දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම් ගෙවල්, චෛත්‍යඝර, බෝධිඝර ආදී අංග සඳහා උසින් වැඩි ස්තම්භ භාවිත වේ. ටැම්පිට විහාර සඳහා යොදාගැනෙනුයේ උසින් අඩු කුලුනු ය. ස්මාරක වශයෙන් ද කුලුනු යොදාගැනේ. ට්‍රෝජන් කුලූණ එසේ ඉදිකළ ලෝකප්‍රකට ස්මාරක ස්තම්භයකි. කොළඹ- නුවර මහාමාර්ගය තැනීමෙහි මූලිකත්වය ගත් කපිතාන් ඩෝසන් නම් ඉංග්‍රීසි යුධ නිළධාරියා සිහිවීම පිණිස ඉදිකළ ඩෝසන් කුලුන ද එබන්දකි. මීට අමතරව රාජ නියෝගාදිය කොටවා තැබීම පිණිස ඉදිකළ කුලුනු ‘ටැම් ලිපි’ නමින් ද, බෞද්ධ විනයෙහි සංඝකර්ම කිරීම සඳහා වෙන් වූ සීමා මාලකය ලකුණු කිරීම සඳහා යොදාගත් කුඩා කුලුනු ‘සීමා කණු’ නමින් ද හැඳින්වේ.
මිසරය, මෙසපොතේමියාව, ඉන්දියාව, ග්‍රීසිය, පර්සියාව හා ශ්‍රී ලංකාව පුරාණ කාලයේ අතිශය කලාත්මක හා ප්‍රතාපවත්භාවයක් ඇති කරවන ආකාරයේ කුලුනු නිර්මාණයට ප්‍රසිද්ධියක් උසුලා ඇත. දැව, දැවමිටි, ගඩොල්, ගල්, ලෝහ ආදිය යොදාගෙන මේ රටවල නිර්මාණය වූ කුලුනු විවිධ කලා සම්ප්‍රදායන් ඔස්සේ විකාශනය වී ඇත. මෙම විකාශනයේ අවස්ථා පහත පරිදි දැක්විය හැකිය.
01) රුක් කඳන්, බටපතුරු මිටි යොදාගෙන කුලුනු නිර්මාණය කළ යුගය.
02) රුක් කඳන් හා බටපතුරු මිටි යොදාගෙන නිර්මාණය කළ කුලුනු වල හැඩතල අනුකරණය කරමින් ශිලාමය ස්තම්භ නිර්මාණය කළ යුගය.
03) වටකුරු හැඩයෙන් මිදී බහුඅස්‍රාකාර කුලුනු නිර්මාණය කළ යුගය.
04) එකම කුලුනේ කොටස් විවිධ හැඩ වලින් යුතුව නිර්මාණය කර තිබීම.
05) කුලුනු පාදය, කුලුනු කඳ, කුලුනු හිස යන අංග කුලුනකට අත්‍යවශ්‍ය අංග ලෙස සම්මත වූ යුගය.
මෙසපොතේමියානු කුලුනු- බටපතුරු මිටි වශයෙන් ගෙන පිටතින් මැටි ගසා කුලුනු නිර්මාණය කළ මෙසපොතේමියානුවන් ක්‍රි. පූ.3000 පමණ වනවිට එම කුලුනු වලට දිස්නය සහිත ගඩොලූ ආවරණයක් යොදන ලදී. ඇතැම් තැනෙක ගඩොල් වෙනුවට මුතුබෙලි කටු, රෝස හුනුගල් පතුරු, සිප්පි කටු ආදිය අල්ලා ඇත. ඒ ඇසුරින් මොසෙයික් (Mosaic) රටා මතුකර ඇත. කුලුනු බඳේ මේවා ඇලවීම පිණිස කීල් හෙවත් තාර වැනි වර්ගයක් (බිට්‍යුමන්) යොදාගෙන ඇත. (කීල් යන්නෙහි අරුත් ගණනකි තාර, ගල්තාර, දුම්මල, බිමි දුම්මල, දුම්මල හා කොහොල්ලෑ යොදාගෙන සකසාගත් මැලියම් විශේෂය යනාදී වශයෙනි ) කුලුනු ජලයෙන් ආරක්ෂා කර ගැනීමට මෙම ආවරණය ප්‍රයෝජනවත් ය. මේ ක්‍රමයට සකස් කළ කුලුනු ලගාෂ්හි බොර්සාද් හා නිම්රූඩ් යන ස්ථානයන්ගෙන් හමු වී ඇත. මෙසපොතේමියන්වරු ක්‍රි. පූ. තෙවන සහස්‍රකයේදී තල් කඳන් ද කුලුනු ලෙස යොදාගෙන ඇත.
මිසර කුලුනු- චාම් භාවයෙන් යුතු සහ සම සතරැස් කුලුනු, මිසර ශිෂ්ටාචාරයේ වැසියෝ නිර්මාණය කරන්නේ ක්‍රි. පූ. 3000 දී පමණය. සම සතරැස් පාදයක් සහිතව හෝ රහිතව බොහෝ විට තනි කළුගලෙන් ද විටෙක කොටස් ලෙස ද නිර්මාණය කළ මේවා පසුකාලීනව පරිණාමය විය. ඊට අනුව මෙම කුලුනු මුල සිට අග දක්වා සිහින් වෙමින් යන අයුරින් නිර්මාණය කරන ලදී. එසේ නිර්මාණය කළ කුලුනු වලට ශීර්ෂ නොවූ අතර මුල් කාලයේ තිබූ සම සතරැස් හැඩයේ වෙනසක් ද නොවුනි. එහෙත් කල් යත්ම මෙම සම සතරැස් හැඩය බහුඅස්‍රාකාර හැඩයක් දක්වා වෙනස් වූ අතර ඒවායේ පැති හා ප්‍රධාන මුහුණත් වල කැටයම්, සිතුවම් හා ඔවුන් භාවිත කළ චිත්‍රාක්ෂර වලින් යුතු ලිපි යොදා අලංකාර කරන ලදී. මිසර කුලුනු ප්‍රධාන ප්‍රභේද හතරක් හඳුනාගත හැකි ය.
