කවිරාජ (උසස් ම කවියා) / වික්‍රමාංක/ ක්‍රීටාන්තක (කිරීටධරයින්ගේ මාරයා) දේශපාලනය පමණත් නොව කාව්‍ය කරණය, වීණාවාදනය වැනි කලා අංශ වලට ද ලැදියාවක් හැකියාවක් ඇතිව සිටි අයෙකි. හරිශේණයන් මේ අධිරාජයා පිළිබඳ අලහබාද් ප්‍රශස්තියේ සඳහන් කරන්නේ කවිරාජ යන අභිදානය සමගිනි. කවිරාජ යන අභිදානය වඩාත් උසස් කවීන් සඳහා පමණක් යෙදෙන අතර සාමාන්‍ය කවීන්ට ‘‘ජගති කතිපයෙ[1] ‘‘ යන අභිදානය යෙදෙයි. සමුද්‍රගුප්තයන් තුළ කාව්‍ය කරණයට ප්‍රශස්ත හැකියාවක් තිබෙන්නට ඇත.
කාව්‍යකරණයට අමතරව සමුද්‍රගුප්ත අධිඑරාජයා තුළ වීණා වැයීමේ හැකියාව ද පැවතියේ ය. ඔහු වීණා වැයීමට කෙතරම් ප්‍රිය කළේ ද යත් සිය කාසි සඳහා වීණාවක් අතින්ගෙන සිටින ආකාරයේ රුවක් යොදා ගත්තේ ය. මෙලෙස රුව යොදා අනෙක් පස මහාරාජාධිරාජ සමුද්‍රගුප්ත යනුවෙන් සඳහන් කළ රන් කාසි ඉන්දියාවෙන් හමු වී තිබේ.
එහෙත් මේ සියල්ලට ම වඩා සමුද්‍රගුප්ත වැදගත් වන්නේ ඔහුගේ අසහාය යුධ හැකියාව හා දිග්විජය ප්‍රතිපත්තිය නිසාවෙනි. සමුද්‍රගුප්ත රජු ඉන්දියානු ඉතිහාසයේ කැපී පෙනුණු වීරයෙකු වූ නිසා පුරාතන ඉන්දීය ඉතිහාසය(Early History of India) මැයෙන් කෘතියක් කළ ආචාර්ය ස්මිත් විසින් සමුද්‍රගුප්ත රජු නැපෝලියන්ට සම කළ විට ඉන්දියානුවෝ ඊට විරුද්ධ වූහ. ඔවුන් කියා සිටියේ නැපෝලියන් සමුද්‍රගුප්තයන්ට වඩා බොහෝ පසුපසින් සිටින්නෙකු බවයි. අවම වශයෙන් සමුද්‍රගුප්තයන් නැපෝලියන් සේ හිරකරුවෙකු පරිද්දෙන් සිය අවසන් සුසුම හෝ හෙළුවේ නැත යන්න ඔවුන්ගේ තර්කය විය. තව ද නැපෝලියන් තමන් යටත් කරගත් ප්‍රෙද්ශ වලට සැලකූ ආකාරයත් සමුද්‍රගුප්ත සැලකූ ආකාරයත් වෙනස් ය. සමුද්‍රගුප්ත තමන් යටයත් කරගත් ප්‍රෙද්ශ යළි ඒවායේ භාරකරුවන්ට ම පවරා තම ආඥා පිළිපැදීම හා වාර්ෂික අයබදු ගෙවීම යන කරුණු වලින් පමණක් තම යටතේ තබාගත් අවස්ථා වැඩි ය. නමුත් නැපෝලියන් එසේ කළේ නැත.
සමුද්‍රගුප්ත රජුගේ ප්‍රයාග හෙවත් අලහබාද් ප්‍රශස්තිය අනුව පෙනී යන්නේ ඔහු ආර්යාවර්තයේ රජවරුන් නව දෙනෙක් හා දක්ෂිණාපථයේ රජවරුන් දොළොස් දෙනෙකු පරාජය කළ බවයි. මධ්‍ය ඉන්දීය ප්‍රදේශයේ අටවික රජවරුන් හෙවත් කැලෑ රජවරුන් විශාල ප්‍රමාණයක් තම සේවකයන් බවට පත්කරගත්තේ ය. ඔහුගේ බල ප්‍රදේශයේ සීමාසන්න රාජ්‍ය ගණනාවක් ද ඔහුගේ ආධිපත්‍යයට ගරුකරමින් තුටු පඬුරු එවූ බව ද ප්‍රශස්තියේ සඳහන් වේ. වාර්ෂික කප්පම් ගෙවීමට ද ඔවුහූ එකඟ වූහ. මේ අතර සීමාසන්න සපූහාණ්ඩු ද වෙයි. සමුද්‍රගුප්ත අධිරාජ්‍යයට දුර බැහැරින් පිහිටි ලංකාව හා කුෂාණ වැනි රාජ්‍යයන් ද රජු හා සබඳතා ඇතිකරගන් වස් තුටුපඬුරු හා දූතයන් යැවූ බව සඳහන් ය.
සමුද්‍රගුප්තයන්ගේ අලහබාද් ප්‍රශස්තියේ එක ඇතැම් කරුණු අතිශයෝක්තියට බර ය. නමුත් සත්‍යෙයන් බොහෝ ඈත නොවේ. සමුද්‍රගුප්තයන්ගේ සේනානායක හා සන්ධිවිග්‍රහිත මන්ත්‍රී වරයා වූ හරිශේණයන් මේ ප්‍රශස්තියේ කතුවරයා වීම මේ අතිශයෝක්තියටත් සත්‍යෙයන් බොහෝ ඈත් නොවීමටත් හේතු වන්නට ඇත. තම ස්වාමියා පිළිබඳ අධි වර්ණනය තුළින් ඇතිවන කීර්තියේ කොටසක් ඔහුගේ සමීපතමයෙකු වීම නිසා තමාට ද හිමි වන වගක් ඔහු සිතන්නට ඇත. නමුත් සිදුවූ සියල්ල පිළිබඳ සත්‍යය දන්නා අයෙකු වශයෙන් සත්‍යයෙන් බොහෝ ඇත් වීමට ද නොහැකි නිසා ප්‍රශස්තියේ එන කරුණු බොහොමයක් සත්‍යය යැයි අපට සිතය හැක.
[1] රාජශේඛර නම් කතුවරයා මේ බව සඳහන් කරන්නේ සිය කාව්‍ය මීමංසා කෘතියේ ය