මෞර්ය අධිරාජ්‍යය බිඳ වැටීමෙන් පසු උතුරු ඉන්දියාවේ ඇති වූයේ අස්ථාවර දේශපාලන තත්ත්වයකි. මේ තත්ත්වය මත උතුරු ඉන්දියාව අනාරක්ෂිත වූ බවත්, ක්‍රමයෙන් විදේශීය හා දේශීය ආක්‍රමණික සංක්‍රමණිකයින්ට උතුරු ඉන්දියාව ගොදුරු වූ අයුරුත් පැහැදිලි ය. ඉන්දු ග්‍රීකයෝ මේ සමයේ බලවත් වූ තවත් ආක්‍රමණික ජාතියකි. මධ්‍යාසියානු ඉතිහාසය හදාරන්නෙකුට ඉන්දු ග්‍රීකයන් පිළිබඳ මුල් තොරතුරු හමු වේ. ඔවුන් මහා ඇලෙක්සැන්ඩර් ආක්‍රමණ සමයේ පටන් ම ඉන්දීය ඉතිහාසයට විවිධාකරයෙන් සම්බන්ධ වී තිබේ. කලින් කලට යටපත් වෙමින් හා මතු වෙමින් ඉන්දීය ඉතිහාසයේ හැඩය තීරණය කිරීමට යම් බලපෑමක් කළ ඉන්දු ග්‍රීකයෝ පශ්චාත් මෞර්ය යුගයේ දී වඩාත් බලවත්ව නැගී ආහ.
යවන යන නාමය ද මොවුන් හැඳින්වීමට යොදා ඇත්තේ ය. ඩේරියස් රජුගේ ශිලාලේඛන වල මෙන් ම මහාභාරතයේ ද මනුස්මෘතියේ ද මේ නම භාවිත වී අති නිසා මොවුන් හැඳින්වූ සැබෑ නැමය එය විය යුතු යැයි සිතේ. ඉන්දු ග්‍රීක නාමය පසුකාලීනව පටබැඳුනක් වියයුතු ය. (නමුත් පසුකාලීනව යවන යන නාමය ඉන්දු ග්‍රීකයන් පමණක් නොව ඉන්දියාවට පැමිණි ඕනෑම ආක්‍රමණිකයෙකු හැඳින්වීමට යොදා ගත් බවක් ද දක්නට ලැබෙයි.) අශෝක ශිලාලේඛන වල යෝන නමින් හඳුන්වා ඇත්තේ ද මේ යවන හෙවත් ඉන්දු ග්‍රීකයන් ය. රුද්‍රදාමන්ගේ ජුනගාද් ලිපියෙන් පෙනී යන්නේ සෞරාශ්ට්‍රයේ තුෂාස්ට්‍ර නමින් යවනයෙකු සිටි බවයි. මේ කාලයේ ම කාබුල් ප්‍රදේශයේ ද යවනයන් පාලන කටයුතු වල නිරතවී සිට ඇත. යුග පුරාණ, මාහාභාෂ්‍යය, මාලවිකාග්නිමිත්‍ර වැනි කෘති වලින් පෙනී යන පරිදි පශ්චාත් මෞර්ය යුගයේ දී යවනයන් ලෙසින් ද හැඳීන්වූ ග්‍රීකයන් උතුරු ඉන්දියාවට ආක්‍රමණයක් එල්ල කර තිබේ. නමුත් ඉතිහාසය ඔවුන් හඳුන්වන්නේ බැට්‍රියන් ග්‍රීක නමිනි. ඇන්ටියෝකස් නම් බැක්ට්‍රියන් ග්‍රීක රජු හින්දුකුෂ් කඳු තරණය කර පැමිණ කාබුල් නිම්නයේ සුභාගසේන නම් රජුගේ රාජ්‍යය අල්ලාගත් බවත්, සුභාගසේන රජු කප්පම් ගෙවා යටත් බව ප්‍රකාශ කළ බවත් මහාභාෂ්‍යයේ හා යුග පුරාණයේ සඳහන් වේ. මේ රජු පසුව කාබුල් වලට අමතරව බටහිර ඉන්දියානු ප්‍රදේශ කිහිපයක් ද අල්ලාගෙන ඇත. තවත් කලක් යනවිට මෙම යවනයන් සාකේත හා කුසුමද්වාර නගර ද අල්ලා ගත් බව ඉහත මූලාශ්‍රය වල ම සඳහන් වේ. මෙයින් පෙනී යන්නේ වයඹ දිග ඉන්දියානු ප්‍රදේශ අල්ලාගැනීමෙන් නතර නොවී ඔවුන් ගංගා නිම්නයට ද ආක්‍රමණ එල්ල කර ඇති බව යි. ඔවුන් පාඨලීපුත්‍රය ආක්‍රමණය කර ජනතාවගෙන් අසාධාරණ ලෙස බදු අයකරගත් බව යුගපුරාණයේ සඳහන් වේ. මාලවිකාග්නිමිත්‍රයේ ද මේ පිළිබඳ සඳහන් වේ. පුෂ්‍යමිත්‍රගේ මුණුපුරු වසුමිත්‍ර විසින් සින්ධු නදියේ දකුණු ඉවුරේ දී යවනයන් පරාජය කළේ යැයි එහි සඳහන් වේ. පුෂ්‍යමිත්‍ර ශුංගයන්ට සමකාලීනව සිදු