අග්නි

වෛදික යුගයේ ගින්න දේවත්වයට පත්වූයේ මේ නමිනි. ඍග් වෛදික යුගයේ දී ඉන්ද්‍රට පමණක් දෙවැනි වූ දෙවියා අග්නි ය.ඉන්ද්‍ර, අග්නි හා සූර්ය මේ යුගයේ ප්‍රධාන දෙවිවරු තිදෙනා වශයෙන් පිළිගැනුනි. ගිතෙල් මුහුණක්, ගිතෙල් කෙස්වැටියක් හා ගිතෙල් පිටක් සහිත වූ අග්නිට අත් පා නොවී යැයි පිළිගැනුනි.

අග්නි යන්නෙහි වාච්‍යාර්ථය ‘ගින්න’ යන්නයි. ගින්නෙහි ඇති නොයෙකුත් ගුණ නිසා පුරාණ ඉන්දියාවේ හා ඉරානයේ වැසියෝ ගින්න දේවත්වයෙන් යුතුව පිදූහ. ගින්න ප්‍රබලය. විනාශකාරීය. (තද රොසාව ගිනිවිස කරවලූත් යනුවෙන් සඳකිඳුරුදා කවෙහි (307) දැක්වේ. ගින්න සේ විස කරවලා නම් සර්පයා ගැන ඉන් කියැවේ.) එහෙත් ඒ ගින්නම මිනිසාට වගා බිම් සකසා ගැනීමට ද ආහාර පිසගැනීමට ද උපකාරී වෙයි. ආලෝකය සපයා දෙයි. අලිඇතුන් ඈ සතුන්ගෙන් ආරක්‍ෂාව සලසා දෙයි. සීතල දුරැර උණුසුම සපයා දෙයි. එබැවින් ගින්න සුවිශේෂය. ගින්න දේවත්වයට පත්වූයේ ද එබැවිනි. අග්නි දෙවි භූ ලෝකවාසි දෙවියෙකි. බෘහස්පති ද අග්නිගේ අවතාරයකි. එ්. එල්. බෂාම් මහතාට අනුව අග්නි යන්න ලතින් බසෙහි සටබසි යන්න හා සාම්‍ය වේ. ගිනිදලූවෙහි ඇති ඇසට නොපෙනෙන බලය දේවත්වයෙන් පිදූ ඉන්දු හා ඉරාන වැසියෝ පසුව එයට මානුෂ හැඩයක් ලබාදුන් වග මේ යුගය හා ඊට පසු යුග වලට අයත් සාහිත්‍යයික කෘති පරිශීලනයෙන් පෙනී යයි. වේද සාහිත්‍යයේ අග්නි දෙවියන් පිළිබඳ විවිධ කතාන්දර මෙන්ම ඔහුගේ පරපුර පිළිබඳව ද සඳහන් කොට ඇත. ස්වභාවික බලවේගයක් දේවත්වයට පත්ව වන්දනීය පුද්ගලයෙකු ලෙස මිනිස් සිත් තුළ තැන්පත් වූ අයුරු එයින් අවබෝධයට ගත හැකිය.

අග්නි අෂ්ට මංගල වස්තූන්ගෙන් ද එකකි.

