ධාතුසේන රජතුමා
කෙසේ වුව ද සයද්‍රවිඩයන්ගේ(ෂට් දුවිඩයන්ගේ) පාලනය නිම කරමින් යළිත් වරක් ලංකාවේ දේශීය බලයක් ස්ථාපනය විය. ඒ දෙවැනි මෞර්ය වංශයේ ආරම්භය ද සනිටුහන් කරමිනි. මහාවංසයේ මෝර්ය වංශය පිළිබඳ පළමු පැහැදිලි සටහන තබන්නේ ද මේ රජු සම්බන්ධයෙනි. පණ්ඩුකාභය රජුගෙන් ඇරඹි මෙරට මුල් රජපරපුර යසලාලක තිස්ස රජුගෙන් අවසන් වූ අතර මේ පරපුර මෝරිය වංශිකයන් යැයි මහාවංසයේ පැහැදිලි සටහන් නැත. නමුත් ධාතුසේන රජු මෝරිය වංශිකයෙකු යැයි මහාවංසය පැහැදිලිව ම දක්වා තිබේ. ඛුද්ද පාරින්ද බලයේ සිටි කාලයේ විදෙස් ආක්‍රමණිකයින් නෙරපාහරින්නට ධාතුසේන කුමරා පළමු උත්සාහය ගත්තේ ය. ධාතුසේන කුමරා පැවත එන්නේ යසලාලකතිස්ස රජුගේ පරපුරෙනි. යසලාලකතිස්ස රජු මරා සුභ රජ වූ පසු විවිධ ස්ථාන වල සැඟවී ජීවත් වූ මෝරිය වංශිකයින් අතරින් නන්දිවාපි ගාමයේ ජීවත් වූ ධාතුසේන නම් වූ පවුල් ප්‍රධානියෙකුගේ ප්‍රත්‍රයෙක් වූ දාඨානාම ධාතුසේන කුමරුන්ගේ පියා ය. හේ අම්බිලයාගු ගාමයේ වාසය කළේ ය. ඊට අනුව ධාතුසේන රජුගේ සීයා ද ධාතුසේන නම් වී ඇත. මහාවංසයේ තිස් අටවැනි පරිච්ඡේදයේ දහතුන්වැනි ගාථාවේ සිට මේ පිළිබඳ තොරතුරු ඇතුළත් වේ. සිලාතිස්ස බෝධි නමින් කනිටු සොහොයුරෙක් ද ධාතුසේන කුමරාට විය. ධාතුසේන කුමරා කුඩා කාලයේ ම මහණ වී සිටියේ ය. ඒ මව් පාර්ශ්වයෙන් සිය ඥාතියෙකු වූ ද, මහාවිහාරයට අයත් දීඝසන්ද පිරිවෙනෙහි වාසය කළා වූ ද, මහානාම නම් හිමියන් සමීපයේ ය. නමුත් ද්‍රවිඩ ආක්‍රමණ සමයේ කුමරාගේ ආරක්ෂාව පිළිබඳ සංකා මතුවූයෙන් මහානාම හිමි කුමරා ද රැගෙන කලා ඔයෙන් දකුණේ වූ ගෝණිස[1] විහාරයක වාසය පිණිස ගියේ ය. වංසකතා වල එන තොරතුරු වලින් පෙනී යන්නේ මේ වන විට ධාතුසේන නමැති රාජ කුලිකයා පිළිබඳ පණ්ඩු රජු දැනසිටි බවකි. කෙසේ වුව ද චීවරය ධාතුසේන කුමරාට රැකවරණයක් වූ බව සිතන්නට පුළුවන. නිසිවයස් පැමිණෙන තෙක් සිවුර දරා සිටි ධාතුසේන කුමරා පසුව රුහුණේ හා මලය රටේ වාසය කළ ජනප්‍රධානීන්ගේ හා වැසියන්ගේ ද ආධාර ඇතිව සිය සොයුරු සිලාතිස්ස බෝධි කුමරාගේ ද උපකාර ඇතිව ද්‍රවිඩයන් පරදා බලයට පත්විය.
