අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම් ලිපිය, ලෞරියා නන්දන්ගර් ටැම් ලිපිය, සංකස්ස ටැම් ලිපිය, සාංචි ටැම් ලිපිය, දිල්ලිමිරට් ටැම් ලිපිය ඉන්දීය ඉතිහාසය හැදෑරීමට වැදගත් වන ශිලා ලේඛන හමු වේ නම් ඒ මෙතුමාගේ කාලයේ සිට යැයි කිවහැකි තරමට ම අශෝක ශිලා ලේඛන වැදගත් ය. එහෙත් පිප්‍රාවා ධාතු කරඬු ලිපිය ඉන්දියාවෙන් හමු වූ පැරණිත ම අභිලේඛනය සේ සාමාන්‍යයෙන් පිළි ගැනේ. අශෝක ශිලා ලේඛන ගිරි ලිපි හා ටැම් ලිපි ලෙස ප්‍රධාන දෙ වර්ගයක් හඳුනාගතහැක. එහෙත් අධ්‍යයනයේ පහසුව පිණිස මෙම ලිපි සියල්ල ප්‍රධාන කොටස් හතරකට බෙදා දක්වනු ලැබේ. එනම් ගිරි ලිපි. සුළු ගිරි ලිපි. ලෙන් ලිපි. ටැම් ලිපි. මේවා ප්‍රාකෘත භාෂා ස්වරූපයකින් ලියා ඇත. මෙම ලිපි කියැවීමට දාහතර වන ශතවර්ෂයේ දී ෆිරූෂ් ෂා තුඝ්ලූක්(1351-1388) නම් දිල්ලි සුල්තාන් වරයා ද උත්සාය කර ඇතත් සාර්ථක වී නැත. 1843 දී ජේම්ස් ප්‍රින්සෙෆ් නම් පඬිවරයා මිනැන්ඩර් රජු නිකුත් තළ කාසියක දෙ පැත්තේ වූ අක්ෂර කියැවීම මගින් ඛරෝෂ්ඨි අක්ෂර මාලාව අවබෝධ කර ගත් අතර පසුව එහි උපකාරයෙන් බ්‍රාහ්මී අක්ෂර මාලාව ද හඳුනා ගත්තේය. අශෝක ලිපි කියැවීමට මග පෑදුණේ මේ සිදුවීමත් සමගය. තුඝ්ලූක් අධිරාජයා විසින් කියැවීමට උත්සාහ කොට අත්හැර දැමූ දිල්ලි ලිපිය මේ අනුව ප්‍රින්සෙෆ් පඬිවරයා විසින් සම්පූර්ණයෙන් ම කියවා 1837 දී බෙංගාලයේ රාජකීය ආසියාතික සංගම් සමිති වාරයකට ඉදිරිපත් කරන ලදී. (මේ ජයග්‍රහණය ලංකාවේ අපට ද වැදගත් වන්නේ ලංකාවේ ශිලා ලේඛන කියවීම ද මේ අක්ෂර මාලාව ඇසුරින් සිදු කළ නිසාය.) මේ ලිපි වල පොදු විශේෂත්වය නම් ඉන්දියාවේ වෙනත් රජවරුන් විසින් පිහිටවනු ලැබූ ශිලා ලේඛන මෙන් මේවායේ රජුගේ වංශය, තේජෝමහිමය, බලපරාක්‍රමය ආදිය විස්තර නො කිරීමයි. මෙතුමාගේ ලිපි වලට තේමා වී ඇත්තේ, ධර්මෝපදේශ – රාජ ආඥා- සමාජසේවා හා පරිපාලන සේවා විධිමත්ව පවත්වාගෙන යෑම යන විෂයයන් තුන යි. මේවායේ රජුගේ ම අදහස් ගැබ් වී ඇතැ‘යි පුරා විද්‍යාඥයෝ ද ඉතිහාසඥයෝ ද මත පළ කරති. 