01) පැපයිරස් කුලුනු
02) නෙළුම් කුලුනු
03) ඝණ්ඨකාර කුලුනු
04) තාලවෘක්ෂාකාර කුලුනු
පැපිරස් දඬු මිටියක හැඩයෙන් හා පැපිරස් මල් හා පොහොට්ටු ආකාරයේ ශීර්ෂයක් ද සහිත වූ පැපයිරස් කුලුනු මේ අතරින් වඩාත් පැරණි විය. පොහොට්ටු සහිත නෙළුම් දඬු මිටියක හැඩය ගත් නෙළුම් කුලුනු වටකුරු පාදමක් මත නැගී සිටි සේ විය. ඝණ්ඨාකාර කුලුන උඩුකුරු කළ ඝණ්ඨාවක හැඩයෙන් යුතු විය.
තාලවෘක්ෂාකාර කුලුනු තල්පත් මිටියක හැඩයෙන් යුතු ය.
ග්‍රීක කුලුනු- ඩොරික (DORIC), අයොනික් (IONIC ) හා කොරින්තියන් ( CORINTHIAN ) කුලුනු ග්‍රීක ශිල්පීන්ගේ ම නිර්මාණයෝ ය. කොරිත්තියානු කුලුනු හිස වඩාත් විසිතුරු ය. පාදම අලංකාර. ඩොරික් සම්ප්‍රදායේ කුලුනු සුවිසල් ය. බඳ මහත් ය. කුලුනු හිස වාස්තු විද්‍යාත්මක සරල හැඩතල සහිතය. පාදම කෙරේ විශේෂත්වයක් දක්වා නැත. ඇතැම් ඒවායේ පාදමක් නොමැත. අයොනික් සම්ප්‍රදායේ කුලුනු ක්‍රමය යුරෝපයේත් වත්මන් ආසියාකරයේත් වඩාත් ප්‍රචලිතව ගිය කුලුනු ක්‍රමයකි. එහි ඇත්තේ විද්‍යාව ත් තාක්ෂණයත් එක්ව ගොඩනැගූ සුන්දරත්වයකි. පාදම මනහරය. ඩොරික් හා අයොනික් කුලුනු වල ප්‍රභේද ලෙස රෝමයේ බිහි වූ ටස්කන් හා කොම්පොසිට් කුලුනු ද සමග ගත් කල ඉහත කී කුලුනු පස් වර්ගය සම්භාව්‍ය වාස්තු විද්‍යාවේ හමුවන ප්‍රධාන කුලුනු වර්ග පහකි. ග්‍රීක රෝම ශිෂ්ටාචාර වල නාරි රූපාකාර ස්තම්භ ද ප්‍රචලිතව තිබුණි. නටබුන් වූ එබඳු කුලුනු රැසක් අදටත් දක්නට ලැබේ.
පර්සියානු කුලුනු- පර්සියාවේ ඇකිමේනියානු යුගයේ (ක්‍රි. පූ. 550-331) පටන් ම වාස්තුවිද්‍යාවෙහි කුලුනු වලට හිමිවූයේ ප්‍රමුඛතම තැනකි. ඒ යුගයේ දාරුමය කුලුනු සෙල්මුවා පාදමක් මත සිටිමින් පර්සියානු අභිමානවත් ගොඩනැගිලි පියසි දරා සිටියේ ය. දැව කුලුනු බදාම තට්ටුවකින් ආවරණය කර සායම් ආලේප කර තිබී ඇත. විනාශව ගොස් ඇති නිසා ශීර්ෂය කෙබඳු දැ’යි සිතාගැනීම දුෂ්කරය.
ඉන්දියානු කුලුනු- ප්‍රධාන කොටස් 2ක් යටතේ උගතහැකිය. උතුරු ඉන්දියානු සම්ප්‍රදාය- (කාර්ලේ, භාජා, බෙඞ්සා, නාසික් යන ස්ථාන වල) දකුණු ඉන්දියානු සම්ප්‍රදාය- (අජන්තා, එල්ලෝරා, බාම්නාර්, ඛෝල්ව්, නාසික්, කන්හේරි, භාග්, ඖරංගබාද්, බදාමි, අයිහෝලේ යන ස්ථාන වල)
උතුරු ඉන්දීය සම්ප්‍රදාය- ග්‍රීක, රෝම, ඇසිරියන්, පර්සියන් ආභාසය සහිත කුලුනු නිර්මාණය වී ඇත . ඉන්දියාව භූගෝලීය වශයෙන් ආසියා මහද්වීපයේ සෙසු රටවල් සමඟ සම්බන්ධ වී තිබීම නිසා මෙසේ විදේශ සම්ප්‍රදායන් මෙරටට බලපා ඇත යන්න ඉතිහාසඥයින්ගේ මතය වී ඇත . අශෝක සමයේ කුලුනු වල ඇසිරියානු පර්සියානු ආභාසය දක්නට ලැබේ . ග්‍රීක-රෝම ආභාසය සහිත කුලුනු ගන්ධාර හා කාශ්මීර ප්‍රදේශ වල දැකිය හැක.
උත්තර ඉන්දියානු සම්ප්‍රදායේ කුලුනු වල පාදමේ සිට කුලුනු කඳේ මධ්‍යය දක්වා කොටස සම සතරැස්ය . එම කොටසෙහි කැටයම් ද නොමැත . කණුවේ උඩු කොටස අල්පෝන්නත කැටයමින් අලංකාර කර ඇති අතර බුබ්බුලාකාර හෝ කලසාකාර කුලුනු ශීර්ෂයෙන් එම කොටස නිමා වෙයි . බුබ්බුලාකාර ශීර්ෂය ඇති අවස්ථාවල ඊට ආසන්න බඳ වටා පීත්ත පටියක් බඳු සැරසිල්ලක් හා වටේට බේරුණු දාර ද යොදා ඇත. කලසාකාර ශීර්ෂය යොදත් දී එම කලසින් නික්මී එන පත්‍ර, කලසේ මුවවිටට නැමී පහත්වන අයුරින් දක්වා ඇත. අශෝක සමයේ බෞද්ධ හා ජෛනාගමික කුලුනු වල බඳ සිවුරැස් හා අටැස් කොටස් ලෙස මාරුවෙන් මාරුවට යොදා ඇත . (ලංකාවේ මහනුවර යුගයේ ද එබඳු කුලුනු හමු වේ.) මේවායේ සිවුරැස් කොටස නෙළුම්මල් ආකෘති වලින් සරසා ඇත . එබඳු කුලුනු බුද්ධගයා, භාරුත් හා උදයගිරි ලෙනෙහි ෙදාරටුවේ ද දැකිය හැක.
