පනාකඩුව තඹ සන්නස

පළමුවන විජයබාහු රජුට අයත් තඹ සන්නසකි.එහි එතුමාගේ දුෂ්කර ළමා කාලය පිළිබඳවත්, ඒ කාලයේ දී උපකාර කළ බුදල්නාවන්ට දුන් කෘතවේදී දීමනාවන් පිළිබඳවත් තොරතුරු ඇතුළත් වේ. එකී තොරතුරු ලංකාවේ වෙනත් කිසිදු මූලාශ්‍රයකින් හමු නොවන නිසා මේ සන්නස අතිශය වැදගත් වේ.

1) ස්වස්ති, සිරි සිරිවන් අපරියත් ලො ඉකුත් ගුණ මුළෙන් උතුරත් මුළු දම්බදිව්හි අන් තැත් කු –
2) ල පාමිලි කළ ඔකාවස් රජ පරපුරෙන් බට කැත් උසබනට අග මෙහෙසුන් වූ ලග්දිව් පො –
3) ළො යොහෙන පරපුරෙන් හිමි සිරිසඟබෝ විජයබාහු රජ පා වහන්සේ තුමා සිය විත් –
4) මෙන් දෙමෙළ බල මුළු අන්දුරු දුරු ලා මුළු ලක්දිව් එක් සේසත් කැරැ රජ වළන්දමින් ස –
5) විසි හවුරුද්දක් ඉකුත් සත් ළැඟු සත් විසි වන්නෙහි කැත්තෙ සන්ද අව පස්මස්හි අවසත –
6) වක්දවස් නුරුපුරවරෙහි සිහසිනරා කිරුළුමිණි රසින් පළ සෙසත් කිස තවරමින් වැඩැහින් දෑ
7) තමා සොවුරු ඈපා මායා යුව රජ ඈ රජගණා ප‍්‍රමුඛයෙන් සිහවිකුම් යහළ යුවළතිනුක –

(ආ 1)

1) හා ප‍්‍රහළ යසපබන්ද දසන් මෙරජවැළ ලතුළු ලවන් අත් පස්හි පාමින් රූණු දඩ –
2) නායක පින්නරු බිම් බුදල්නාවන් අප සොළි දෙමළුන්ගෙ විබලයෙන් සිජ රජින් පි –
3) රිහී ගල්වලැ වැළැහී වන අවදියැ අප පිය මහ සැමිය මුගලන් රජ පා වහන්සේ.
4) ඈ මුළු රජකුල සිය පිරිස්නෙන් රැකැ අප සඟවියෙහි වඩා වන මුල් පලා භරණයෙන්.
5) පුසැ ඇකුත් ඇකුත් තන්හි මඟමින් ඇසිරෙන විපකුන් කෙරෙහි වළගා කන්හි තන්හි
6) විග‍්‍රහ බැන්දෑ රුහුණු දනවු පෙරෙළා එකත් කොට ගල්වලින් බහා සිය රජහි පිහිටු –
7) වා දුක් වුන් ප‍්‍රාශාදයට මෙකුන් දරුමුනුම්බුරන් ව මෙකුන්ගෙ අන්වය ආවු සෙද –

(ආ 2)
1) ඩ මුඩු ගතැ යුතු දොෂයක් කළ ද බසින් පටවා කරණ දැහැවිල්ලෙන් මුත් දඩ මුඩු නොග –
2) න්නාච දැඟැලා නො පටවනු ව දිවි දී මිසැනොමුස්නා වරදකුදු ඇත තුන් වරක් දක්වා ෂමා කරනු කො –
3) ට ච පෙත් පමුණු නො ගන්නා කොට ව යම් පමණ දොහයකුදු කළ අභය දී දැකැ පියවන් මුත්.
4) නිග‍්‍රහ නොකරන කොට මේ වැවස්ථා අප සිය කැතතුලෙහි ඔකාවස් රජ පරපුරු පු –
5) වත්නා තාක් සාසන කොට දෙන්නෙය් කිලිඟු නාවිනි තාරා දෙමුන් මෙගම්නාවිනි තුන් දා
6) දෙටුන් දක්වා වදාළෙගින් රුහුණු දඩනායක සිත්නරු බිම් බුදල්නාවන් වැඩි තැන් සඟවියෙ –
7) හි වඩමින් ලොවැඩ වඩා මුළු රජ කුල සැමැඟැ රක්මින් මුළු ලොය් දිවි රැකැ වන මුල් පලාභරණේ –