1946 වසර වන විට මේ රජතුමාට අයත් ලිපි 154ක් සොයාගෙන තිබුණි. මෙම ලිපි භාෂා ලක්ෂණ අනුව ප්‍රධාන කොටස් හතරකට බෙදා දැක්වේ ෂාබස්ගර්, මාන්සේරා වර්ගය.ගිර්නාර්, සොපාරා වර්ගය.මධ්‍ය ඉන්දීය වර්ගය. දකුණු ඉන්දීය වර්ගය. මෙතුමාගේ ලිපි වල ප්‍රධාන අරමුණ වී ඇත්තේ මහජන සුබසෙත සැලසීමයි. මේ නිසා එක ම ලිපිය වුව ද ඒ ඒ ප්‍රදේශ වලට උචිත පරිදි භාෂා වෙනස්කම් කරමින් ඒ ඒ ප්‍රදේශ වල පිටපත් පිහිටුවා ඇත. ඊට හොඳ ම නිදසුන නම් ගිර්නාර්, කාල්සි, ධෞලී, ජෞගඩ, ෂාබෙස්ගාර්හි, මන්සේරා යන ස්ථාන වල දක්නට ලැබෙන එක ම ලිපියේ පිටපත් හය යි. පොදුවේ ගත් කළ මේ ලිපි වල බ්‍රාහ්මී අක්ෂර. ඛරෝෂ්ඨි අක්ෂර. ග්‍රීක හා ඇරමයික් අක්ෂර(කන්දහාර් ලිපිය.)(දකුණේ සිට වමට ලියන අක්ෂර වෙසෙසකි.) ආදී අක්ෂර වර්ග කිහිපයක් ම යොදා ගනිමින් මෙම ලිපි ලියා තිබේ. රජු සිය රටවැසියන්ට ආදරය කළ බව, සියල්ලන් සිය දරුවන් සේ සැලකූ බව, සතුන්ට පවා අනුකම්පා කරමින් කටයුතු කළ බව මේ ලිපි වලින් හෙළි කර ගත හැකි ප්‍රධාන කරුණු වේ. මීට අමතරව මෙම ලිපි වලින් තත්කාලීන ඉන්දීයාවේ දේශපාලන, සමාජ, ආර්ථික, ආගමික ආදී අංශ ගණනාවක තොරතුරු හෙළි කරගතහැක. අශෝක ශිලා ලිපි වලින් හෙළි වන දේශපාලන තොරතුරු රාජ්‍ය පරිපාලන නිළධාරීන් පිළිබඳව තොරතුරු හෙළි වේ.( යුක්ත, රජ්ජුක, ප්‍රාදේශික යන නිළධාරීන් පිළිබඳව 3වන ගිරි ලිපියේ ද ධර්ම මහාමාත්‍රයන් පිළිබඳව 5වන ගිරි ලිපියේ ද, ස්ත‍්‍රීන් පිළිබඳ කටයුතු භාර නිළධාරීන් හා ගවගාල් භාර නිළධාරීන් පිළිබඳව 12වන ගිරි ලිපියේ ද, මහාමාත්‍ය හා අධිකරණ නිළධාරීන් පිළිබඳව කාලිංග ලිපියේ ද, දෙවන පෙළ නිළධාරීන් පිළිබඳව 4වන ටැම් ලිපියේ ද… ආදී වශයෙන් සඳහන් වේ.) රාජ්‍ය පරිපාලනයේ දී සම්ප්‍රදායට සීමා නොවී අවශ්‍යතා අනුව නව තනතුරු පත් කළ බව 5වන ගිරි ලිපියේ සඳහන් වන ‘සෙ අතිකංතං අංතලං නො හුතපුලූව ධංමමහාමාතා නාම. තෙ දසවසාභිසිතෙනා මමයා ධම්මමහාමාතා කටා’ යන පාඨයෙන් හෙළි වේ. ධර්මමහාමාත්‍රයන්ගේ වගකීම් හා කාර්යභාරය 5වන ගිරි ලිපියේ පැහැදිළි කර තිබේ. අශෝක අධිරාජ්‍යයේ දේශ සීමා පිළිබඳව 2වන ගිරි ලිපියේ සඳහන් කර තිබේ.