මෙතුමා පිළිබඳ පසුකාලීන ශිලාලේඛන වල සඳහන් වන්නේ දාසෙන් කැලි නමිනි.මඩකලපුව දිස්ත්‍රික්කයේ පානම්පත්තුවේ මගුල්මහා විහාරයෙන් හමු වූ ශිලාලේඛනයක මේ නම දක්නට ලැබේ.[2] දාසෙන් කැලි යන්නේ අරුත ‘‘යහපත් වූ ධාතුසේන නම් රජ‘‘ යන්න විය යුතු ය. කැලි යන්නේ යහපත් යන අරුත ද තිබේ.[3] බලයට පත් වූ පසු එතෙක් කලක් ද්‍රවිඩයන්ට පක්ෂපාතීව දේශද්‍රෝහීන් වශයෙන් කටයුතු කළ ජනප්‍රධානීන්ගේ දේපල රාජසන්තක කර ඔවුන් යටතේ තිබූ ගම්වර යළි පවරාගෙන ඒවා දුෂ්කර සමයේ උපකාර කළ හා පක්ෂපාතීව සිටි පිරිස් වෙත ලබා දී කෘතගුණ දැක්වීය. මේ නිසා ක්‍රමයෙන් මෙරට දේශපාලනය ස්ථාවර විය. රුහුණට ගොස් සිටි රජරට ප්‍රභූවරු යළි රජරට වාසයට පැමිණියහ. බොහෝ වෙහෙර විහාර ද කරවා ජරාවාසව තිබූ වෙහෙර විහාරාදිය ප්‍රතිසංස්කරණය කරවීය. මහාපාලි දානසාලාව පළමුව ප්‍රතිසංස්කරණය කළේ ය. බෝධි ගෘහ ආදිය ද ප්‍රතිසංස්කරණය කරවූ අතර ශාස්ත්‍ර උගත් භික්ෂූන් වහන්සේලා ලවා දහම් පොත් පත් ලියවීමට ද කටයුතු කළේ ය. අභයගිරියට හා ජේතවන විහාර වලට ද සම සැලකිලි දක්වා අනුග්‍රහ දැකත්වී ය. ප්‍රාදේශීය වශයෙන් වෙහෙර විහාර 18ක් කරවූ බව ද සඳහන් වේ.
කෘෂිකර්මාන්තයේ දියුණුව පිණිස වැව් අමුණු රැසක් ද කරවීය. කලාඔය ආශ්‍රිතව කරවූ කලා වැව ට බළලු වැව ද එක් කළ අතර මේ නිසා මේ දැවැන්ත වැව අක්කර හයදහස් තුන්සිය අසූවක් පුරාපැතිර ගියේ ය. ලංකාවේ ගංගා අතරින් දිගින් තෙවන ස්ථානයේ පසුවන කලා ඔය මාතලේ කඳුවැටි පන්තියේ උතුරු දෙසින් ඇරඹී සැතපුම් 88ක් දුර ගලා ගොස් මුහුදට එක්වේ. මේ ගංගාව හරස් තරමින් සැතපුම් 3 ¾ක් දිගු වූ සහ අඩි 40ක් උස් වූ බැම්මක් කරවීමෙන් මෙම වැව කරවා ඇත. අදටත් මල්වතු හා කලා ඔය අතර වගා බිම් අක්කර හත්දහසක පමණ ප්‍රමාණයක කෘෂි කටයුතු සඳහා දියවර සපයන්නේ මේ වැව යි. අනුරාධපුයෙන් දකුණේ ප්‍රදේශ ක්‍රමයෙන් ජනාකීර්ණ වෙමින් පැවති මේ යුගයේ රජු විසින් කලා ඔය ආශ්‍රිතව මෙම වැව කරවීම ලංකාවේ ආර්ථික සංවර්ධන කාර්යයහට මහත් රැකුලක් විය. මේ වැව පිළිබඳව විවිධ ජනප්‍රවාද ද පවතී. කුඩා සාමණේර හිමිනමක්ව සිටිය දී ද්‍රවිඩයින්ගෙන් ආරක්ෂා වීම උදෙසා අනුරාධපුරයෙන් පලා යමින් සිටිය දී කලා ඔය දෙගොඩතලා ගොස් තිබූ බවත් මේ නිසා කුමරුන්ගේ ගමනට බාධා වූ බවත්, ‘‘ අද දින මේ ගංගාව මා හට බාධා කළා සේ ම යම් දිනක මම ද මේ ගංගාවට බාධා කරන්නෙමැ‘යි එදින සිතා ගත් බව ද ජනප්‍රවාදයේ සඳහන් වේ. ඊට අනුව බලයට පත් වූ පසු කලා ඔය හරස් කර මෙම වැව කරවූයේ යැයි ජනප්‍රවාදයේ පවතී. මේ වැව ද ඇතුළත්ව මහ වැව් දහඅටක් රජතුමා විසින් කරවන ලදී. මල්වතු ඔයේ පහළ නිම්නයේ නිර්මාණය කරවූ යෝධ වැව ද මෙතුමාගේ නිර්මාණයකි. මේ වැව සඳහ මල්වතු ඔයේ සිට දිය ගෙනගියේ තෙක්කම නම් ස්ථනයෙන් ඇරඹී සැතපුම් 17ක් දිගු ඇළමගකිනි. මහාතිත්ථයට සමීපව ජනපද බිහිකිරීම රටේ ආරක්ෂාවට ද හේතුවක් වන නිසා මෙතුමා මේ ආශ්‍රිතව මෙම වැව නිර්මාණය කරවන්නට ඇතැයි සිතිය හැකි වේ. මල්වතු ඔයේ දකුණු ඉවුරේ කරවූ ආකට්ටිමුරුප්පු වැව ද මෙතුමා කරවූවක් යැයි සැලකේ. එයට ද මල්වතු ඔයේ සිට ඇළමගකින් දියවර සපයනු ලැබී ය. තව ද සැතපුම් 54ක් දිගු වූ යෝධ ඇළ ද කරවීය. මේ මගින් කලා වැවේ ජලය අනුරාධපුර විලච්චි කෝරලයේ පිහිටි තිසා වැව දක්වා ද රැගෙන යන ලදී. දිය බැස යන වේගය නොපෙනෙන තරමට මේ ඇළේ බැස්ම සූක්ෂ්ම ය. එය ඉදිකිරීමේ දී සමෝච්ඡ රේඛාව නිර්මාණය කළේ ගැබ්බර එළිච්චියකගේ පියවර සටහන ඔස්සේ යැයි සඳහන් වේ. මෙහි මුල් සැතපුම් දාහතෙහි බැස්ම සැතපුමකට අඟල් 6ක් පමණි. ඇළ මාර්ගය දෙපස ද අස්වැද්දීමට පහසුවෙන් දියවර ලබාගතහැකි තත්ත්වයක් මේ නිසා අති විය. තිසාවැවට එක්වීමට මත්තෙන් මේ ඇළමගෙන් පෝෂණය වන ගම් වැව් ගණන එකසිය තිස් අටකි. මීට අමතරව මෙතුමා සුළු වැව් දහඅටක් ද කරවා ඇත.
නමුත් මෙතුමාගේ ජීවිතයේ නිමාව සනිටුහන් වන්නේ ඛේදජනක ආකාරයෙනි. රජුට පුතුන් දෙදෙනෙකු හා දියණියක සිටි වග මූලාශ්‍රය අනුව පෙනී යයි. වැඩිමහළු කාශ්‍යප කුමාරයා භින්නමාතුකයෙකි. එනම් අගබිසව නොවූ දෙවන බිසවකගේ පුත්‍රෙයකි. සමමාතුක වූ මොග්ගල්ලාන කුමාරයා දෙවැන්නා විය. හේ රාජ්‍යත්වයට නිසි උරුමකරුවා විය. දියණිය විවාහ වී සිටියේ රජුගේ නැගණීයගේ පුත්‍රයා මෙන් ම රජුගේ සෙන්පතියෙකු ද වූ මිගාර සමග ය. නමුත් රජ දියණිය නිරන්තරයෙන් ම මිගාරගේ විවිධ අඩන්තේට්ටම් වලට ලක් වූ නිසා රජු සිටියේ කළකිරීමෙනි. දිනක් ඇය ලේ වැකුණු ඇඳුමින් රජු හමිවට විත් තමන්ට සිදු වූ පහරදීමක් පිළිබඳ තතු කියූ අවස්ථාවේ රජුගේ කෝපය ඉහවහා ගියේ ය. වහාම මිගාරට දඬුවම් කිරීමට තීරණය කළ ද මිගාර හමු නොවූයෙන් මිගාරගේ මව වූ ද තමන්ගේ නැගණියට බරපතල දඬුවමක් දුන්නේ ය. ඇය නිරුවත්කර පුළුස්සා මරා දැමීය. මින් කෝපයට පත් මිගාර කාශ්‍යප හා එක්ව කුමන්ත්‍රණය කර කාෂ්‍යප තුළ රාජ්‍ය ලෝභයක් ඇතිකරවා රජු ඝාතනය කරවීය. කලාවැව් බැම්මේ දී සිදුකළේ යැයි කියන මේ ඝාතනය වේදනාකාරී එකක් විය. සිටුවා පස්ගැස්වීමේ ක්‍රමයට මේ මරණය සිදුකළේ යැයි ජනප්‍රවාදයේ පවතී.
[1] විහාර වර්ගයක නාමයකි යි පරණවිතාන මහතා සඳහන් කර තිබේ.
[2] Epigraphia Zeylanica IV p.164
[3] මහා සිංහල ශබ්දකෝෂය-හරිශ්චන්ද්‍ර විජයතුංග.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.