(ඉ)
1) න් පුස්මින් මුළු ලොය් පුසැ වැඩිතැන් සිය රැජහි පාළ කෙරෙමින් මුළු ලොය් සෙත් පාළ කොට දු –
2) න් වුන් ප‍්‍රශාදයට ලක්දිව් තෙලෙහි මකාවස් රජපරපුරෙන් බව කැත කුලෙහි රජ පරපුරු
3) පුවත්නා තාක් මෙකුන් දරුමුනුම්බුරන් ව මෙකුන්ගෙ අන්වය ආවු යේ දඩමුඩු ගතැ සිතු වර –
4) දෙකැ බසින් පටවා කරන දැහැවිල්ලෙන් මුත් දඬුමුඩු නො ගන්නා ව දැඟැලා නො පටනු ව
5) දිවි දී නොමුස්නා දොෂයකුදු කළ තුන් වරක් ෂමා කරනුව පෙත් පමුණු නොගන්නා කො –
6) ට යමු පමණ දොහයකුදු කළ අභය දී දැකැපියවත් මුත් නිග‍්‍රහ – නොකරනු කොට සත් විසි වන්නෙහි
5) කැත්තෙහි අවසතවස් දවස් පිටින් මත්තෙහි මෙවැ සථා කළ බවට දෙමළලෙය් දරු පොතැ අත්වර ලියන දෙව්මි.

අර්ථය- මංගල ශ‍්‍රියක් වේවා, ශ‍්‍රීමත් වූ අපය¸න්ත (කෙළවරක් නැති) ලෝකොත්තර ගුණ සමූහයෙන් ඉතිරෙන සකළ ජම්බුද්වීපයෙහි අන්‍ය ක්‍ෂති‍්‍රය සමූහයා

පාද මූලයෙහි (දාසයන්) කළ ඔක්කාක රාජ පරම්පරාවෙන් පහළ වූ ක්ෂති‍්‍රයෝත්තමයනට අග‍්‍ර මහේෂිකාවක (වැනි) වූ

ලංකාදීප පෘථිවි නමැති තරුණ කාන්තාවගේ පරම්පරාගත උරුමය අනුව ස්වාමියා වූ සිරිසඟබෝ විජයබාහු (1 විජයබාහු) රජතුමන් වහන්සේ තමාගේ වික‍්‍රමයෙන්.

ද්‍රවිඩ භට සමූහයා නමැති අඳුරු දුරු කොට සකල ලංකාද්වීපය ඒකච්ඡත‍්‍ර කොට රජ සැප විඳීමෙන්.

තේරුම – විසිවසක් ඉකුත්වූ (හෙවත්) ඡත‍්‍රය එසවීමෙන් (රජ බවට පත්වීමෙන්) සත් විසි වැන්නෙහි කැති සමයේ දෙවන වප් මස අව සතවත්

දිනයෙහි අනුරුධපුරවරෙයහි සිංහාසනාරූඪ ව කිරීට මාණික්‍ය රශ්මියෙන් පැතුරුණු සේසත් ඇතුළත ආලෝක කරමින් වැඩ හිඳ

සහෝදර වූ ආදිපාද – මහාදිපාද – යුවරජ ආදී රාජ සමූහයා අභිමුඛයෙහි සිංහ වික‍්‍රමය ඇත්තේ විය ගහ ඔසොවා දෑතින් දරමින්