(දෙවියන්ට ප්‍රිය වූ පියදස්සී රජු ගේ රාජ්‍යයෙහි සෑම තැනම ද දේශ සීමා ප්‍රදේශ වන චෝළ, පාණ්ඩ්‍ය, සත්‍යපුත්‍ර කේරළ, තාම‍්‍රපර්ණී, අන්තියෝක නම් යවන රජුගේ රාජ්‍යය… ) මීට අමතරව ප්‍රත්‍යන්ත රාජධානි පිළිබඳව 13වන ගිරි ලිපියේ සඳහන් කර තිබේ.(දෙවියන්ට ප්‍රිය වූ රජු විසින් ඒ ධර්මවිජය මේ රාජ්‍යයෙහි ද සියලූ දේශසිමා ප්‍රදේශයන්හි ද, යොදුන් අටසියයක් ඈත අන්තියෝක නම් යවන රජු සිටින රාජ්‍යයෙහි ද, අන්තියෝක රාජ්‍යයෙන් මත්තෙහි ‘තුළමය’ ‘අන්තෙකින’ ‘මකා’ ‘අලිකසුන්දර’ යන රජදරුවන් සතර දෙනාගේ රජ්‍ය වල ද, පාණඩ්‍ය, තාම‍්‍රපර්ණී, නාභක, නාභපංක්ති, භෝජ පිතිනිත්‍ය,ආන්ධ, පුලින්ද… ) අන්තඃපුරය පිළිබඳව 6වන ගිරි ලිපියේ සඳහන්ව තිබේ. . කාලිංග ආක්‍රමණය පිළිබඳව 13වන ගිරි ලිපියේ සඳහන් කර තිබේ. . වයඹදිග ඉන්දියාවේ තක්ෂිලා ප්‍රදේශය ද අශෝක රජු යටතේ පාලනය වූ බව කාලිංග ලිපියේ ද, සිරගෙවල් තිබූ බව 5වන ටැම් ලිපියේ ද සඳහන් කර තිබේ. අශෝක ශිලා ලිපි වලින් හෙළි වන සාමාජික තොරතුරු බමුණන්, ගෘහපතියන්, අනාථයන් පිළිබඳව 5වන ගිරි ලිපියේ ද, විවිධ උත්සව පැවති බව 1වන ගිරි ලිපියේ ද,(මෙහි සතුන් නසා යාග නොකළ යුතුය. උත්සව නොපැවැත්විය යුතුය. දෙවියන්ට ප්‍රිය වූ පියදස්සී රජ උත්සවයන් හි බොහෝ දෝෂ දකී. දෙවියන්ට ප්‍රිය වූ පියදස්සී රජ මැනවැයි සලකන ඇතැම් උත්සව ද ඇත…) උත්සව හා ශාන්තිකර්මාදිය පැවති බව 9 වන ගිරි ලිපියේ ද(ජනයා රෝග ඇති කල්හි ද, ආවාහයෙහි ද, විවාහයෙහි ද, දරුවන් ඉපදීමෙහි ද, පිට රට යාමෙහි ද, විවිධ මංගල කරත්…)පරිසරයෙන් ලබා ගත් ඖෂධ භාවිත කළ බව. 2වන ගිරි ලිපියේ ද,(මිනිසුන්ට අවශ්‍ය වූ ද සිව්පාවුන්ට අවශ්‍ය වූ ද ඖෂධ යම් තැනක නැති නම් ඒ ඒ තැන ගෙන්වා තබන ලදී හා වවන ලදී. එ පරිද්දෙන් ම මුල් ද ගෙඩි ද යම් තැනක නැතිනම් ඒ සැම