කොස්මස් ඉන්ඩිකොප්ලෙයුටස්

හයවන ශතවර්ෂයේ දී බයිසෙන්ටියම හෙවත් කොන්ස්තන්තිනෝපලයේ විසූ ග්‍රීක පූජකයෙකි. ලේඛකයෙකි. දේශ ගවේෂකයෙකි. නමුත් ඔහු මුල දී වෙළෙන්දෙකි’යි ඔක්ස්ෆර්ඩ් මූලාශ්‍රයේ සඳහන් වේ. (www. oxfordreference.com) ක්‍රිස්තියානි භූගෝල විද්‍යාව(The Christani Thopography) නමින් කෘතියක් කළ හේ ලංකාවේ හා මලබාරයේ ක්‍රිස්තියානි පල්ලි තිබූ බවත්, ඒවා පර්සියානු පූජකයින් විසින් පාලනය කළ බවත් සඳහන් කර තිබේ. කල්ලිආනයේ විසූ පර්සියානු බිෂොප් වරුන් දෙදෙනෙකු විසින් මේවා පාලනය කළ බව ද හේ සඳහන් කර තිබේ.  කල්ලියානය යනු කොචින් වියයුතු යැයි ඒ්. ඒල්. බෂාම් මහතා විශ්වාස කරයි. (අසිරිමත් ඉන්දියාව 435 පිට.1995 මුද්‍රණය.)ලංකාවේ විසූ නොස්ටෝරියන් පූජකයන් පිළිබඳ ඔහුගේ කෘතියේ සඳහන් වේ.(ලං.වි.ලං.ඉ.348පිට.) ඉන්දියානුවන් ලංකාව ‘සිලදිබ’ නමින් හැඳීන්වූ බවත් හේ සඳහන් කර තිබේ. ලංකාව සමුද්‍රමාර්ග සන්ධියක පිහිටි නිසාවෙන් ලංකාව ලොව බොහෝ තැන් වලින් භාණ්ඩ ලබාගෙන ඒවා ලොව පුරා බෙදිහැරියේ යැයි හේ වැඩිදුරටත් සඳහන් කරතිබේ. ලංකාවට ඉන්දියාවෙන්, පර්සියාවෙන්, ඉතියෝපියාවෙන් හා චීනයෙන් ද නැව් පැමිණියේ යැයි ඔහුගේ කෘතියේ සඳහන් වේ.