ප‍්‍රවාහනය වන යසස් තේජස් ඇත්තේ දන්ත කාන්ති රශ්මියෙන් අලංකාර වුණු දෙතොල් හාත්පස්හි දක්වමින් ( කථා කරමින්)

“රුහුණු දඩනායක සිත්තරු බිම් බුදල්නාවන්” අප සොළී දෙමළුන්ගෙ ආයුධ බලයෙන් ස්වකීය රාජ්‍ය බලයෙන් පිරිහී

වනයෙහි සැඟවී වාසය කරන කල අප පියා වන මහා ස්වාමි මුගලන් රාජොත්තමයාණන් වහන්සේ

ආදී සම්පූර්ණ රජ පවුල සිය පිරිසෙන් ආරක්ෂා කොට අප බාල කාලයෙහි හදා වඩා වන මුල් පලාහාරවලින්.

පෝෂණය කොට, පා තැබූ තැබූ තන්හි සොයමින් හැසිරෙන සතුරන් කෙරෙන් වලකා තැන් තැන්වල

යුද්ධ කොට රුහුණු ජනපදය නැවතත් එක්සත් කොට, වනයෙන් ඉවත් කොට ස්වකීය රාජ්‍යයෙහි පිහිටුවා

දුක් වින්ද ප‍්‍රශාදයට මොවුන්ගේ දරු මුණුපුරන් විසින් ද, මොවුන්ගේ පරම්පරාවට අයත් වූවන් විසින් ද,

දඩ මුඩ ගත යුතු වරදක් කරන ලද නමුත් වචනයෙන් වරද විනිශ්චය කොට කරන තර්ජනයෙන් මිස, දඩ මුඩ නොගැනීම ද (නොගත යුතුය යන අදහසයි)

සිරගෙයි දමා නොසංසිදුවීම ද, ජීවිත දානයෙන් (මරණීය දණ්ඩනය දීමෙන්) මිස නොමිදිය හැකි වරදක් ඇතිවුවද, තුන්වන වාරය දක්වා ක්ෂමා කිරීම ද,

ඉඩම් කොටස් හෝ පරවෙණී ගම් නොගැනීම ද, යම් පමණ රාජද්‍රෝහී කමක් කලත් අභය දානය කොට (රජු ම ඔහු වෙත ගොස්) බලා රටින් පිටුවහල් කරන මිස

නිග‍්‍රහ නොකිරීම ද, යන මේ ව්‍යවස්ථා අප සිය ක්ෂති‍්‍රය වංශයෙහි – ඔකාවස් රාජපරම්පරාව

පවත්නා තාක් (පැවැතිය යුතු යයි) ලියා තබා දිය යුතු යයි කිලිඟු නාවිනි තාරා දෙමුන් මෙගම් හි නාවිනි

තුන්දොටුන්හට ප‍්‍රකාශ කළ හෙයින් රුහුණු දඩනායක සිත්නරු බිම් බුදල්නාවන් විසින් (වැඩි තැන්) රජතුමා ළදරු වියේහිදී

හදාවඩමින් ලොකාභිවෘද්ධිය කොට මුළු රජ පවුල සමඟ ආරක්ෂා කරමින් සකල ලොකයා ගේ ජීවිතය ආරක්ෂා කොට වන මුල පලයන් ගෙනවුත් දීමෙන්.

පෝෂණය කරමින් මුළු ලොව ද පෝෂණය කොට රජතුමා ස්වරාජ්‍යයෙහි පහළ කරමින් (පිහිටුවමින්) මුළු ලොකයට සෙත පහළ කර

දුක් විඳි ප‍්‍රශාදරයට ලංකාද්වීපයෙහි මකාවස් රජ පරම්පරාවෙන් පහළ ක්‍ෂති‍්‍රය රාජ පරම්පරාව

පවත්නා තාක් (මෙතැන් සිට ඉ-1 – 7 වන පෙළ දක්වා ඇති කොටස ආ 2 – 1 සිට 4 වැනි පෙළ දක්වා ඇති කොටසට සමානව දක්වා තිබේ.)