දීපවංසය

ලංකා‍වේ ලියැවුණු කෘතියකි. ඊට අමතරව මෙය ඉන්දීය ඉතිහාසය පිළිබඳ විදෙස් මූලාශ්‍රයකි. ඉන්දීය ඉතිහාසයේ මෞර්ය යුගය පිළිබඳ ප්‍රධාන මූලාශ්‍රයක් වන මෙය  ලංකාවේ භික්ෂුනීන් වහන්සේලා විසින් රචනා කර ඇතැයි සැලකේ.

දීපවංසය මෙතෙක් ලංකාවෙන් හමු වී ඇති පුරාණතම සාහිත්‍ය මූලාශ‍්‍රය සේ පිළිගැනේ. මෙය කවරෙකු විසින් රචනා කළේදැයි නිශ්චිත නැත. දීපවංසය පරිච්ඡේද 22කින් යුතු කෘතියකි. දීපවංසය වූ කලී මහාවංසයට පවා මූලාශ‍්‍රයක් වූ කෘතියකි. බුදුන්වහන්සේගේ චරිතයේ ඇතැම් සිදුවීම් ද උන්වහන්සේගේ ලංකාගමනයන් පිළිබඳව ද සඳහන් කරමින් කෘතිය අරඹන කතුවරයා, විජය රජුගේ පටන් මහසෙන් රජතුමාගේ රාජ්‍ය කාලයේ අවසානය දක්වා ලංකා ඉතිහාසයේ තොරතුරු රැසක් ඉදිරිපත් කරයි.  සිය කෘතිය සඳහා තෝරා ගත් කාල පරිච්ඡෙදය(විජය රජුගේ පටන් මහසෙන් රජතුමාගේ රාජ්‍ය කාලයේ අවසානය දක්වා) අතින් ද දීපවංසය හා මහාවංසය සමාන වේ.(මහාවංස කතුවරයා තෝරා ගත්තේ ද එම කාල පරිච්ඡෙදය ම ය.)  දීපවංසයේ සඳහන් වන ඇතැම් ගාථා මහාවංසයේ ද ඒ ආකාරයට ම දක්නට ලැබේ. එහෙත් දීපවංසය ඇතැම් කරුණු මහාවංසයට වඩා වෙනස් ආකාරයෙන් දක්වා ඇත.(පණ්ඩුකාභය යන නාමය පකුණ්ඩක ලෙස ද  සීවලී රැජිණගේ නම රේවතී ලෙස ද දක්වා ඇත.) මහාවංසය වනාහි දීපවංසයේ අට්ඨකථාව යැයි සැලකිය හැකි තරමට ම මෙම කෘති දෙක සමානය (එහෙත් මහාවංසය වනාහි දීපවංසයේ අට්ඨකථාව නොවේ.) ක‍්‍රි.ව. 5වන සියවසේ ලියැවුණු පාලි අට්ඨකථා වල ද දීපවංසය පිළිබඳව සඳහන් වන අතර දීපවංසයෙන් උපුටා ගත් ගාථා පාඨ ද ඒවායේ දක්නට ලැබේ. සිය කෘතිය උදෙසා කතුවරයා එකල පැවති ජන කථා සහ ජන විශ්වාසයන් ද පදනම් කරගෙන ඇත. මහාවංසයට වඩා දීපවංසය කුඩා කෘතියක් වුව ද මහාවංසයේ පවා දක්නට නොලැබෙන කරුණු දීපවංසයේ සඳහන් වේ.(උදා- මහසම්මත රාජ පරම්පරාවේ ඇතැම් රජවරුන්ගේ නම්  , ප‍්‍රථම ධර්ම සංගායනාවේ දී ධර්මය පිටක වශයෙන් සංගායනා කිරීම  , පණ්ඩුවාසදේව රජතුමාගේ පුතුන් දස දෙනාගේ නම්  , සඟමිත් තෙරණිය සමග මෙරටට වැඩම කළ සෙසු භික්ෂුණීන් වහන්සේලාගේ නම්  ) මෙය රචනාකොට නිම වූයේ ක‍්‍රි. ව. 4වන සියවසේ විය යුතු යැයි ඉතිහාසඥයෝ විශ්වාස කරති. රචිත භාෂාව එතරම් මධුර නොවන නිසා රචකයින් පාලි භාෂාව පිළිබඳ අල්ප දැනුමක් ඇත්තවුන් බව කෘතිය කියවීමේ දී පෙනී යයි. භාෂා විධි තුනක්පමණ දක්නට ලැබෙන නිසා මෙය එක් කතුවරයෙකුගේ කෘතියක් යැයි පිළි නො ගැනේ.  ඓතිහාසික අගයක් සහිත කෘතියක් වුව ද උද්දාන ගාථා(ප‍්‍රීති වාක්‍ය) දක්නට ලැබීම, එකම කරුණ දෙයාකාරයකට දක්නට ලැබීම, පුනරුක්ති බහුල වීම නිසා මෙම කෘතියේ ඓතිහාසික අගයට යම් හානියක් සිදු වී ඇත. එහෙත් මහාවංසය රචනාවීමට ප‍්‍රථම මෙරට තිබූ ප‍්‍රධානතම ඉතිහාස ග‍්‍රන්ථය වන්නේ දීපවංසය යි.  මෙම කෘතියේ විශේෂත්වයක් නම් භික්ෂුණීන් වහන්සේලා පිළිබඳව වැඩි වශයෙන් සඳහන් වීමයි. එම නිසා මෙය හත්ථාල්හක මෙහෙණවරෙහි විසූ භික්ෂුණීන්වහන්සෙලා විසින් රචනා කරන්නට ඇතැයි ඉතිහාසඥයෝ විශ්වාස කරති.