සහයකි.

මහාවංසයේ දුබලතා.

ආගමික තොරතුරු වැඩි වශයෙන් සඳහන් කර තිබූ ම එක් දුබලතාවකි. මේ නිසා අත්‍යවශ්‍ය ඇතැම් තොරතුරු මගහැරී ඇත. ඇතැම් තැන්වල ශ්‍රද්ධාව භක්තිය වැනි හැඟීම් වඩාත් ඉස්මතු වීම නිසා සත්‍යය යටපත් වී ඇත. මහාවංසයේ මුල් පරිච්ඡේද පහ ම වෙන් වී ඇත්තේ ඉන්දීය ඉතිහාසය පිළිබඳ තොරතුරු සඳහන් කිරීමට ය. මෙය ඉන්දීය ඉතිහාසය හැදෑරීමේ දී වැදගත් වුව ද මීට සමගාමීව ලංකා ඉතිහාසය පිළිබඳ තොරතුරු ඇතුළත් නොකොට වැඩි ඉඩක් ඉන්දීය ඉතිහාසයට හිමිකර දී තිබීම ගැටළුවකි. මහාවංසය රචනා කිරීමේ දී එහි මුල් කොටස තුළ අද්භූත හා කල්පිත ස්වරූපයක් ගන්නා තොරතුරු රැසක් අන්තර්ගත වී තිබේ. මේ තත්ත්වය ආරම්භයේ සිට දෙවනපෑතිස් රාජ්‍ය සමය දක්වා ඇති තොරතුරු අතර බහුල ය. කුවේණිය පිළිබඳ තොරතුරුත්, පණ්ඩුකාභය කුමරාගේ ළමා කාලය හා යුධ ව්‍යාපාරය අතර හමුවන චේතියා වැනි කල්පිත ස්වරූපයේ චරිත ආදිය උදාහරණ වශයෙන් දැක්විය හැකි ය. චිත්‍රරාජ යක්ෂ ගෝත්‍රිකයා හා කාලවේල පිළිබඳ තොරතුරු ද එබඳු ය. දෙවනපෑතිස් රාජ්‍ය සමයේ සිට වළගම්බා රාජ්‍ය සමය දක්වා වන තොරතුරු අතර ද  යම් තරමක් මේ වැනි තොරතුරු ගැබ් ව තිබේ. මේ නිසා කෘතියේ ගුණාත්මකභාවයට හානි සිදු වී ඇති බව පෙනී යයි.

ඇතැම් තැන් වල දී කතුවරයාගේ පෞද්ගලික රුචි අරුචිකම් ඉස්මතු වී තිබේ. තමා නියෝජනය කළ මහාවිහාර පාර්ශ්වයට පක්ෂපාතීව කටයුතු කළ දුටුගැමුණු වැනි රජවරුන් පිළිබඳ මහත් අභිරුචියෙන් වර්ණනා කර ඇති අතර ම, වලගම්බා රජු හා මහසෙන් රජු කෙරේ කතුවරයාගේ තිබූ අප්‍රසාදය නිසා ඒ රජවරුන් පිළිබඳ වැදගත් ම තොරතුරු සඳහන් කර නැත. දුටුගැමුණු රජුගේ කටයුතු පිළිබඳ වර්ණනා කිරීමට මහානාම හිමි මහාවංසයේ පරිච්ඡේද 11ක් ම වෙන්කර තිබීමෙන් මේ කෘතියේ මුඛ්‍ය අරමුණ දුටුගමුණු චරිතය වර්ණනා කිරීමදැ’යි ශ්‍රාවක, පාඨක පිරිසට සිතෙන්නට හැකිය. මෙය ද දුබලතාවකි. කාවන්තිස්ස වැනි ඇතැම් ප්‍රධාන රජවරුන් පිළිබඳ තොරතුරු මගහැරී තිබීම හෝ යටපත්කර තිබීම ද මහාවංසයේ ප්‍රධාන දුබලතාවකි. ගැමුණු කුමරා කාන්තිස්ස රජුට ස්ත්‍රී ආභරණ යැවූ බවට තිබූ කරුණක් ගැමුණු කුමරාගේ වීරත්වය ඉස්මතු කරන්නටත්, කාවන්තිස්ස රජු තුළ නොතිබූ බියගුළුකමක් මතුකරන්නටත් යොදාගෙන තිබීම නිසා කාවන්තිස්ස රජුට ඓතිහාසික අසාධාරණයක් සිදු වී තිබේ.