උත්තර භාරතීය කුලුනු සම්ප්‍රදායන් යටතේ අශෝක කුලුනු වලට විශේෂ ස්ථානයක් හිමිවෙයි . අශෝක කුලුනු හේතු ගණනාවක් නිසා ප්‍රකට භාවයට පත්ව ඇත .
අශෝක කුලුනු- අශෝක රාජ සමයේ කුලුනු වලට ඇසිරියානු හා පර්සියානු ආභාසය බෙහෙවින් ම ලැබී ඇති වග මීට ඉහත ද දැක්වීමු . පාහියන් හා හියුං සියෑං යන දේශාටකයින් ද අශෝකස්තම්භ පිළිබඳව සඳහන් කර ඇත . (කියවන්න:- පාහියන්ගේ දේශාටන වාර්තාව- මහාචාර්ය විමල් ජී බලගල්ල, හියුංසියෑංගේ භ‍්‍රමණ වෘත්තාන්තය) බසාර්-බඛිර(වෛශාලිය) රාම්පූර්වා(ස්තම්භ 2යි) ලෞරියා-අරරාජ්, ලෞරියා-නන්දනගර්, සාංකාශ්‍ය, සාඤ්චි, සාරානාත්, දිල්ලි, ටෝප්‍රා, මීරට්, අලහබාද්, රුම්මින්දෙයි(ලූම්බිණි), නිග්ලීවා(නිගාලිසාගර්) යනාදී ස්ථාන වලින් ඓතිහාසික වශයෙන් හා කලාත්මක වශයෙන් වැදගත් වන ස්තම්භ හමු වී ඇත . එම ස්තම්භ අතරින් දහයක ම ශිලාලේඛන ද ඇතුළත් ය . ධර්මය මෙන්ම අමාත්‍යවරුන් උදෙසා කළ නිවේදන ද මෙසේ ශිලාලේඛනගත කොට ඇත. රජුගේ ධර්මයාත‍්‍රාවන්හි සිහිවටන ස්තම්භ ද මේ අතර වෙයි . ගෞතම බෝසතුන්ගේ උප්පත්ති ස්ථානය වන රුමින්දෙයි (ලූම්බිණිය) හි පිහිටුවා ඇති ස්තම්භයේ ශිලාලේඛනයෙන් කියැවෙන්නේ අශෝක රජු එම ස්ථානයට පැමිණි වගත් අවට ගම්මාන වාසීන්ට බදු සහනයත් ලබාදුන් වගත්ය.
(දෙවානපියෙන පියදසින ලාජින වීසතිවාසාභිසිතෙන අතන ආගාව මහීයිතෙ හිද බුධෙ ජාතෙ සක්‍යමුනී ති . සිලාවිගඩහී වා කාලාජිත සිලාථහෙ ච උපපාජිතෙ හිද භගවං ජාතෙ ති . ලූංමිනිගාමෙ උබලිකෙ කටෙ අඨභාගියෙ ච
සිංහල අනුවාදය -අභිශේක කළ විසිවස් ඇත්තා වූ, දෙවියන්ට ප්‍රිය වූ පියදර්ශී රජු විසින්, මෙහි ශාක්‍යමුනි වූ භාග්‍යවතුන් වහන්සේ උපන්සේකැ’යි ගලින් කළ බිත්තියක් කරවන ලදී . ගල් කණුවක් ද සිටුවන ලදී . ලූම්බිණි ග්‍රාමය අයබද්දෙන් නිදහස් කරන ලදී . රජුට හිමි අටෙන් කොටස ද භුක්ති විඳින්නක් කරන ලදී . එනම් රජුට ගෙවිය යුතු අයබදු කොටස ද භුක්ති විඳීමට ජනතාවට අවස්ථාව සලසා දෙනලදී .) නිග්ලීවා හෙවත් නිර්ග‍්‍රීව (නිගාලි සාගර්) ලිපියෙන් කෝනාගම බුදුන්වහන්සේගේ (කනකමුනි) පිරිණිවන් ස්තූපය පිහිටි ස්ථානය දක්වා ඇත . ( දෙවානපියෙන පියදසින ලාජින වො දසවසාභිසිතෙන බුධස කොනාකමනස ථුකෙ දුතියං වඩිතෙ සාහිසිතෙන ච අත ආගාඛ මහීයිතෙ(සිලාතහෙ ච උස) පාපිතෙ . සිංහල අනුවාදය -අභිෂේක කළ තුදුස් වස් ඇති දෙවියන්ට ප්‍රිය වූ ප්‍රියදර්ශී රජු විසින් කෝණාගම බුදුන්ගේ ස්තූපය දෙවන වර විශාල කරන ලදී. අභිෂේක කළ විසිවස් ඇත්තා වූ මා විසින් තමාම පැමිණ පූජා කරන ලදී . ගල් ටැඹක් ද පිහිටුවන ලදී .) කපිලවස්තුපුරය අසල පිහිටි ස්තම්භයකැ’යි හියුං සියෑං විසින් හඳුන්වාදෙන්නේ මෙම ස්තම්භය විය යුතු යැයි සිංහල විශ්වකෝෂය සඳහන් කරයි.