වූ සේ පිළිගැනෙන මෙම ආක්‍රමණයේ දී බැක්ට්‍රියන් ග්‍රීකයන් හෙවත් යවනයන් මෙහෙයවා ඇත්තේ ඩිමෙට්‍රියස් යටතේ සටන් කළ මිනැන්ඩර් හෙවත් මිලින්ද යැයි විශ්වාසයක් පවතී. නමුත් මෙය කිසිදු මූලාශ්‍රයක් මගින් සනාථ වී නැත්තේ ය. තවත් කලකට පසු බැක්ට්‍රියානු ග්‍රීක ප්‍රදේශ යුක්‍රටයිඩීස් නම් වෙනත් ග්‍රීක වශයක බලයට නතු වූ අතර මේ කාලයෙන් පසු මෙම ග්‍රීකයන් ඉන්දු ග්‍රීක නාමයෙන් හඳුන්වා ඇත. ස්ට්‍රාබෝ සිය වාර්තා වල මෙම ඉන්දු ග්‍රීකයන් පිළිබඳව හඳුන්වා තිබේ. ඔහුගේ වාර්තා වල දැක්වෙන පරිදි වැදගත් ම ඉන්දු ග්‍රීක පාලකයන් දෙදෙනෙකු හඳුනාගත හැකි ය.
- 2වන ඩිමෙට්‍රියස්
- මිනැන්ඩර්(මිලින්ද)
මේ දෙදෙනා අතරින් ද වඩාත් වැදගත් රජු මිනැන්ඩර් යැයි පිළිගැනෙයි. ටිබෙට් ලේඛන වල මෙන් ම ක්ෂේමේන්ද්‍රෙග් අවදාන කල්පලතාවේ මේ රජු හඳුන්වා ඇත්තේ මිලින්ද නමිනි. මූලාශ්‍රය වල සඳහන් වන්නේ මේ රජු මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාටත් වඩා ඉන්දියානු ප්‍රදේශ ආක්‍රමණය කළ බව යි. බැක්ට්‍රියාවේ ඔක්සස් නදී නිම්නයේ සිට ගංගා නිම්නය දක්වාත්, හිමාලයේ සිට නර්මදා නදිය දක්වාත් ඔහු පාලනය කළ වගක් මූලාශ්‍රය වල සඳහන් වේ. පාඨලීපුත්‍ර හා උජ්ජේනි වැනි නගර ද ඔහු යටතේ පැවති බවට ග්‍රීක වාර්තා සාධක සපයා ඇත. ඔහුගේ අගනුවර වී ඇත්තේ සියල්කොට් හෙවත් සාකලය යි. මේ රජුට අයත් කාසි කාබුල් නදී මිටියාවතෙන් මෙන් ම උත්තර ප්‍රදේශයෙන් ද හමු වී ඇත. තක්ෂිලා, පෙෂවෝර්, රාවල්පිණ්ඩි, උජ්ජේනි, අභිසාර, වැනි ප්‍රදේශ වලින් ද ඔහුට අයත් කාසි සොයාගෙන තිබේ. වයඹදිග ඉන්දියාවෙන් පමණක් හමු වී ඇති කාසි ප්‍රමාණය 200ක් පමණ වේ. කාසි හෙවත් නාණක විද්‍යා මූලාශ්‍රය යනු මේ රජු පිළිබඳ තොරතුරු සපයන ප්‍රධාන මූලාශ්‍රය වර්ගය යි. එක් පැත්තක ග්‍රීක අක්ෂරයෙන් ද, අනෙක් පැත්තේ ඛරෝෂ්ඨි අක්ෂරයෙන් ලියූ පාඨ ද ඇතුළත් මෙම කාසි වල ප්‍රතිමුඛයේ ග්‍රීක දෙව් රුවක් ද ආමුඛයේ රජ රුවක් ද දක්නට ලැබෙයි. පෙරිප්ලස් ඔෆ් ද එරිත්‍රියන් සී කෘතියට අනුව පෙනී යන්නේ මේ රජුගේ කාසි බ්‍රෝච් වරායේ ද භාවිත වී ඇති බව යි. මේ රජු බෞද්ධයෙකු වූ බව ද බෞද්ධ මූලාශ්‍රය අනුව පෙනී යයි. සුප්‍රසිද්ධ බෞද්ධ මූලාශ්‍රයක් වන මිලින්ද පඤ්හ(මිලින්ද ප්‍රශ්නය) කෘතිය ලියැවී ඇත්තේ මේ රජු හා නාගසේන නම් බෞද්ධ භික්ෂූන්වහන්සේ අතර ඇති වූ බෞද්ධ සංවාද පදනම් කරගෙන යැයි පිළිගැනෙයි. මෙම සංවාදයෙන් පසු මිනැන්ඩර් රජු සිය රාජ්‍යය සිය පුත්‍රයාට භාර දී සසුන්ගත වී බව ද රහත් භාවයට පත් වූ බව ද බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. ග්‍රීක මූලාශ්‍රය වල සඳහන් වන්නේ මිනැන්ඩර්ගේ මරණින් පසු ඔහුගේ භෂ්මාවශේෂ බෙදාගන්නට රජවරුන් අරගල කළ බවයි.
