අනංග

භාරතීය කාමදේවයාය. කිසිඳු ශරීරාංගයක් නැති නිසා අනංග නම් විය. හරිවංශයට අනුව අනංගයා විෂ්ණුගේ හා ලක්‍ෂ්මියගේ පුත්‍රයාය. එහෙත් ඇතැම් තැනෙක ‘අනංගයා’ යනු බ‍්‍රහ්මයාගේ පුත්‍රයෙකැ’යි ද සඳහන් වේ. ජලයෙන් උපන් ‘ඉරාජ’ නම් මොහු යැයි ද කියැවේ. කාමය දෙවියෙකු ලෙස සැලකීමට මුල් පියවර තැබුයේ අථර්වන් වේදයයි. සෘග් වේදයේ ද කාමය පිළිබඳ සඳහන් වෙතත් කාම දෙවියෙකු ගැන නොකියයි.

කාමසේත ද ග්‍රෙ සමවර්තතාධි -මනසො රෙතඃ     ප්‍රථමං යදාසිත් – සතො බන්දුවසති නිරවීන්දන් -හෘදී ප්‍රතිෂ්‍යා   කවයෝ මනීෂා (සෘග් වේදය)

(අරුත- කාමය ලොව පළමුවෙන් ම ඇතිවිය. මනසෙහි උපන් පළමු බීජය ද එයම ය. නැණවත් කවීහු සිය හදවතෙහි කිමිද බලා නැති දෙය තුළ ඇති දෙයක් සොයාගත්හ.)

අනංගයාට ශරීරාංග අහිමි වූයේ මෙහෙසුරුගේ තෙවැනි ඇසෙහි බැල්ම නිසා ය. සුරාසුර යුද්ධයේදී සුරයින් පරාජය වීම වළක්වාලීමට මහේශ්වර හා පාර්වතියගේ පුත්‍රයෙකු අවශ්‍ය බව අවබෝධ කොටගත් ශක්‍රයා එ් සඳහා මල්සරාගේ පිහිට පැතීය. තපස් රකිමින් සිටි මෙහෙසුරු වෙත ගොස් මල් දුන්නෙන් විද මෙහෙසුරුගේ සිත තුළ රාගය උපද්දා පාර්වතිය සමඟ කායිකව එක්වීමේ සිතක් පහළ කිරීම මල්සරාට භාර විය. එහෙත් මල්සරාගේ (මල’විගේ) මල් හී සරින් කෝප වූ මෙහෙසුරු සිය නළලතෙහි වූ තෙවන ඇස හැර මල්සරා දෙස රෞද්‍ර බැල්මක් හෙළීය. එම නෙතු සරයෙන් මල්සරාගේ සිරුර දැවී අළුවී ගිය අතර පසුව ශරීරාංග කිසිවක් නැති නිසා අනංග යන නමින් ප්‍රකට විය. යළි ඊශ්වරගෙන් ම වරම් ලබා විෂ්ණු අවතාර වන කෘෂ්ණ හා ඔහුගේ භාර්යාව වන රුක්මණියගේ පුත්‍රයෙකු සේ මිනිස් ලොව ඉපිද ප්‍රද්‍යුම්න නමින් ප්‍රකට විය. (කොඩිකාර රත්න.208. පිටුව 213) රාමායනය කියන්නේ අනංග නම් කාමදේවයා ශරීරය අත්හලේ අංග රාජ්‍යයේ දී බවයි.

අනංගයාට පර්යාය නාම-උනඟ, ඌනංග, කම්පස, කාමදේව, කුසුම්සරා, පංචබාණු, පුෂ්පබාණ, බුන්නංග, මද, මදරද, මනයොන, මනෝභව, මන්මථ, මින්දද, මලවි, මල්සරා, මල්හීසරා, රතිස්වාමි. වියොවග, ෂමර අනංගයා අත උක්දඬු දුන්නකි. එහි දුනුදියට ඇත්තේ බඹර කැළකි. නෙළුම්, අසෝක, මීඅඹ, දෑසමන් හා නිල් මහනෙල් මල් හී තුඩ සේ යොදා සැකසූ ඊතල වර්ග පහක් අනංගයා සතුය.

අරවින්දමශෝකඤ්ච

චුතඤ්ච නව මල්ලිකා

නීලෝත්පලඤ්ච පඤ්චෛත

පඤ්ච බාණස්‍යසායකාඃ’ 

මොහුගේ වාහනය ගිරවෙකි.  ගාල්ල දිස්ත්‍රික්කයේ තොටගමු විහාරයේ අනංගයාගේ රුව ප්‍රතිමාවක් සේ නිර්මාණය කර ඇත.