අශෝක ශිලාස්තම්භ බොහොමයක් පිහිටුවා ඇත්තේ බෞද්ධ ඓතිහාසික සිද්ධීන්ට සම්බන්ධ ස්ථානවලය. අලහබාද්හි පිහිටුවා ඇති ස්තම්භය ද අතිශය වැදගත් එකකි. එහි අශෝක රජුගේ ලිපියක් ද සමුද්‍රගුප්ත රජුගේ (ක්‍රි. ව. 380-400) ලිපියක් ද ජහාන්ජීර් නම් මෝගල් රජුගේ (ක්‍රි. ව. 1569-1627) ලිපියක් ද ඈ වශයෙන් ශිලාලේඛන 3ක් සඳහන් වේ. සංඝභේදය වැලැක්වීම අශෝක රජුගේ ලිපියේ අරමුණයි. සමුද්‍රගුප්ත රජු සිය දිග්විජය විස්තර කරයි. ජහාන්ජීර් රජු සිය රාජ්‍යාභිෂේකය සිහිපත් කිරීමට ලිපිය කොටවා ඇත. අශෝක රජු විසින් කෙටවූ ලිපිය කෙටිය. (දෙවියන්ට ප්‍රියතෙමේ අණකරයි. කෝසම්බි නුවර මහ ඇමතියෝ… සමගි කරන ලදී. සංඝයා අතරට භාර නොගතයුතු යි… භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක් සංඝයා බිඳී නම් හෙද සුදු වස්ත්‍ර හඳවා ආවාසයෙන් පිටත වැසවිය යුතුය.) මෙබඳු අක්‍ෂර සහිත ටැම් කිහිපයක් ම වෙයි. මේවා කලාත්මක හා ඓතිහාසික අගයකින් යුතුය. අක්‍ෂර පරිණාමය පිළිබඳ විමසීමේ දී ද අතිශය වැදගත් ය.
අශෝක කුලුනු ශීර්ෂ- අශෝක ස්තම්භ බොහොමයක ශීර්ෂ, කඳෙන් වෙන්වගොස් ඇතත් එ්වායේ ප්‍රකෘති තත්ත්වය අවබෝධකොට ගැනුම අපහසු නැත. රාම්පූර්වා, සංකාශ්‍ය(සංකස්ස) සාරානාත්, සාඤ්චි ආදී කුලුනු ශීර්ෂ මෙලෙස වෙන්ව ගොස් ඇත. බසාර්බඛිර හෙවත් වෛශාලියේත්, ලෞරියා-නන්දන්ගර් හිත් ස්තම්භ විනාශයෙන් තාවකාලිකව ගැලවී අදටත් සෘජුකායෙන් හිඳී. උක්කුටව හිඳිනා සිංහරාජයෙකු දරාගෙන රාම්පූර්වා හි එක් ස්තම්භයක් ද බසාර්බඛිර, ලෞරියා-නන්දන්ගර් ස්තම්භයන් ද ප්‍රතාපවත් ව නැගී සිටී. සංකාශ්‍ය ස්තම්භය මත්තේ ශෛලමය හස්ති රුවකි. වෘෂභ රුව දරා සිටින්නේ රාම්පූර්වා හි අනෙක් ස්තම්භයයි. සිංහයන් සතරදෙනෙකු විසින් ඔසවාගෙන සිටින ධම–චක්‍රයක් සහිතව නිර්මාණය කළේ යැයි කියැවෙන සාංචි හා සාරානාත් ස්තම්භ ශීර්ෂයන්හි අද ශේෂව ඇත්තේ චතුර්දිශාභිමුඛව සිටිනා සිංහ රූප හතර පමණකි. රුමින්දෙහි හෙවත් ලූම්බිණියේ කුලුනු හිසෙහි අශ්ව රුවක් තිබිණැයි කියතත් අදට ඉතිරිව නැත.
දැනට දිල්ලි නගරයේ තෙමහල් මන්දිරයක් මත්තෙහි ස්ථාපනය කොට ඇති දිල්ලි ට්‍රෝපා ස්තම්භය ෆීරූස් ෂා ටුග්ලක් සුල්තාන්වරයා විසින් 1356 දී කම්කරුවන් දහස් ගණනක් යොදවා එතනට ගෙනඑන්නට පෙර තිබුයේ අම්බාල දිස්ත්‍රික්කයේ ට්‍රෝපා නගරයේය. ටොන් පනහක් තරම් බරකින් හා අඩි 30කට වැඩි උසකින් යුතු මෙම ටැඹ මෙලෙස නව ස්ථානයකට රැගෙන ආ අපූරුව තාරීඛ්-ඉ-ෆිරුස්-ෂාහී, සිරත්-ඉ-ෆිරූස්- ෂාහී යන ග්‍රන්ථයන්හි විස්තර වන්නේ යැයි සිංහල විශ්වකෝෂය කියා සිටියි. විශ්වකෝෂයට ම අනුව ෆිරූස් ෂා මෙසේ ශෛලස්තම්භ විවිධ ස්ථානවලට රැගෙන යාමෙහි ප්‍රසිද්ධියක් ඉසිලූ අයෙකි. යුක්ත ප්‍රාන්තයේ මීරට්හි තිබූ අශෝක ස්තම්භය ෂා විසින් නවදිල්ලියට වයඹින් පිහිටි කඳුගැටයක් මත්තෙහි පිහිටුවනු ලැබීය. කොටා ඇති ශිලාලේඛනයට අනුව මුලදී කොසඹෑ නගරයේ තිබිණැ’යි සැලකිය හැකි අලහබාද් ස්තම්භය ද අලහබාද් නගරයට රැගෙනවිත් ඇත්තේ ෂා විසින් වියයුතුය.