මීට අමතරව වෙනත් පැරණි සාහිත්‍ය මූලාශ්‍රය වල ආ විස්තරාත්මක තොරතුරු සංක්ෂේප කිරීම ද කතුවරයාගේ අරමුණක් වී ඇති නිසා ඇතැම් වැදගත් තොරතුරු මගහැරී ඇත. මේ කෘතිය සඳහා පාදක වූ ඇතැම් පැරණි සාහිත්‍ය මූලාශ්‍රය අද දක්නට නොලැබෙන නිසා මේ හානිය වඩාත් තදින් ඉස්මතු වී දැනෙයි. මෙපමණක් නොව කතුවරයා අනුරාධපුර රාජධානිය කේන්ද්‍ර කරගනිමින් සිය කෘතිය රචනා කර ඇති නිසා අනුරාධපුර රාජධානියට සමකාලීනව පැවති වෙනත් රාජධානි පිළිබඳ තොරතුරු මගහැරී ගොස් තිබේ. උදාහරණ වශයෙන් රුහුණු හා කැළණි රාජධානි පිළිබඳ තොරතුරු මගහැරී තිබේ. මේ නිසා රුහුණු පෙළපතේ කාවන්තිස්ස රජු හා කැළණි පෙළපතේ විහාරමහාදේවීය අතර සිදුවූ විවාහයට සම්බන්ධ තොරතුරු දැක්වීමේ දී සමුද්‍රය ගොඩගැලීමක් පිළිබඳ කතාවකට එය සම්බන්ධ කර කෘතියේ ගුණාත්මක බවට ද යම් හානියක් සිදුකරගෙන තිබේ. විහාරමහා දේවිය හා කාවන්තිස්ස රජු යන් එක ම පෙළපතක පුරුක් දෙකක් නිසා ඔවුන් කුඩා කළ පටන් එකිනෙකා පිළිබඳ දන්නා හඳුනන චරිත දෙකක් බව මහාවංසයේ සඳහන් නොවීම උදාහරණයක් ලෙස දැක්විය හැකි වේ. මෙය ද දුබලතාවකි. එළාර රජුගේධාර්මිකත්වය පෙන්වීමට ද කතුවරයා අසාර්ථක උත්සායහක් ගෙන තිබේ. ඔහු ධාරිමික රජෙකු බවට විවාදයක් නැතත්, ඔහුගේ එම ධාර්මික බව සනාථ කිරිමට සීලප්පදිකාරම්, මනිමේකලායි වැනි දකුණු ඉන්දීය සාහිත්‍ය මූලාශ්‍රයන්හි එන කතා වල නම් ගම් වනස් කර යොදාගෙන ඇති ආකාරක් පෙනී යයි. පැටවා මිය ගිය එළදෙන පිළිබඳ කතාව හා බිත්තර අහිමි වූ කිරිල්ලිය පිළිබඳ කතාව හුදු සිනහවීමට වඩා වෙනත් දෙයකට සුදුසු නැති තරම් ය.

මීට අතිරේකව සමකාලීන සමාජ, ආර්ථික හා තාක්ෂණික ආදී කරුණු ද එහි ඇතුළත් නොවේ. සාමාන්‍ය ජනයා ගේ ජීවන රටාව, ජන ජීවිතය හා බුඳුණු විවිධ උත්සව ආදිය පිළිබඳව විස්තර ආදිය ද ඇතුළත් වූවා නම් මෙම කෘතියේ අගය තවදුරටත් ඉහළ යනු ඇත. ප්‍රධාන වශයෙන් ම අනුරාධපුර යුගේ වාරිකර්මාන්ත  පිළිබඳ තොරතුරු නොමැති වීම ප්‍රධාන දුබලතාවක් සේ ඉස්මතු කළ හැක.

