ආන්ධ්‍ර හෙවත් අමරාවතී කලා සම්ප්‍රදාය වර්ධිත ඉන්දීය කලාවේ ලක්ෂණ නිරූපණය කරයි. අමරාවතී ස්තූපය ආශ්‍රිතව හමු වී ඇති කැටයම් පුවරු වලින් ම ඒ බව පෙනී යයි. දේශීය ක්‍රමයේ ඇඳුම්පැළඳුම් ආදියෙන් සැරසුණු පුද්ගල රූප හා ඉන්දීය ස්වදේශීය සිරිත්විරිත්, හැසිරීම්රටා ආදිය ඒවායේ පැහැදිලිව දැකියහැකි වේ. මායාදේවීය දුටු සිහිනය පිළිබඳ කැටයම් දෙක පළමු උදාහරණයක් වශයෙන් විමසා බැලිය හැකි වේ. ඉන් පළමුවැන්න් දැක්වෙන්නේ මායාදේවිය අනවතප්ත විල් දියෙන් ස්නානය කරන ආකාරය යි. පරිවාර දේවතාවියන් ද සහිතව දක්වා තිබේ. සාම්ප්‍රදායික ඉන්දීය සංස්කෘතිය තුළ ස්ත්‍රියක සතු කායික ගුණ වශයෙන් කලාකරුවන් දුටු ගුණ මෙහි නිරීපණය කිරීමට කලාකරුවා උත්සාහ කර තිබේ. බෂාම් සඳහන් කරන ආකාරයේ(අසිරිමත් ඉන්දියාව.227, 1995 මුද්‍රණය) ඝණව වැඩුණු කලවා, පුළුලුකුල, මිටින් ගතහැකි ඉඟසුඟ, මහත් වූ පියයුරු යුවල ආදිය මෙහි මනාකොට ම නිරූපණය කර තිබේ. තව ද නූතන ඉන්දීය කත මෙන් නොව පුරාතන කැටයම් අර අපට හමුවන ඉන්දීය ස්ත්‍රිය සිය ජනනේන්ද්‍රිය පමණක් ඉතා කෙටි ඇඳුමකින් වසා සිටින අතර ආභරණ කිහිපයක් හැරුණුකොට සෙසු සිරුර නිරුවත් ය. පුරාතන භාරතීය සංකල්ප අනුව මෙකී ලක්ෂණ හුදු කාම සම්භෝගය පිණිස ම හේතුවන්නක් සේ දක්වා ඇතත්, මෙහි නිරූපිත ස්ත්‍රී රූප වලින් කාමී බවක් ඉස්මතු නොවේ. කලාකරුවා බුදුරදුන්ගේ මව යන සංකල්පයේ රැඳී ඉතා භක්තියෙන් කළ නිර්මාණයක් සේ පෙනී යයි. සිරුරේ තිවංක භාවය හා එකිනෙකට සමීපකරගත් කළවා වලින් මතුව ඇත්තේ ලාලිත්‍යයක් ම මිස කාමුක බවක් නොවේ. දෙවැනි කැටයමේ එන්නේ සුවසේ යහනේ සැතපී සිටින මායාදේවියගේ රුව යි. ඇය අසල පරිවාරකයින් හා දේව රූප දක්වා තිබේ. නිදහස් ඉරියව්වකින් සැතපී සිටින ඇයගේ සිරුර ශයනය හා ස්පර්ශ වන ආකාරය ඉතා තාත්විකව දක්වා තිබේ. කලාකරුවා මානව දේහය මනාකොට හදාරා ඇති බවක් මෙහි පෙනී යයි. පරිවාරකයින්ගේ හා දේව රූප වල ද ඉරියනව් ඉතා තාත්වික ය. මේ නිසා අමරාවතී ශිල්පියා යනු මුල දී බුද්ධ රූපය මානව දේහ විලාසයෙන් මූර්තිමත් කිරීමට ආධුනික හෝ බිය අයෙකු සේ දැක්විය හැකි නමුදු, කැටයම් කලාවට ආධුනිකයෙකැ’යි කිව නොහේ. අමරාවතී සම්ප්‍රදායේ අප දක්නා තවත් ගුණයක් නම් මානව රූපයන්ගේ සජීවී භාවය යි. සිහින විග්‍රහය කැටයම මීට කදිම උදාහරණයකි. මහාරාජ ලීලාසනයෙන් අසුන්ගෙන සිටිනා සුදොවුන් රජතුමාගේ රූපය තරමක් විශාලව දක්වා තිබීමෙන් රජුට මේ කලා කෘතිය තුළ විශේෂස්ථානය හිමිකර දී තිබේ.