අභයදාන ලිපිය/ දැදිගම ලිපිය

කෝට්ටේ  6වන පරාක්‍රමබාහු රජුට පසු බලයට පත් ජයවීර පරාක්‍රමබාහු රජු මරා සපුමල් කුමරා බලයට පත්විය.ඒ  VI වන බුවනෙකබාහු නමින්. බලයට පත් අලුත ම වාගේ මේ රජුට විරුද්ධව පස්දුන්කෝරළයේ කැළණිදොළ ශ්‍රී වර්ධන පතිරාජ හා කීරගම හිමි එක්ව අරගලයක් කළ බව සඳහන් වේ.මේ අරගලය සිංහල සංගෙ නමින් දැදිගම ලිපියේත් සිංහල පෙරලිය නමින් රාජාවලියේත් හඳුන්වා තිබේ. මේ අරගලය මැඩපැවත්වීමට සිය සොයුරු අම්බුලුගල කුමරු යෙදවීමට VI වන බුවනෙකබාහු රජුට සිදුවිය. අම්බුලුගල කුමරා කැරැල්ල මර්දනය කර නායකයින් ජීවග්‍රහයෙන් අල්ලා ගත්තේ ය. නමුත් කැරැල්ල මෙහෙය වූ ශ්‍රීවර්ධන පතිරාජයන්ගේ ඉල්ලීම පරිදි ඔහු නොමරා සිරදඬුවම් දීමට VI වන බුවනෙකබාහු රජු එකඟ විය. කීරගම හිමියන්ට සිරදඬුවමක් හෝ නොදුන්නේ යැයි සිතන්නට සාධක තිබේ. ඇතැම් විට ඔහු තමන්ට විරුද්ධ  ජන බලවේගය ගැන අවබෝධයෙන් එසේ කළා විය හැකි ය. මෙම අභයදාන විස්තරය සඳහන් වන්නේ දැදිගම සෙල්ලිපියේ ය.