 මහාවංසය-අඛණ්ඩව ඉතිහාසය රචනා කිරීමේ සම්ප්‍රදායේ අවස්ථා

පළමු කොටස- මහාවිහාරයට අයත් දික්සඳ සෙනවියා පිරිවෙන්වැසි මහානාම නම් ස්වාමීන් වහන්සේ විසින් ක්‍රිස්තුවර්ෂ 5-6 සියවස් වල දී (ධාතුසේන රජ සමයේ දී) රචනා කරන ලදී.  මේ කොටසින් ලංකා ඉතිහාසයේ මුල් කාලයේ සිට මහසෙන් රාජ්‍ය සමයේ අවසානය දක්වා කොටස් ආවරණය කර ඇත.පරිච්ඡේද වශයෙන් කිවහොත් 1-37 වැනි පරිච්ඡේදයේ 50 වන ගාථාව දක්වා කොටස යි.

දෙවන වෙළුම, පළමු කොටස- දඹදෙණියේ විසූ ධර්මකීර්ති නම් හිමි විසින් රචනා කරන ලදී. මේ කොටසින් ලංකා ඉතිහාසයේ ක්‍රිස්තු වර්ෂ 302 සිට 1186 දක්වා වන විස්තර දැක්වේ.37 පරිච්ඡේදයේ 51 ගාථාවේ පටන් 79 වන පරිච්ඡේදය දක්වා කොටසයි.

දෙවන වෙළුම, දෙවන කොටස-මෙම කොටසේ කතුවරයා අවිනිශ්චිත ය. ක්‍රිස්තුවර්ෂ 1186 සිට 1357 වර්ෂය දක්වා කොටස මින් ආවරණය කර තිබේ. එනම් 80 වැනි පරිච්ඡේදයේ සිට 91 වැනි පරිච්ඡේදය දක්වා කොටස යි.

දෙවන වෙළුම, තෙවන කොටස-  තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත හිමියන් සේ පිළිගැනේ. ක්‍රිස්තු වර්ෂ 1357 සිට 1815 දක්වා ලංකාවේ ඉතිහාසය ඉන් ආවරණය කර ඇත. 92 පරිච්ඡෞදයේ සිට 101 වන පරිච්ඡේදය දක්වා කොටස යි.

තෙවන වෙළුම- පූජ්‍ය ගගිරල පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචනාකර ඇත.1815 සිට 1935 දක්වා ලංකා ඉතිහාසය ඉන් ආවරණය කර ඇත. 101-114 පරිච්ඡේද දක්වා කොටසයි.

සිවුවැනි වෙළුම-  ආචාර්ය නන්දදේව විජේසේකර මහතා ප්‍රමුඛ සම්පාදක මණ්ඩලයක් විසින් රචනා කර ඇත.1936-1956 දක්වා ලංකා ඉතිහාසය මෙහි දැක්වේ. පරිච්ඡේද අංක 115 සිට 124 දක්වා කොටස යි.

පස්වෙනි වෙළුම- පූජ්‍ය බෙල්ලන ඥානවිමල ස්වාමීන්වහන්සේ ප්‍රධාන මණ්ඩලයක් විසින් රචනාකර ඇත. 1956-1978 දක්වා ලංකා ඉතිහාසය එහි දැක්වේ.125 වැනි පරිච්ඡේදයේ සිට 129 වැනි පරිච්ඡේදය දක්වා කොටස යි.

හයවැනි වෙළුම-  1978-2010 දක්වා ලංකා ඉතිහාසය ආවරණය කරමින් 130 වැනි පරිච්ඡේදයේ සිට 133 වැනි පරිච්ඡේදය දක්වා කොටස මේ වන විට සම්පාදනය වෙමින් පවතී.

 

මහාවංසාගත තොරතුරු පිළිබඳ විග්‍රහයක්.

මහාවංසය රචනා කර ඇත්තේ ආගමික පදනමකින් නිසා වැඩි වශයෙන් ම ඇත්තේ ආගමික තොරතුරු ය. නමුත් වෙනත් තොරතුරු ද අහඹු ලෙස සටහන් වී තිබේ.

