ගඩලාදෙණි පුවරු ලිපි

ජයවීර පරාක්‍රමබාහු නම් රජුගේ පස්වන රාජ්‍ය වර්ෂයට අයත් මෙහි අභයදාන ගිවිසුමක් ඇතුළත් වේ. සතර කෝරළයේ වියවුල් කළ මේනවර තුනෙයාට හා ඔහුගේ සහචරයින්ට දුන් අභයදානයකි. ජයවීර පරාක්‍රමබාහු  යනු කවරෙක් ද යන්න පැහැදිලි නැතත් 6වන පරාක්‍රමබාහු රජු හා 6වන බුවනෙකබාහු රජු අතර සිටි ජයබාහු නම් රජෙකු ගැන රාජරත්නාකරයේ සඳහන් වේ.ඔහුගේ කාලයේ සතරකෝරලයේ ඇතිවූ කැරලිතත්ත්වයක් ගැන ද සඳහන් ය. කෙසේ වෙතත් මේ යුගයේ දේශපාලන කරුණු වියවුල් සහගතය.

”මේ රජුගේ අනුප්‍රාප්තිකයා වූයේ වීර පරාක්‍රමබාහු රජු ය. හේ ඇතැම් තැනෙක ජයවීර පරාක්‍රමබාහු නමින් ද දක්වා ඇත්තේ ය. නමුත් VIවන පරාක්‍රමබාහු රජුට පසු බලයට පත් වූයේ දෙවැනි ජයබාහු යයි රාජරත්නාකරය කියයි. මහාවංසය ද එය ම සඳහන් කරන්නේ රාජරත්නාකරය අනුව යමින් බව පැහැදිලි ය.  කෙසේ වුවත් වඩාත් ප්‍රකට මතය වන්නේ රජුගේ දියණිය වූ උලකුඩය දේවියගේ පුත්‍රයා වූ ජයවීර පරාක්‍රමබාහු කුමාරයා බලයට පත් වූ බව යි. මේ කුමරා වනාහි සැළලිහිණි සංදේශයේ ද අපේක්ෂාව වූ කුමරුන් වේ. (සැළලිහිණි සංදේශය ලියැවෙන්නේ උලකුඩය දේවියට රාජ්‍යත්වයට සුදුසු පුත් රුවනක් අපේක්ෂාවෙනි.) රජ වූ පසු විවිධ අභියෝගයන්ට මුහුණ දීමට මේ රජුට සිදු විය. යාපනයේ සපුමල් කුමාරයා මේ කුමාරයාගේ පදවිප්‍රාප්තිය සම්බන්ධයෙන් නොසතුටින් සිටි අතර ඔහු කුමන මොහොතක හෝ හමුදාව ද රැගෙන දකුණට පැමිණෙන ලකුණු පහල වී තිබුණි. උඩරට ප්‍රදේශයේ සිට මේනවර තුනෙයාරු ද ඔහුට අභියෝගයක් විය. නමුත් උඩරට කලබල මර්දනය කර සාමකාමී වාතාවරණයක් සකස්කිරීමට රජු සමත්වූ බව ගඩලාදෙණි සෙල්ලිපිය අනුව පෙනී යයි. එසේ වුව ද එතැනින් පසු මේ රජුට වැඩි කාලයක් බලයේ සිටින්නට අවකාශ ලැබුණේ නැත. එවකට යාපනය පාලනය කරමින් සිටි සපුමල් කුමාරයා සේනා සහිතව පැමිණ වීර පරාක්‍රමබාහු රජු මරා VI වන බුවනෙකබාහු නමින් ක්‍රි.ව 1470 දී පමණ කෝට්ටේ රජ විය.”