විසිතුරු මත්ස්‍ය වගාව

අප දන්නා පරිදි ශත වර්ෂ ගණනාවක සිට ම විසිතුරු මත්ස්‍ය වගාව මිනිසුන්‌ විසින්‌ විනෝදාංශයක්‌ ලෙස පවත්වා ගෙන ගොස්‌ ඇත. මුල්‌ කාලයේ දී වර්ණවත්‌ මත්ස්‍යයන්‌ ස්වාභාවික ජලජ පරිසරවලින්‌ එකතු කර උද්‍යාන-පොකුණු ආදිය තුළ ඇතිදැඩි කර ඔවුන්ගේ සුන්දරත්වය නැරඹීමෙන්‌ මිනිස්සු සතුටු වූහ. ඒ කෙසේ වුව ද වර්තමානය වන විට මෙය වෙනම ම කර්මාන්තයක් වශයෙන් වර්ධනය වී තිබේ. මින්සි සිත්‌ ඇද ගන්නා වර්ණ, මත්ස්‍ය වරල්වල හා දේහයේ හැඩය, දේහ ප්‍රමාණය, පිහිනීමේ රටා සහ ඇතිකරනු ලබන තත්ත්ව යටතේ ජීවත්‌ වීමට අනුවර්තනය වීමේ හැකියාව ආදී කරුණු මත විසිතුරු මත්ස්‍යයන්‌ ලොව පුරා විශාල ආකර්ෂණයක්‌ සහ අවධානයක්‌ අත්කර ගෙන ඇත. මේ ආදී වූ විවිධ හේතු පදනම් කරගෙන විසිතුරු මත්ස්‍යයෝ බොහෝ නිවෙස්වල විවිධ හේතු මත ඇති කරනු ලබති. ගෘහ අලංකරණය, දරුවන්ගේ අධ්‍යාපනය හෝ ආස්වාදය පිණිස යොදා ගැනීමට වැඩිහිටියන්ගේ හෝ සෞඛ්‍යමය බලපෑම්‌ ඇති පුද්ගලයන්ට මානසික නිස්කලංකභාවය ලබාදිම සඳහා, නිවැසියන්ගේ සෞභාග්‍යය හා වාසනාව උදෙසා සහ දුර්ලභ මත්ස්‍ය විශේෂ එකතු කර තබා ගැනීමට ඇති ආශාව සහ ඔවුන්‌ බෝකර ගැනීම සඳහා විවිධ මත්ස්‍ය විශේෂ ඇති කරනු ලැබේ. එනයින්‌ විසිතුරු මත්ස්‍යයන්‌ රැකබලා ගැනීම යනු ගෝලීය වශයෙන්‌ ගත් කල ඡායාරූපකරණයට පමණක්‌ දෙවැනි වූ බොහෝ ප්‍රචලිත විනෝදාංශයකි. ඒ හේතුවෙන් විනෝදාංශයක්‌ ලෙස ඇතිකිරීමට අවශ්‍ය මත්ස්‍ය විශේෂ සැපයීම සඳහා විසිතුරු මත්ස්‍ය වගාව ලෝකය පුරා පැතිරුණු කර්මාන්තයක්‌ බවට ද පත්වී තිබේ.