මහාවංසයේ ඇති ආගමික තොරතුරු-  මේ කෘතියේ බුදුරදුන්ගේ ලංකාගමනයන්ගේ සිට මහාසේන රජුගේ සමය දක්වා ආගමික තොරතුරු ඇතුළත් වේ.මහා විහාරය ඇතුළු විවිධ ආරාම, ඒවාට අනුග්‍රහ දැක්වූ රජවරු, ඔවුන්ගේ උපකාරයන්ගේ ස්වභාවය ආදිය මින් විස්තර වේ. මහාවිහාර තොරතුරු වැඩි වශයෙන් ඇති නිසා බොහෝ දෙනා මෙහ මහාවිහාර වංසකතාව සේ හඳුන්වති. නමුත් මෙහි අභයගිරි හා ජේතවන ආදී වෙනත් විහාර වල ද විස්තර දක්වා තිබේ. මේ තොරතුරු පුරාවිද්‍යාත්මකව සනාථ වී තිබේ. භාරතයේ  සාංචි ස්තූපය ආශ්‍රිත කැණීම් වල දී හමුවුණු කරඬු කිහිපයකින් අශෝක අධිරාජයාගේ ධර්මදූත සේවාව සනාථ වී ඇති අතර එකී ව්‍යාපාරයට දායක වූ කස්සපගොත්ත, මජ්ඣිම, දුන්භිස්සර ආදී භික්ෂූන් වහන්සේලාගේ නම් පවා හෙළි වී ඇත. එක් කරඬුවක ඇතුළු පියනේ ‘‘ මජ්ඣිම නම් සත්පුරුෂයාණන්ගේය ‘‘  යනුවෙන් ද පිටත පියනේ ‘‘ මුළු හිමවත් පෙදෙසේ ආචාර්යවරයා වූ කස්සපගොත්ත සත්පුරුෂයාණන්ගේය ‘‘ යනුවෙන් ද කොටා තිබේ.  මේ ස්වාමීන් වහන්සේලා දෙනම හිමාල ප්‍රෙද්ශයට ධර්මප්‍රචාරය පිණිස වැඩම කළ හිමිවරුන් දෙදෙනෙකි.  ලංකාවේ ද මිහින්තලේ හා රජගල ශිලාලේඛන වලින් මහින්ද, ඉට්ඨිය, උත්තිය, භද්දසාල යන හිමිවරුන්ගේ ඓතිහාසිකත්වය හෙළි වී තිබේ. මිහින්තලේ ශිලාලේඛනයක මහින්ද හිමියන්ගේ හා උන්වහන්සේ සමග වැඩම කළ හිමිවරුන් අතරින් තිදෙනෙකුගේ ප්‍රතිමා පිළිබඳව සඳහන් වේ.  සංඝමිත්තාගමණය, භික්ෂුණී ශාසනය පිහිටුවීම, ශ්‍රී මහා බෝධිය වැඩමවීම වැනි සිදුවීම් පුරාවිද්‍යාත්මකව සනාථ වී තිබේ.

මහාවංසයේ ඇති දේශපාලන තොරතුරු- මහාසේන රාජ්‍ය සමය තෙක් ලංකා ඉතිහාසයේ රජවරුන් පිළිබඳ තොරතුරු අඛණ්ඩව රචනා කර තිබේ.විදෙස් ආක්‍රමණිකයින් හා අභ්‍යන්තර කැරළි කෝළාහල පිළිබඳවත්, ඒවායින් රටවැසියන් මුදා ගත් වීර නරපතියන් පිළිබඳවත් මින් විස්තර කෙරෙයි.කෘෂි ආර්ථිකයේ වර්ධනයට, බුදුසසුනේ අභිවෘද්ධියට හා සාමාජික සුභසිද්ධියට විවිධ රජවරුන් සිදුකළ සේවාවන් පිළිබඳ තොරතුරු ඇතුළත් වේ. මෙම තොරතුරු ද සනාථ වී ඇත. මිහින්තලේ ලෙන් ලිපි තුනකන් ම උත්තිය රජුගේ ඓතිහාසිකත්වය සනාථ වී තිබේ.රජගල ලිපි වලින් සද්ධාතිස්ස හා ලඤ්ජිත්ස්ස රජවරුන්ගේ ඓතිහාසිකත්වය තහවුරු වී තිබේ.මහරත්මලේ ලිපියෙන් මහාචූලික මහානාග රජුගේ ද, මහාදාඨික මහානාග රජුගේ ද, කූඨකණ්ණතිස්ස රජුගේ ද ඓතිහාසිකත්වය තහවුරු වී තිබේ. වසභ රජු හා ඔහුගේ පුතුන් පිළිබඳ වල්ලිපුරම් සන්නසෙන් ද, හබැස්ස, තම්මැන්නාකන්ද, පෙරිමියන්කුලම වැනි ලිපි වලින් ද හෙළි වී ඇත. රුවන්වැලි සෑ ලිපියේ ඛුද්ධපාරින්ද රජු පිළිබඳව සඳහන් වේ. ඔහු ලංකාවට ආ ආක්‍රමණික රජෙකි. කතරගම ලිපියකින් තිරිතර නමැති  ආක්‍රමණික රජු පිළිබඳව ද, නාගිරිකන්ද ලිපියකින් කුමාරදාස රජු පිළිබඳව ද, මිහින්තලා පුවරු ලිපියෙන් සිවුවන මහින්ද රජු පිළිබඳව ද තොරතුරු සනාථ වී තිබේ. පරමාකන්දේ ලිපියකින් අමාත්‍යවරු පිළිබඳ තොරතුරු හෙළි වී තිබේ.මිහින්තලේ  ලිපිවලින් භාණ්ඩාගාරික පිළිබඳ තොරතුරු හෙළි වේ.මහඇළගමුව ලිපියෙන් ගණක පිළිබඳවත්, වැලඑල්ලූගොඩ, මහඇළගමුව හා සිතුල්පව්ව ලිපි වලින් සෙන්පතියන් පිළිබඳවත්, හබැස්ස ලිපියෙන් උපරජ පිළිබඳවත් තොරතුරු හෙළි වේ.

මහාවංසයේ සමාජික තොරතුරු- ලංකාවේ ජීවත් වූ විවිධ ජනකොටස් හා ඔවුන්ගේ විවිධ චාරිත්‍ර, ඇඳුම්පැළඳුම්, උත්සව  ඇතුළු විවිධ සංස්කෘතිකාංග පිළිබඳ තොරතුරු ඇතුළත් වේ. ආවාහ විවාහ සබඳතා හා ඒ ආශ්‍රිත විවිධ සම්ප්‍රදායයන් පිළිබඳ තොරතුරු ද යම් ප්‍රමාණයක් ඇතුළත් වේ.තඹකර, පෙහෙකර, වෙජ ආදී වශයෙන් සමාජයේ සිටි විවිධ තරාතිරම්වල පුද්ගලයින් පිළිබඳව සෙල්ලිපි වල සඳහන් වී තිබේ.

මහාවංසයේ ආර්ථික තොරතුරු- ගොවිතැන් කටයුතු, වාරි කර්මාන්ත, වෙළඳ කටයුතු, විවිධ ශිල්ප හා කර්මාන්ත පිළිබඳ තොරතුරු යම් පමණක් ඇතුළත්ව ඇත. මේ තොරතුරු ද සනාථ වී තිබේ. සැස්සේරුව ලිපියේ වෙළඳ ශ්‍රේණි හා වෙළෙන්දන් පිළිබඳ සඳහන් වේ.වරාය බදු පිළිබඳව ගොඩවාය ලිපියේ සඳහන් වේ.වෙළඳපළ පරිපාලනය පිළිබඳ හෝපිටිගමු ලිපියේ(බදුළු ටැමි ලිපියේ) සඳහන් වේ. මහාතිත්ථයේ කැනීම් වලදී ද වෙළඳාම පිළිබඳ තොරතුරු සනාථ වී තිබේ.

මහාවංසයේ සඳහන් තාක්ෂණික තොරතුරු- වාරි තාක්ෂණය, ගොඩනැගිලි තාක්ෂණය, ප්‍රතිමා නෙළීම, දැගැබ් ඉදිකිරීම, මාර්ග හා පාලම් ඉදිකිරීම වැනි දේ පිළිබඳ තොරතුරු ඇතුළත්ව තිබේ.රුවන්වැලිසෑය, ලෝහප්‍රාසාදය වැනි ඉදිකිරීම් පිළිබඳව මහාවංස විස්තර පුරාවිද්‍යාත්මකව සනාථ වී තිබේ.