කම්මුල්, බාහු හා ඉණට හැඳී වස්ත්‍රයෙන් මිරිකී තෙරපී ගිය උදර මාංශය පිටතට නෙරා විත් ඇති ආකාරයෙන් අලස කම්මැලි භාවයන් නිසා මහත්ව වැඩුණු පුරුෂ රුවක් නොව සුඛ විහරන මැද රාජකීය ලීලාවෙන් වැඩුණු රාජකීය සිරුරක් දක්වා ඇති ඇයුරු විශිෂ්ටය. රජුට හා දේවියට ද පාද පීඨිකා පනවා තිබේ. දේවිය ද ඉතා සුවපහසු අසුනක නිදහස් ඉරියව්වෙන් අසුන්ගෙන සිටින්නී ය. ඇයගේ පාද හා අත් නිරූපණය කර ඇත්තේ සාමාන්‍යයෙන් මූර්වල ක්නට නොලැබෙන ආකාරයකට ය. එසේ වුවත් අසාමාන්‍ය ඉරියව්වකට නොවේ. නමුත් රාජකීය යුවලක් ඉදිරියේ හැසිරියයුතු ගරුකටයුතු අංග වින්‍යාස සහිතව බමුණන් දෙදෙනා දක්වා තිබේ. බමුණන් දෙදෙනොගෙන් තරමක් වයෝවෘද්ධ බමුණාගේ හැසිරීම තුළ තරමක් නිර්භය බවක් මෙන් ම සිය ප්‍රකාශය පිළිබඳ පූර්ණ විශ්වාසයක් ඇති බවක් ද දක්වා තිබේ. අනෙක් බමුණා සාවධානව අසා සිටී. මේ සජීවී භාවය අමරාවතී සම්ප්‍රදායේ විශේෂත්වයකි. කැටයම නමුත් මේ කැටයම් අමරාවතී කලාවේ මුල් අවස්ථාවන්ට අදාළ කැටයම් සේ ගැනිය හැකි වේ. අංගුලිමාල හා නාලාගිරි දමන කැටයම් ද වඩාත් පරිණත ලක්ෂණ පෙන්වන්නේ නොවේ. අසිත තවුසාගේ පැමිණීම දක්වන කැටයම, බෝසතුන් නේරංජනාවේ ස්නානය කරන අවස්ථාව දැක්වෙන කැටයම හා රාහුල කුමරුන් දායාදය ඉල්ලාසිටින අවස්ථාව දැක්වෙන කැටයම තරමක් පරිනත ලක්ෂණ පෙන්වයි. බුදුරදුන් බැහැදැකීමට පැමිණෙන අජාසත් රජු දැක්වෙන කැටයම තවදුරටත් පරිනත ලක්ෂණ පෙන්වයි. එහි ඉතා සංකීර්ණ මානව හා සත්ත්ව රූප සම්පිණ්ඩනයක් ද වාස්තුවිද්‍යාත්මක පසුතලයක් ද දක්වා තිබේ. එමෙන් ම එකී කැටයම අල්පෝන්නත ශිල්පීය ක්‍රමයට නොව, අර්ධෝන්නත බව ද ඉක්මවා අධි උන්නත තත්ත්වයේ අරඹුම් සීමාවට ම ගොස් ඇති බව ද පෙනී යයි. සමස්තයක් වශයෙන් ගත්කල අමරාවතී කලාව යනු, සජීවී මානව හා සත්ත්ව රූපකරණයක්, ලාලිත්‍යවත්බවක්, පෘගත්ජන කාමී සිතුවිලි අභිභවාගිය අධ්‍යාත්මික බවක්, ස්වභාවිකත්වයේ හා ශෛලීගත නිරූපනයේ මනා සම්මිශ්‍රණයක් දැකිය හැකි උසස් කලාවකි. එහි වර්ධනීය අවස්ථාවන්හි සංකීර්ණත්වය හා විසිතුරු බවක් ද ඊට සම්මිශ්‍රණය වී තිබේ.
අමරාවතී දැගැබ් විස්තරය ද බලන්න