අභය මුද්‍රාව


බුද්ධාදී ප්‍රතිමාවල දක්නට ලැබෙන මුද්‍රාවකි. අභය දීම හෙවත් ජීවිත දානය දීම මෙයින් සංකේතවත් කෙරෙයි.

මෙය සප්තමුද්‍රා අතරින් ද එකකි.(අභය, අසිත, වරද, විතර්ක, බ්‍රහ්මණ, නයන, නිම්ලිත) නැටුම් කලාවෙහි ද හමුවෙයි. බුද්ධ හා දේව ප්‍රතිමා නිර්මාණයේ දී යොදාගැනේ. ‘අප කෙරෙන් බියක් නැත’ යන අරුත ගම්‍ය වෙයි. නොබියව අප වෙත එන්න..බිය නොවන්න. ජාති ජරා ව්‍යාධි මරණාදී දුකින් මිදීමේ මාර්ගය මෙහි වෙයි… යනුවෙන් එය සරලව දැක්විය හැක. අවුකන, සැස්සේරුව, බුදුරුවගල යන හිටිපිළිම වල මේ මුද්‍රාව හමුවේ. ලංකාවේ දුලභ වුව ද හිඳිපිළිම වල ද මෙම මුද්‍රාව දැකිය හැක. ඉන්දියාවේ මථුරා පුරාවිද්‍යා කෞතුකාගාරයේ එබඳු හිඳිපිළිමයක් තැම්පත් කර ඇත. දකුණ’ත වැලමිටින් ඉහළට ඔසවා අත්ල ඉදිරියට හරවාගෙන සිටී. ආශිර්වාද මුද්‍රාව ද මෙයම ය. ඇතැම් තැනෙක අභය හා ආශිර්වාද මුද්‍රාව දෙකකැයි කියතත් මේ දෙකෙහිම අර්තයන්හි ද ස්වරූපයන්හි ද ඇති සාම්‍ය බව නිසා එකක්ම යැයි හැඳින්වීම වඩාත් උචිතය.