මහසමුද්‍රයේ ජලය එකවර දෝතට ගෙන පානය කළේ යැයි සැලකෙන සෘෂිවරයෙකි. පොළොන්නරුවේ පොත්ගුල් විහාර ප්‍රතිමාවෙන් නිරූපණය වන්නේ ද අගස්ත සෘෂිවරයා යැයි සී.එෆ්. වින්ස් මහතා ප්‍රකාශ කර ඇත. ඇන්ඩෲස් නෙල් මහතා ද ඔහුට එකඟව අදහස් දක්වා ඇත. අග්නිදිග ආසියානු ජාවා දූපතෙන් හමු වූ ; දැනට බතාවියා කෞතුකාගාරයේ තැම්පත්කොට ඇති අගස්ති සෘෂි රුවට පොත්ගුල් වෙහෙර ප්‍රතිමාව සමාන බවක් දක්වන නිසාත් එසේ පවසා ඇත. මොහු මහා බලසම්පන්න සෘෂිවරයෙකු යැයි බොහොමයක් මූලාශ‍්‍රයෝ කියති. මිත්‍ර හා වරුණ යන දෙදෙනාට දාව උර්වශී අප්සරාවට උපන් පුත්‍රයා යැයි කියයි. ඔහු කළයකින් උපන් නිසා හෝ කළයක් තුළ උපත සිදුවී යැයි විශ්වාස කරන්නේ ඔහුට ‘කුම්භයෝනි’ නම දුන්හ. කුම්භයෝනි යන්න සිංහලයට ආයේ කුඹුයොන් හා කළමුනිඳු යනාකාරයෙනි. වරක් නහුෂ නම් සක්විති රජු එම ශක්‍ර පදවියෙන් පහකළ අගස්ති සෘෂිවරයා තවත් වරෙක අහංකාර වින්ධ්‍යා පර්වතය තමාට නමස්කාර කරන තරමට පහත් කළේය. වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳව හා දෙමළ වියරණ ග්‍රන්ථයක් ද රචනා කළේ යැයි කියැවේ. තෝල්කාප්පියම් නමැති ද්‍රවිඩ වියරණ ග්‍රන්ථය, එනමින් ම හැඳින්වුණු ශිෂ්‍යයෙකු විසින් කළේ යැයි විශ්වාසයකි.අගස්ති නමින් තරකාවක් ද වෙයි. ශරත් සමයෙහි එම තාරකාව උදාවූ විට කැළඹුණු ජලය ප්‍රසන්න වන්නේ යැයි විශ්වාස කෙරේ. දුල යස පැරකුම් රජ දඹදෙණි වැසි -කුල වන්නින් මැඩැ තෙද බලයෙන් නිසි- නිල ලා සිරිලක තැන්පත් කළ ලෙසි -කැලඹුණු දිය පෑදූ වැනි අගතිසි- (පැරකුම්බා සිරිත 46 කව)