අග්නි දෙවි පිළිබඳව ද සඳහන් වන සාහිත්‍ය කෘති මාර්ගයෙන් අග්නි දෙවියන්ගේ පෙළපත් තොරතුරු ද ගතහැක. ඊට අනුව හේ අහසේ හා පොළොවේ පුත්‍රයා වන්නේය. (ද්‍යුඃ හා පෘථිවි) තවත් මතයකට අනුව ඔහු විශ්වකර්ම හා ජලය නිසා ජනිත විය. (ත්වශ්ටෘ හා ජලය) ලී පතුරු දෙකක් එකට ගැටීමෙන් අග්නි උපන්නේ යැයි ද ජනප්‍රවාදයක් වෙයි. එය ඓතිහාසික සත්‍යයකි.එ් පිළිබඳව වැඩිදුර ඇති විස්තර අනුව උඩ ලී පතුර පුරුෂයෙකි.යටි ලී පතුර ස්ත්‍රියකි. අග්නි අහසෙහි උපන්නේ යැයි ද විදුලිය විසින් එය පොළොවට රැගෙන ආයේ යැයි ද තවත් මතයක් ඇත. වරුණ දෙවි ඔහුගේ එක් සොහොයුරෙක් වන අතර ඉන්ද්‍ර ඔහුගේ නිවුන් සොයුරා ය.  පවක, පවමාන, සුඛී යන දරු තිදෙනාගෙන් පැවත එන දරුවන් හතලිස් පස් දෙනෙක් ද අග්නි ට වෙයි. (පවක, පවමාන, සුඛී සහ ඔවුන්ගේ දරුවන් සමග අග්නි ද එක්වූ කල ඔවුන්  සතලිස් නවාකාර ගිනි වශයෙන් වායුපුරාණයේ දක්වා ඇත.)ගින්න දෛනිකව දල්වන නිසා එය සියල්ලන්ට ම බාල යැයි ද කාලාන්තරයක් තිස්සේ ජනතාව හා වසන බැවින් සියල්ලන්ට ම වැඩිමහලූ යැයි ද සෑම පරපුරක් සමගම වාසය කරන බැවින් සෑම පරපුරක් පිළිබඳවම දන්නා අයෙක් යැයි ද සැලකේ.

අග්නි දේව වන්දනය ඉන්දියාවේ හා ඉරානයේ   ප්‍රබල ලෙස ම සිදු වූ නමුදු ගින්නට ගරු කිරීම ලොව බොහෝ ශිෂ්ටාචාර වල පැවතී ඇත . බුදුදහමේ බලපෑම නිසා බහුලව සිදු නොවූව ද ලංකාවේ පවා අග්නි දේව වන්දනය යම් තරමකට සිදු වී ඇත . මීට අමතරව ග්‍රීක රෝම ජාතීන් ද ජාතීන් ද අග්නි දෙවියා පුදා ඇත. සොරාවස්ත්‍ර(ශරතුෂ්ත‍්‍ර)ආගමේ ගිනි දෙවියා හැඳින්වෙන්නේ ආතර් යන නමිනි.හින්දූහු අතීතයේ පටන්  ම  ගිනි දෙවියා හැඳින්වූයේ අග්නි යන නාමයෙන් ම ය. යුදෙව්වරු ශුද්ධ වහ්නිය(වහ්නියුගින්න) දෙවියන්ගෙන් ලත් දායාදයක් ලෙස සිතා උතුම් කොට සැලකූහ. හෙෆයිස්ටොස් යන නාමයෙන් ගිනි දෙවියා හැඳින්වූයේ ග්‍රීකයෝ ය. ඔවුන් සැලකූයේ වහ්නි දෙවියා සියුස් දෙවියන් නිසා හේරා ට ලැබුණු පුත්‍රයෙකු ලෙසිනි. රෝමවරු මේ දේවයා වුල්කානුස් යන නාමයෙන් හැඳින්වූහ. අහුරමස්දා නම් දේවයාගේ පුත්‍රයෙකු සේ සලකා පර්සියානුවෝ(ඉරාන වැසියෝ) අග්නි දෙවියා ආතර් යන නමින් හැඳින්වූහ. ලංකාවේ පස්වන කාශ්‍යප හා දෙවන සේන යන රජවරුන්ගේ යුග සම්බන්ධ වාර්තා වල අග්නි දේව වන්දනය පිළිබඳ තොරතුරු ඇතිමුත් ලංකවේ අග්නිදේව වන්දය එතරම් ප්‍රචලිත වූ බවක් නොපෙනේ. බෞද්ධ සාහිත්‍යය හෝ වත් පිළිවෙත් තුළ පවා අග්නි දෙවියන්ට එතරම් වැදගත් ස්ථානයක් හිමි නොවේ. අග්නි පූජාව නොවැදගත් හා ලාමක පහත් කි‍්‍රයාවකැයි බුදු දහමේ ඉගැන්වේ.(නොයෙක් දෙය රැස්කොට-කළ පුද ගිනි දෙවියනට- සෙත වෙයි යනු ලොවට-පැවති බොරු මායමකි පෙර සිට….-බුදුගුණඅලංකාරය 145 කව)මීට අමතරව සුන්දරික භාරද්වාජ හා අග්ගික භාරද්වාජ වැනි පුද්ගලයින් පිළිබඳ කථා වලින් ද ඒ වග පැහැදිලි වේ.