අසුර

(ඉන්දියා/ආගම්) ඍග් වේදයේ මුල් කාලයේ අසුර නමින් දක්වා ඇත්තේ දෙවියන්ගේ සතුරන් හැඳින්වීමට වුවත් පසු කාලයේ දෙවියන් හැඳින්වීමට ද අසුර නම යොදා තිබේ. අසුර යනු දෙවියන්ගේ සතුරන් සේ සැලකමින් දෙවියන් හැඳින්වීමට උපනිශද් ග්‍රන්ථ වල සුර යන වදන යොදා තිබේ.  කෙසේ වෙතත් සුරයන් ද අසුරයන් ද ප්‍රජාපතීගේ දරුවන් සේ සැලකේ. නමුත් සුරයන් ප්‍රජාපතීගේ මුඛයෙනුත්, අසුරයන් ප්‍රශ්වාසයෙනුත් උපන්නේ යැයි දක්වමින් ශතපථ බ්‍රහ්මණයේ සුරයන්ට වඩා අසුරයන් තරමක් පහළට හෙළා ඇත.

මීට අමතරව ඉන්දු ආර්ය ජනායාගේ සතුරන් වූ දේශීය ඉන්දියානුවන් හැඳින්වීමට ද අසුර යන නම ශතපථ බ්‍රාහ්මණයේ යොදා තිබේ.

අසුර නම බෞද්ධ සාහිත්‍යයේ ද හමු වේ. දෙව් ලොව එක්ව විසූ සුරයන් හා අසුරයන් පසුව එකිනෙකාට විරුද්ධ වූයේ මඝ නම් මානවකයා සක්‍ දෙවියන්ව උපන් අවස්ථාවේ කළ දෙයක් නිසාවෙනි. අසුරයන් සමග සිය රාජ්‍යය බෙදාගැනීමට ඇති අකමැත්ත නිසා සක්‍රයා අසුරයන්ට සුරා පොවා මත් කර සිනෙරු පර්වතයෙන් හෙලූ බවත්, අසුරයන් වැටුණු තැන අසුර භවන වූ බවත්, ඔවුන්ගේ රජු අසුරේන්ද්‍ර වූ බවත් බෞද්ධ සාහිත්‍යයේ දැක්වේ. මේ සිදුවීම මුල්කරගෙන පසුව සුර-අසුර යුද්ධ ඇති විය.

අසුර නමින් ගෝත්‍රයක් වත්මන් ඉන්දියාවේ ද වසයි. ඔවුන් අනාර්ය ගෝත්‍රයක් සේ සැලකේ.