හින්දු ආගමට හා ජෛන ආගමට අයත් පැරණි ගොඩනැගිලි රාශියක් දක්නට ඇති ගම්මානයකි. ඉන්දියාවේ බිජාපූර් දිස්ත්‍රික්කයට අයත් ධාර්වාර් ප්‍රදේශයෙහි පිහිටා ඇත. ක්‍රි.ව.550 – 750 කාලයේ බටහිර චාලූක්‍යයන්ගේ ප්‍රධාන නගරයකි. ප්‍රධාන ගමනාගමන මාර්ගයන්ගෙන් ඈත් ව පිහිටි අයිහෝළේ ඇති, සැත්තෑවක් පමණ වන පෞරාණික හා ආගමික ගොඩනැගිලි අතරින් තිහක් පමණ ඇත්තේ විශාල ප්‍රාකාරයකින් වටවූ පෙදෙසක ය. මෙම සියලූ ගොඩනැගිලි පසුකාලීන මානව ක්‍රියාකාරකම් හේතුවෙන් ජරාවාස වී ඇති අතර ඒ්වායේ පැරණි නම් ද වෙනස් කර ඇත. සත්වැනි සියවසේ මැද කාලයේ කරවන ලද්දා වූ ලෙන් ආරාම දෙකක් ද මෙම ප්‍රදේශයේ වෙයි. ඒ්වා බ්‍රාහ්මණ හා ජෛන ආගමට අයත් ය. සුප්‍රසිද්ධ ලාඩ්කාන්, මෙගුටි, කොන්ත්ගුඩ්, දුර්ගා වැනි මන්දිර පිහිටා ඇත්තේ ද අයිහෝළේ ය. චාලූක්‍ය සම්ප්‍රදායට අයත් මෙම ගොඩනැගිලි වල වැදගත්කම වන්නේ භාරතීය ගෘහනිර්මාණ ශිල්පයේ ක්‍රමික විකාසය පිළිබඳ තොරතුරු මේ මගින් ගවේෂණය කළහැකි වීමයි. අයිහෝළේ දෙව්මැදුරු සියල්ලක් ම වාගේ වෛෂ්ණව(විෂ්ණු) ශෛව(ශිව) හා ජෛන(ජින) ප්‍රතිමාවන්ගෙන් හා නොයෙකුත් දේව කතා නිරූපණය කෙරෙන ගල් කැටයම් වලින් යුක්ත ය. මේවා ගල් කැටයම්, ලියවැල් මෝස්තර, ඝණ රූප ආදී ලෙස දැකිය හැකිය. ගුප්ත යුගයේ විශිෂ්ටතම නිර්මාණ සේ සැලකෙන සාරානාථ මූර්ති ලක්ෂණ සහ ආන්ද්‍ර හා පල්ලව කලා ලක්ෂණ ද අයිහෝළේ මූර්ති හා කැටයම් වලින් පිළිබිඹු වෙයි. (සිංහල විශ්වකෝෂය 2වන කාණ්ඩය 7,8 පිටු)