මෙනැන්ඩර්ගේ අභාවයට පසු ඉන්දියාවේ ග්‍රීක බලය ක්‍රමයෙන් පරිහානියට පත්විය. තක්ෂිලාව මුල්කරගනිමින් තවත් ග්‍රීක රාජවංශයක් ද බලයට පත්විය. පහ්ලව හා යු-එ-චී වරුන්ගේ බලපෑම් වලින් මිදීමට උත්සාහ කරමින් තවත් සුළු කාලයක් බලයේ සිටි ග්‍රීකයන්ගේ ඉන්දීය භූමියේ අවසන් පාලකයා සේ සැලකෙන්නේ හර්මයියෝස් ය.
ඉන්දු නදිය – සින්දු නදිය යන නමින් ද හැඳින්වෙන මෙය වයඹ දිග ඉන්දියානු ප්‍රදේශය හරහා ගලා බසිනා ගංගාවකි. හිමාලයේ ටිඛෙට් සානුව ආශ්‍රිත කෛලාස ශිඛරයත් මානස විලත් ආශ්‍රිතව ඇරඹී වත්මන් පාකිස්ථානය හරහා ගලා යයි. පළමුව බටහිරටත් පසුව වයඹ දෙසටත් කාර්කෝරම් සහ හිමාලයානු කඳු අතරින් සැතපුම් අටසියයක් පමණ ගලා බසින මෙම නදියට ගිල්හිට් නදිය එක්වේ. දිග කිලෝමීටර 2900කි. පෝෂක ප්‍රදේශය වර්ග කිලෝමිටර 1,165,500 කි. ඉන්පසුව ඉන්දු තැනිතලාවට එක්වන මෙම නදිය හිමාලය කඳු ආශ්‍රිතව ඇරඹෙන ගංගා පහක් හා එක්වේ. ඒවා නම් ෙ®ලම්, චෙනාබ්, රාවි, බියෙස් හා සත්ලෙජ් ය. මේ නදීන් සින්ධු නදිය හා එක්වන ප්‍රදේශය ජලමාර්ග පහ යන අරුතින් පංච්ආබ් හෙවත් පන්ජාබ් යන නම ලබා ඇත. (අතීතයේ මේ ප්‍රදේශයේ දී සින්ධු නදියට ගංගා හතක් එක් වූ නිසා සප්ත සින්ධු යන නමින් ද හඳුන්වා ඇත.) පසුව බලූකිස්ථානය හා ථාර් කාන්තාරය හරහා ගල්පර බහුල ප්‍රදේශය ඔස්සේ පැමිණ පාකිස්ථානයේ සින්ධ් ප්‍රදේශය මැදින් අරාබි මුහුද දක්වා ගලා යයි. ලොව ඉපැරණි හා දියුණු නාගරික ලක්ෂණ සහිත වූ ඉන්දුනිම්න ශිෂ්ටාචාරය බිහි වූයේ මේ ආශ්‍රිතව ය. මෙහි අතු ගංගාවක් වන රාවි නදිය අසබඩ හරප්පා සහ සින්ධු නදියේ පහළ කොටස ආසන්නයේ මොහෙන්ජො-දා- රෝව පිහිටා තිබී ඇත. ඉන්දියාවට එල්ල වූ බොහෝ විදේශ ආක්‍රමණිකයන්ගේ ගමන්මග මේ නදිය විසින් වෙනස් කළේ හෝ නතරකළේ වෙයි. නැතිනම් ආක්‍රමණිකයා තව තවත් මේ රටට ආකර්ෂණය කරන්නට මේ නදිය සමත් විය. මහා ඇලෙක්සැන්දර් අධිරාජයා ද මේ නදියේ බියස් නම් අතු ගඟ තරණය කරන්නට ගියේ නැත. මූගල් වරු මේ හරහා විත් ඉන්දියාව ආක්‍රමණය කළහ. ක්‍රි. පූ. 2500 තරම් කාලයේ සිට මේ නදියේ දෑල මුල් කරගනිිමින් බිහි වූ අද්විතීය ශිෂ්ටාචාරය පසු කාලීන ඉන්දියානු සභ්‍යත්වයට පමණක් නොව මුළු මහත් ලෝක ශිෂ්ටාචාරයට ම නාගරීකරණයේ මුල් පිටුව ඉගැන්වීය. ආර්යයෝ ද ඉන්දියාවට පිවිස මුලින් ම පදිංචි වූයේ මේ බිමේ ය.