අශෝකස්තම්භ නිර්මාණ ලක්‍ෂණ හා තාක්‍ෂණය – බෞද්ධාගමික වශයෙන් වැදගත් ස්ථාන රාශියක් හඳුනාගැනීමෙහි ලා පුරාවිද්‍යාඥයින්ට සහාය දුන් අශෝකස්තම්භ, හින්දු ඉන්දියාවේ ආගමික සීමා පවුරු බිඳලා රාජ්‍ය ලාංඡුනයට, ජාතික ධජයට පවා ඇතුළත්ව ඇත. මෙම ස්තම්භ නිර්මාණය කිරීමෙහි ලා එකල සිය ගණන් කම්කරු හා කලාශිල්පීන්ගේ සහය ලබා ගන්නට ඇතැයි සැලකිය හැක. අශෝකස්තම්භ අතරෙහි ද නොදියුණු මුල් යුගයේ එ්වා හා මෞර්ය කලාවේ කූටප්‍රාප්ති අවස්ථාව සනිටුහන් කරන එ්වා ද වශයෙන් දෙයාකාරයකට හඳුනාගත හැකිය.
මෙම ස්තම්භ නිර්මාණයට මූලික වශයෙන් යොදාගෙන ඇත්තේ දුඹුරුවන් වැලිගල් ය. ස්තම්භ බඳ සහ ස්තම්භ හිස යනුවෙන් සෑම කුලූණක ම ප්‍රධාන කොටස් දෙකක් වන අතර සෑම කුලූණක ම මෙම දෙකොටස වෙන වෙන ම සකස් කර පසුව සම්බන්ධ කර ඇත. එසේම කුලුනු වල පාදමක් නැත. කුලුනු බඳ පහළ සිට ඉහළට යනවිට ක්‍රමයෙන් සිහින්වන ආකාරයට නිමවා ඇති අතර එය ඉතා පැහැපත් ලෙස ඔපනගා තිබේ. කුලුනු හිස සත්ත්වරූප වලින් සමන්විතය. එහි ද කොටස් තුනක් ප්‍රධාන වශයෙන් හඳුනාගත හැක්කේ එම කොටස් තුන වෙන් වෙන් ව පැහැදිලිව පෙනෙන ලෙස බොරදම් මෝස්තර යොදා ඇති හෙයිනි. ඝණ්ඨාකාර කොටස, ශීර්ෂතලය හා සත්ත්වරූප සහිත කොටස යනුවෙන් එම කොටස් නම්කළ හැක.
ඝණ්ඨාකාර කොටස- ඝණ්ඨාවක හැඩයට එහෙත් දීර්ඝ පලාපෙත්තක හැඩයේ රටාවකින් සරහා සකස් කළ කොටසයි. කුලූණ හා කුලුනු හිස අතර සන්ධිය පැහැදිලිවම දැක්වීමට සමත් මෙම කොටස කුලූණ මත කුලුනු හිස තැබීමේ දී එහි සමබර භාවය රැක දීමට ද උපකාරී වන්නට ඇත.
ශීර්ෂතලය -ඇතැමෙක චතුරස‍්‍රාකාරය. ඇතැමෙක වෘත්තාකාරය. අශෝක රජුගේ සමයට සුවිශේෂ වූ ධර්මචක්‍ර සතරකින් ඇත්, අස්, ගව, සිංහ යන සත්ත්ව රූ සතරකින් යුතුව සකසා ඇත. සත්ත්වයෝ සතරදෙන දක්‍ෂිණාවෘතව යුහුසුලූව ගමන්කරති. ලංකාවේ සඳකඩ පහණේ මෙනි. සත්ත්වරූප සහිත කොටසට පාදම වශයෙන් යොදාගෙන ඇත්තේ ද මෙම කොටසයි.
සත්ත්වරූප- සිංහ, වෘෂභ, ඇත්, අශ්ව යන සත්ත්වරූප යොදාගෙන ඇත. තනි සිංහ රුවක් සිංහ රූ සතරක් හෝ තනි වශයෙන් යෙදූ ඇත් අශ්ව හෝ වෘෂභ රූප වශයෙන් මේවා සකසා ඇත.
මුල්යුගයේ කුලුනු- බසාර්බඛිර ටැඹ එබන්දකි. කුලුනු බඳ හා ශීර්ෂය ප්‍රමාණ අනුව ගළපා නොමැත. කැටයමින් තොර චතුරස‍්‍රාකාර ශීර්ෂතලය මත්තෙහි ඇත්තේ අවලක්‍ෂණ සිංහ රූපයකි.
මැදි යුගයේ කුලුනු -සාංකශ්‍ය හා රාම්පූර්වා ආදී කුලුනු මේ යුගයට අයත් ය. සාංකශ්‍ය කුලූණෙහි මත්තේ හස්ති රුවකි. නිර්මාණ හැඩතල අතින් මුල් යුගයට වඩා උසස්ය. රාම්පූර්වා කුලූණ මත්තේ සිංහ රුවකි. එය බසාර්බඛිර සිංහ රුවට වඩා ශෝභනය.
කූටප්‍රාප්ති යුගය -ලෞරියා නන්දන්ගර් හා සාරානාත් ස්තම්භ ශීර්ෂය අතිශය උසස් නිර්මාණයෝ ය. මේවායේ ඇති සිංහ රූප අතිශය කලාත්මක ය. ස්වභාවිකත්වයෙන් තරමක් මිදී ශෝභන ඉරියව්වකින් සිටිනා මේ සිංහයා මෝරිය කලාවේ උච්චස්ථානය ස්පර්ෂ කරයි.
