පුරාණ භාරතීය විශ්ව විද්‍යාලයක් සහ බෞද්ධ ආරාමයකි. ඊසානදිග ඉන්දියාවේ මධ්‍යම බිහාර් ප්‍රාන්තයේ බිහාර් පිහිටි බෞද්ධ ආරාම මධ්‍යස්ථානය යි. නාලන්දාවේ සාම්ප්‍රදායික ඉතිහාසය බුද්ධ කාලය (ක්‍රි.පූ. 6-5 සියවස්) සහ ජෛන ආගමේ නිර්මාතෘ මහාවීරතුමන් ජීවමානව සිටි සමය දක්වා දිව යයි. පසුකාලීන ටිබෙට් මූලාශ්‍රයකට අනුව, නාගර්ජුන (ක්‍රි.ව. 2-3 වැනි සියවසේ බෞද්ධ දාර්ශනිකයා) එහි අධ්‍යයන කටයුතු ආරම්භ කළේය. කෙසේ වෙතත්, ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ ආයතනය විසින් සිදු කරන ලද පුළුල් කැණීම්වලින් පෙනී යන්නේ, දැනට හමුවන ආරාමවල පදනම ගුප්ත යුගයට (ක්‍රි.ව. 5 වන සියවසට) අයත් බවයි. 7වන සියවසේ බලගතු කනවුජ් (කන්නෝජ්) පාලකයා වූ හර්ෂවර්ධන රජු නාලන්දාවට අනුග්‍රහ දැක්වූ බව වාර්තා වේ. ඔහුගේ පාලන සමයේදී චීන වන්දනාකරු හ්‍යුන් සියෑං ටික කලක් නාලන්දාවේ නැවතී එහි ඉගෙනුම ලැබූ විෂයයන් සහ ගුරු-සිසු ප්‍රජාවේ සාමාන්‍ය ලක්ෂණ පිළිබඳ පැහැදිලි වාර්තාවක් තැබීය. පරම්පරාවකට පසු තවත් චීන වන්දනාකරුවෙකු වූ යිජිං ද භික්ෂූන්ගේ ජීවිතය පිළිබඳ කෙටි සටහනක් තබා ඇත. නාලන්දාව පාල රාජවංශය යටතේ (8-12 සියවස්) ඉගෙනීමේ මධ්‍යස්ථානයක් ලෙස දිගටම සමෘද්ධිමත් වූ අතර එය ගලින් හා ලෝකඩින් ආගමික මූර්ති සහිත මධ්‍යස්ථානයක් බවට පත් විය. නාලන්දාව බිහාර්හි මුස්ලිම් වැටලීම් වලදී (1200 පමණ)විනාශ කරන ලද අතර කිසි විටෙකත් යථා තත්ත්වයට පත් නොවීය. වන්දනාකරුවන්ගේ වාර්තාවලට අනුව, ගුප්ත යුගයේ සිට නාලන්දාවේ ආරාම උස් තාප්පයකින් වටවී තිබුණි. කැණීම්වලදී සාම්ප්‍රදායික ඉන්දියානු සම්ප්‍රදායේ ආරාම 10 ක පේළියක් අනාවරණය විය. ආරාම ඉදිරිපිට ගඩොලින් හා බදාමයෙන් සකස් කරන ලද විශාල සිද්ධස්ථාන හෝ ස්තූප පේළියක් විය. එහි සොයා ගත් මුද්‍රා මත සම්පූර්ණ ආරාම සංකීර්ණම මහාවිහාරය (“මහා ආරාමය”) ලෙස දක්වා ඇත. වත්මන් නාලන්දාවේ පිහිටි කෞතුකාගාරයක කැණීම්වලින් හමුවූ නිධන් බොහෝමයක් තැන්පත් කර ඇත. මේ ස්ථානය 2016 වසරේ දී යුනෙස්කෝ ලෝක උරුමස්මාරකයක් ලෙස නම් කරන ලදී.