තැන ගෙන්වි තබන ලදී හා වවන ලදී…)ශරීරකෘත්‍යය පිණිස වැසිකිළි භාවිත කළ බව 6වන ගිරි ලිපියේ ද.. රත්‍රන් භාවිතය පිළිබඳව 8 වන ගිරි ලිපියේ ද,. ඇතරුවන්, ශිල්පීන්, රථාචාර්යයන් පිළිබඳව යෙරර්ගුඩ් ලිපියේ ද,. ගොනුන් හා අශ්වයන් හන ගැසූ බව හා ගොනුන් කරඇඹූ බව 5වන ටැම් ලිපියේ ද සඳහන් ව තිබේ.අශෝක ශිලා ලිපි වලින් හෙළි වන ආගමික තොරතුරු. මහණ බමුණන් ගැන 4වන ගිරි ලිපියේ ද, බමුණන් ගැන 5වන ගිරි ලිපියේ ද, මහණ බමුණන් බැහැදැකීම පිළිබඳව 8වන ගිරි ලිපියේ ද, බමුණන්ට දන් දීම පිළිබඳව 11වන ගිරි ලිපියේ ද, බෞ්දධයන් හා වෙනත් සියලූ පැවිද්දන්ට දන් දුන් බව 12 වන ගිරි ලිපියේ ද, සියලූ ආගමික පූජකයන් පිදූ බව 6වන ටැම් ලිපියේ ද, ආජීවක බ්‍රාහ්මණ ආදීන් පිළිබඳව 7වන ටැම් ලිපියේ ද, භික්ෂුණීන් වහන්සේලා පිළිබඳව සාරානාත්, කෞෂම්බි, සාංචි ලිපි වල ද,. ආගමික කටයුතු සොයා බැලීම පිණිස ධර්ම මහාමාත්‍යවරු පත් කළ බව හා මේ සමයේ සිටි වෙනත් ආගමික කණ්ඩායම් පිළිබඳව 5වන ගිිරිලිපියේ ද, . සතුන් බිලි දෙමින් යාග කළ පිරිස් සිටි බව 1වන ගිරි ලිපියේ ද, ( මෙහි කිසි සතෙකු නසා යාග නොකළ යුතුය…යැයි දක්වමින් අශෝක රජු විසින් එය තහනම් කිරීමෙන් ඒ බව පෙනී යයි. ) අන්‍යආගමිකයන් පිළිබඳව 7වන ගිරි ලිපියේ ද (දෙවියන්ට පිය වූ පියදස්සී රජතෙම සෑම තැන්හිදී ම සියලූ අන්‍යආගමිකයෝ ම වෙසෙත්වායි කැමති වෙති…) 13වන ගිරි ලිපියේ ද, . ස්ථූප පිළිබඳව නිර්ග‍්‍රීව ටැම් ලිපියේ ද, ආජීවකයන්ට ලෙන් පිදීම පිළිබඳව න්‍යග්‍රෝධ හා බලතික ලෙන් ලිපි වල ද සඳහන් වේ.අශෝක ශිලා ලිපි වලින් හෙළි වන ආර්ථික තොරතුරු. දැහැමි කර්මාන්ත පිළිබඳව 13 වන ගිරි ලිපියේ ද, ඇතරුවන්, ශිල්පීන්, රථාචාර්යයන් පිළිබඳව යෙරර්ගුඩ් ලිපියේ ද,. මසුන් මැරීම හා අළෙවි කිරීම පිළිබඳව 5 වන ටැම් ලිපියේ ද,.ගවයන්, බැටලූවන්, ඌරන් ඇති කළ බව 5 වන ටැම් ලිපියේ ද,. අයබදු පිළිබඳව හා අයබදු අනුපාතය පිළිබඳව ලූම්බිණි ටැම් ලිපියේ ද සඳහන් වේ.
පහත ලිපිය ද කියවන්න.