කලාත්මක ලක්‍ෂණ -අශෝකස්තම්භයන්හි කලා ලක්‍ෂණ විමසිය හැකි වන්නේ කුලුනු ශීර්ෂ සම්බන්ධයෙනි. ඉහත දැක්වූ ලෙසින් ප්‍රධාන කොටස් තුනකින් යුතු මේවා නිර්මාණයේ දී ශිල්පියා කලාව පිළිබඳවත් තාක්‍ෂණය පිළිබඳවත් සිත් යොමා ඇතිසැටියකි. සත්ත්ව රූප තුළින් පිළිබිඹු වන්නේ තිරශ්චීන භාවයක් නොවේ. කෲර හෝ රුදුරු බවක් ද නොව්. ගම්භීරත්වය මුහු ශෛලීගත කලාත්මක ස්වභාවයකි. රාම්පූර්වා කුලූණේ වෘෂභ මූර්තිය ස්වභාවික නිරූපණයකි. ධෞලී හස්ත රුවත් ලෞරියා-නන්දන්ගර් හා සාරානාත් සිංහ රූප ත් විශේෂයෙන් ම අධ්‍යයනය කළ යුතුය. උත්කුටික ඉරියව්ව, පරිමාණ නිරූපණය, හැඩතල ආදිය වෙන වෙන ම විමසූ කල උසස් කලාත්මක නිර්මාණ සේ සැලකිය හැක. අශෝක ශිලාස්තම්භ බොහොමයක් පිහිටුවා ඇත්තේ බෞද්ධ ඓතිහාසික සිද්ධීන්ට සම්බන්ධ ස්ථානවලය. අලහබාද්හි පිහිටුවා ඇති ස්තම්භය ද අතිශය වැදගත් එකකි. එහි අශෝක රජුගේ ලිපියක් ද සමුද්‍රගුප්ත රජුගේ (ක්‍රි.ව. 380-400) ලිපියක් ද ජහාන්ජීර් නම් මෝගල් රජුගේ (ක්‍රි.ව.1569-1627) ලිපියක් ද ඈ වශයෙන් ශිලාලේඛන 3ක් සඳහන් වේ. සංඝභේදය වැලැක්වීම අශෝක රජුගේ ලිපියේ අරමුණයි. සමුද්‍රගුප්ත රජු සිය දිග්විජය විස්තර කරයි. ජහාන්ජීර් රජු සිය රාජ්‍යාභිෂේකය සිහිපත් කිරීමට ලිපිය කොටවා ඇත. අශෝක රජු විසින් කෙටවූ ලිපිය කෙටිය. (දෙවියන්ට ප්‍රියතෙමේ අණකරයි. කෝසම්බි නුවර මහ ඇමතියෝ… සමගි කරන ලදී. සංඝයා අතරට භාර නොගතයුතු යි… භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක් සංඝයා බිඳී නම් හෙද සුදු වස්ත්‍ර හඳවා ආවාසයෙන් පිටත වැසවිය යුතුය.) මෙබඳු අක්‍ෂර සහිත ටැම් කිහිපයක් ම වෙයි. මේවා කලාත්මක හා ඓතිහාසික අගයකින් යුතුය. අක්‍ෂර පරිණාමය පිළිබඳ විමසීමේ දී ද අතිශය වැදගත් ය.
අශෝක කුලුනු හිසෙහි ඇති දහම්සක සුවිශේෂය. එය වත්මන් ඉන්දීය ජාතික ධජය ද සරසයි. පනේල අටකට සීමා නොවී පනේල 24ක් යොදා ඇත. අරුත කුමක් වුව ද සැරසිල්ලක් වශයෙන් සැලකුව ද උසස් නිර්මාණයකි.
බොරදම් භාවිතය අතින් ද බොරදම් යොදා අලංකාර කළ සමස්ත කෘතියේ (ශීර්ෂයේ) නිර්මාණ හැඩතලය අතින් ද උසස් ගණයේ ලා සැලකිය හැකිය.
පොදු කරුණු- අශෝකස්තම්භ නිර්මාණය වී ඇත්තේ ගොඩනැගිල්ලක කොටසක් වශයෙන් නොවේ. ස්මාරක වශයෙනි. පර්සියානු ක්‍රමයෙන් (ආකිමේනියානු ක්‍රමයෙන්) මේවා වෙනස්වන ප්‍රධාන තැන එතනය. ඊට අමතරව අශෝක ටැම් කිසිවක අඩිතාලම, බඳෙහි දාර බේරුම, බඳෙහි කැටයම් ආදියෙන් තොරය. පර්සියානු කුලුනු වල එම අංග ඇතුළත් ය. එහෙත් අශෝක කුලුනු වල කුලුනු හිසටත්, මල්රටා බොරදම් ආදියට ත් සමස්ත නිර්මාණයේ ඔපයටත් පර්සියානු ආභාසය ලැබී ඇති වගක් පෙනෙයි.
දකුණු ඉන්දීය කුලුනු ක්‍රි.ව. 600-850 කාලයේ පල්ලවයින් යටතේත් ක්‍රි.ව. 850-1100 කාලයේ චෝලයින් යටතේත්, ක්‍රි.ව. 1100-1350 කාලයේ පාණ්ඩ්‍යයින් යටතේත්, ක්‍රි.ව. 1350-1600 කාලයේ විජයනගරය යටතේත්, ක්‍රි.ව. 1600 කාලයේ මදුරාව යටතේත් විකාසයට පත් වූ කුලුනු මෙ නමින් හැඳින්වෙ යි . මෙම කුලුනු සම්ප්‍රදාය කලා හා ඉතිහාස විචාරකයෝ හඳුනාගන්නේ ද්‍රවිඩ සම්ප්‍රදාය නමිනි. ද්‍රවිඩ සම්ප්‍රදායේ ද කොටස් දෙකක් ජුවෝ ද්‍යු බ්‍රෝයි විසින් දක්වා ඇත. එ්, එ්වායේ හැඩතල අනුව ය.
01 .කුම්භාකාර හිස ඇති කුලුනු
02 .ඝනාකාර හිස ඇති කුලුනු
කුම්භාකාර හිස ඇති කුලුනු ද්‍රවිඩ සම්ප්‍රදායට ආවේණික ය. කුලුනු කඳ සිවුරැස් ය. ඇතැම් විට අටැස්ය. පද්මබන්ධ බොරදම, කලසම් තඩ් බොරදම(මෙය පේකඩක් බඳු අංගයකි.) කුම්භය හෙවත් කලස, යටිකුරු පියුම(ඉදජ්), ඵලකය හා ඝනාකාර චුම්භටකය යනාදී අංගයන්ගෙන් සමන්විතය. මේ වර්ගයේ කුලුනු බොහෝ විට බිත්ති බැම්මට වද්දවා සකස්කෙරෙයි. ප්‍රමාණයෙන් අන් කුලුනු වලට වඩා කුඩාය. වටකුරු හැඩයෙන් යුතු එ්වා ඇතත් සිවුරැස් හෝ අටැස් එ්වා තරම් බහුල නැත. කුලුනු පාදය හා බඳ සම්බන්ධ වන තැන නාගපදම් නම් කැටයමකින් සරසා ඇත. කුම්භාකාර කුලුනු සඳහා පදනම වැටෙන්නට ඇත්තේ කණිෂ්ක යුගයේ කුලුනු වල සිදු වූ වෙනසක් වියයුතු යැයි පුරා විද්‍යාඥයෝ හා ඉතිහාසඥයෝ විශ්වාස කරති.
ඝනාකාර හිස සහිත කුලුනු වල බොහෝමයක් අංග සිවුරැස් හෝ ත්‍රිපාර්ශවීය ය. මේ කුලුනු වලට අමතරව ඉන්දියාවේ දී දැකිය හැකි තවත් කුලුනු වර්ග කිහිපයකි.
ව්‍යාල රූප හෙවත් සිංහාදී හිංසක සත්ත්ව රූප සහිත කුලුනු. (මාමල්ලපුරම් දේවාලයන්හි ඇත)
කලප් වශයෙන් (පොකුරක්/ රැසක්/ මිටියක් වශයෙන්) නිර්මාණය කළ කුලුනු.
කුලුනු දෙකක් හෝ තුනක් එකිනෙකට බද්ධව සිටින සේ තනි ගලෙන් නෙලූ අතිවෘත්තිකාල් කුලුනු.
විචිත්‍ර කැටයම් හා මූර්ති වලින් අලංකාර කළ කුලුනු .(තිරුචීර පල්ලිය ආසන්න ශ‍්‍රී රංගම් විෂ්ණු දේවාලයේ)
ඉන්දීය කුලුනු නිර්මාණය කෙරේ පූර්වාදර්ශක සැපයූයේ ද දාරුමය කුලුනු ය. මේ නිසා ශිලා ස්තම්භ වල ද වූයේ දාරුමය කුලුනු වල හැඩතලම ය. මානසාර නම් කෘතිය ඉනිදියාවේ පැරණි කුලුනු පිළිබඳ විස්තර ඇතුළත් වෙයි.
ලංකාවේ කුලුනු – ලංකාවේ කුලුනු පිළිබඳ අධ්‍යයනයේ දී අනුකොටස් 3ක් යටතේ අධ්‍යයනය කළහැක.
- ආදි කාලීන
- මධ්‍ය කාලීන
- පශ්චාත් කාලීන වශයෙනි.
මේ අතරින් මුල් යුග දෙකට අයත් කුලුනු එම කාලයට අයත් ප්‍රාසාද, වටදාගෙවල් ආදියේ දක්නට ඇත. සතරැස් හා අටැස් කුලුනු ද ඇතැම් තැනෙක මේ දෙයාකාරයම මුහු වූ කුලුනු ද දක්නට තිබේ. බිත්ති වලට මැදිකොට තැබෙනා කුලුනු සැමවිට ම සතරැස්ය. ඒවා ඔපමට්ටම් කර නැත්තේ කපරාරුවට වැසීයන නිසා වියයුතුය. එසේ නොවන කුලුනු මට්ටම් කර බඳෙහි පනේල බෙදා සැරසිලි මෝස්තර යොදා ඇත. ජේ. සී. ස්මිදර් මහතා කියන්නේ එබඳු කුලුනු 4ක් රුවන්වැලිසෑයේ සූර්ය දේවාලය නම් ගොඩනැගිල්ලක නටබුන් අතර තිබුණු බවයි. පොළොන්නරු අටදාගෙයි ද එබඳු කුලුනු වෙයි. ඇතැම් කුලුනු වල බඳ කල්පලතාවෙන් අලංකාරකොට ඇත. එයින් පිරිපුන් බවත් අනුපමේය බවත් සංකේතවත් කෙරෙන්නේ යැයි පරණවිතාන මහතා කියයි. කුලුනු බොහොමයක කුලුනු ශීර්ෂය වැද්දවීමට අවැසි තව් කොටා ඇත. කුලුනු හිස දැවයෙන් කළේ දැයි ස්මිදර් මහතා සැක කරයි.
ඉහළ හා පහළ දෙකොණට ආසන්න කොටස් සතරැස්ව තනා මැද කොටස අටැස් කළ කුලුනු පොළොන්නරු රජමාළිගයේ රාජ්‍යවේශ්‍යභූජංග මණ්ඩපයේත් පොළොන්නරු ලංකාතිලක විහාරය ඉදිරියේ ඇති මණ්ඩපයේත් දක්නා ලැබේ. මේවායේ සතරැස් කොටස් මනෝහර කැටයමින් සරසා ඇත.
හෙළ වාස්තුවිද්‍යාවේ කුලුනු සම්ප්‍රදාය වෙනස් කළ ස්ථානයක් වන්නේ නිශ්ශංක ලතා මණ්ඩපයයි. ශක්තියට, බර දැරීමේ හැකියාවට හානි නොවන සේ මෙහි කුලුනු නෙළුම් දඬු හැඩයට සකසා ඇත. මේවා තිවංකය. පාදම සිවුරැස්ය. කුලුනු හිස අටැස්ය. බඳෙහි උචිත තන්හි පුරුක් හා මණිපත්‍ර ද දක්වා ඇත. පරණවිතාන මහතා කියන්නේ නිශ්ශංක ලතා මණ්ඩප කලාකරුවා රුවන්වැලිසෑයේ හා තිරියායේ (වටදාගෙයි)පද්මාකාර වූ මල් ආසන දැක මේ නිර්මාණයට පෙළඹෙන්නට ඇති බවයි. ඇතැම් තැනෙක කුලුනු වල බදාම ආලේපකොට ඒ මත සායම් ගෑමේ සිරිතක් ද තිබී ඇතැ’යි සිංහල විශ්වකෝෂය කියයි. (Hockart A.M. Ceylon Journal of Science G-I)
මුල් යුගයේ දාරුමය කුලුනු තිබී පසුව ශෛලමය කුලුනු ආදේශයෙන් ප්‍රතිසංස්කරණය කළ ගොඩනැගිලි ලෙස වටදාගෙවල් හැඳින්විය හැක.
මිහින්තලය
ථූපාරාමය
ලංකාරාමය
මැදිරිගිරිය
තිරියාය
පොළොන්නරුව ආදී වටදාගෙවල දාරුමය කුලුනු ක්‍රි.ව. 8වන සියවසේදී පමණ ඉවත්කොට ඒ වෙනුවට ශෛලමය කුලුනු ආදේශ කොට ඇතැයි පරණවිතාන මහතා අදහස් කරයි. මෙම කුලුනු අතර කුලුනු ශීර්ෂ හා බඳ එකම කළු ගලෙන් නිර්මාණය කළ ඒවා ද කුඩුම්බි හා තවු මගින් කඳට වැද්දූ ශීර්ෂ සහිත ඒවා ද වෙයි. බඳ හා හිස හමුවන තැනට ආසන්නයේ මුතුදැල් රටා යොදා සරසා ඇත. (මෙම මුතුදැල් රටාව සිංහල විශ්වකෝෂයේ හඳුන්වා ඇත්තේ ලණු සැරසිල්ල ලෙසිනි.)
මහනුවර යුගයේ කුලුනු බොහොමයක් ලී වලින් නිපද වූ ඒවා වුව ද විජයනගර් සම්ප්‍රදායේ ආභාසයෙන් ඉදිවුණු(දක්ෂිණ භාරතීය සම්ප්‍රදායේ ) ශෛලස්තම්භ ද නැත්තේ නොවේ. අනිවේදික්කාල් සම්ප්‍රදායේ තුන්ඈඳුතු ශෛලමය කුලූණක් ගඩලාදෙර්‍ණය විහාරයේ ඇත. අම්බුලුගල විහාරයේ මණ්ඩපයේ ශෛල කුලුනු හතරක් ද මැදගොඩ පත්තිනි දේවාලයේ එක් කුලුණක් ද ගණේගොඩ විහාරයේ නටබුන් කුලුනු කිහිපයක් ද වශයෙන් ද උඩරට රාජධානියට අයත් ශෛලමය කුලුනු ලෙස තමා දුටු කිහිපය පිළිබඳව එච්. සී. පී. බෙල් මහතා සිය කෑගලූ වාර්තාවේ දක්වා ඇත. මේ අතරින් මැදගොඩ පත්තිනි දේවාල කුලූණ ආගන්තුක කුලූණකැ’යි ඛෙල් මහතා උපුටා දක්වන සිංහල විශ්වකෝෂය කියයි
උඩරට කුලුනුවල භාරතීය ද්‍රවිඩ සම්ප්‍රදායේ ලක්ෂණ –
සදාරම්, කද්දු, කලාසම්, පුෂ්පබෝධිගෛ, නාගපදම්, පද්මබන්ධම් ආදී විවිධ කලා ලක්ෂණ හා මෝස්තර ද්‍රවිඩ කලා සම්ප්‍රදායට අයත් ඒවාය. කලාසම් කුලුනු හිස ලංකාවේ ශිල්පියා පුහුල් කුලුනු හිස ලෙස හැඳින්වී ය. පුෂ්පබෝධිගෛ නම් පේකඩය කෙසෙල් මුහයක හැඩය ගත්ත ද මෙරට දී හෙළ කලාකරුවා එය පියුමක ලක්ෂණ සහිතව නිර්මාණය කළේය. පේකඩයේ ඕලම්බක කොටසේ(පහතට නැමී එල්ලෙන කොටසේ) විකසිත පද්මයක් කැටයම් කොට තිබේ. නාගපදම් නමැති සැරසිල්ල ද හෙළ මුහුණුවරකින් යුතුව දක්වා ඇත.
උඩරට කුලුනු වල හෙළ කලා සම්ප්‍රදායේ ලක්ෂණ-
කුලුනු වල සිව්රැස් හා අටැස් පාර්ශ්ව සන්ධි වන තැන් වල යෙදී ඇති ආසනකඩය, ගැටලියපත, මුතුදැල යනාදී මෝස්තර දේශීය ඒවාය. කුලුනු වල බඳ මධ්‍යයේ ඇති ඝනාකාර කොටස්හි මුහුණත් වල ඇති හස්ති, සිංහ, හංස, භේරුණ්ඩ පඬි ආදී සත්තු ද නැට්ටුවන්, මල්ලවපොරකරුවන් ආදී රූප ද නාරිලතා මල, ලියපත, ලණු ලැට ආදී රටා ද අයත් වන්නේ දේශීය කලා සම්ප්‍රදායන්ට ය.
මහනුවර මඟුල් මඩුව, ඇම්බැක්ක දේවාලය, පනාවිටිය අම්බලම, කින්ගොඩ කෝරලයේ පින්නවල විහාරය, කඩිගමුව විහාරය ආදී තැන්හි මෙබඳු මෝස්තර සහිත කුලුනු වෙයි.
ලංකාවේ වත්මන් කුලුනු-
මේවා ගඩොල්, බදාම, හා ලී කඳන් යොදාගෙන නිර්මාණය කරයි. හැඩතල සරලය. විසිතුරු කැටයම් රහිතය. ශක්තිය හා කල්පැවැත්ම අතින් නොඋස් ය.
-පොදු කරුණු-
ලංකාවේ පුරාණයේ පටන් ම නිර්මාණය වූ බොහොමයක් කුලුනු වල ශීර්ෂය අටැස් ය. විකසිත පද්මයෝ බඳුය. බොරදම්, සිංහ රූප, හංස රූප, මල් ලියකම් මෙන් ම විසිලූ ඉරියව් සහිත ඝන රූප ද යොදා අලංකාර කර ඇත. විසිතුරු බවින් අතිශය උසස් ය. සියුම් කැටයමින් ගහනය.