මහායාන බුදු සමයේ ඉගැන්වෙන ධ්‍යානී බුදුවරුන් පස්දෙනා අතරින් දෙවැනි බුදුන් වහන්සේයි. නැගෙනහිර දිශාවේ පිහිටි අභිරති නමැති ලෝකයේ වැඩවාසය කරන්නේ යැයි මහායානිකයෝ විශ්වාස කරති. දෙවන සියවස අයත් ‘විමලකීර්ති නිර්දේශ’ නම් කෘතිය උපුටා දක්වන සිංහල විශ්වකෝෂය කියන්නේ අක්ෂොභ්‍ය බුද්ධ වන්දනාව ඉතා දිගු ඉතිහාසයක් සහිත බවය. මෙම බුදුරුව මූර්තිමත් කිරීමේ දී දකුණත භූමි ස්පර්ශ මුද්‍රාවෙන් හා වම් අත ධ්‍යාන මුද්‍රාවෙන් නිරූපණය කෙරේ. ක්ෂෝභ යන්නෙන් කැළඹීම යන අරුථ දෙන නිසා අක්ෂෝභ ගන්නෙන් විරුද්ධාර්ථ දෙයි. භුමිස්පර්ෂ මුද්‍රාව ගෞතම බුද්ධ ප්‍රතිමා වල යෙදෙන්නේ මාරපරාජය උදෙසා මිහිකතගේ සාක්ෂි පැතූ ආකාරය දැක්වීමටය. මාර සේනාව මැද අක්ෂෝභ්‍යව හිඳිමින් එසේ කළ නිසා අක්ෂෝභ්‍ය බුද්ධ රූප සඳහා ද එම මුද්‍රාව ම යොදාගෙන තිබේ. අක්ෂෝභ්‍ය ප්‍රතිමාවල පාද යුගලය චක්‍ර ලක්ෂණය ද නළලත ඌර්ණ රෝමය ද සහිතව දැක්වේ. සද්ධර්ම පුණ්ඩරික නම් කෘතියට අනුව අක්ෂොභ්‍ය බුද්ධ යනු මහායාන බුදුසමයේ පිළිගැනෙන සොළොස් බුදුවරුන් අතරින් ද කෙනෙකි. මුන්වහන්සේ බලයෙහි සංකේතයක් වශයෙන් පිළගැනෙන නිසා භීම බුදුරවයෙකු ලෙස ද හඳුන්වති. හේවජ‍්‍ර හා සංවර යනුවෙන් උන්වහන්සේ ගේ වෙනත් ස්වරූප දෙකක් ගැන ද මහායාන බුදුසමයේ ඉගැන්වෙයි. මහායාන බුදුසමයට අනුව අක්ෂෝභ්‍ය බුදුරුදුන් මනුෂ්‍ය ලොවට පහළ වුයේ කෝණාගම සර්වඥයන් වහන්සේ ලෙසිනි. වජ‍්‍රපාණි යනු උන්වහන්සේගේ බෝධිසත්ත්ව ස්වරූපය යි. ඇතුන් දෙදෙනෙකු වාහනය කොටගත් උන්වහන්සේගේ පැහැය නීලවර්ණය. වජ‍්‍ර කුලයේය. සංකේතය ද වජ‍්‍රයකි. වායෝධාතුව නිරූපණය කරයි. ස්පර්ශේන්ද්‍රිය සංකේතවත් කරයි. වජ‍්‍රයාන දේවසමුහයා අතර බොහෝ දෙනෙක් අක්ෂෝභ්‍ය බුදුන් කෙරෙන් පහළ වූ අය සේ පිළිගැනේ. (චණ්ඩරෝෂණ- හේරුක- බුද්ධක- පාල- වජ‍්‍රඩාක- භයග්‍රීව- යමාරි- ජම්භල- යන දෙවිවරු හා මහාචීනතාරා- ජාංගුලි- ඒකජටා- පර්ණශබරි- ප්‍රඥාපාරමිතා- වජ‍්‍රචර්චිකා- මහාමන්ත‍්‍රා- නුසාරිනී- මහාප්‍රත්‍යංගිරා- වසුධාරා- ද්වජාග්‍රකේයුරා- නෛරාත්මා යන දේවතාවියන් ) කුඩා අක්ෂෝභ්‍ය බුද්ධ රූපයක් සහිත හිස් පළඳනාවක් සහිතව නීලවර්ණයෙන්ම නිරූපණය කෙරෙන මේ දේව සමූහයා අතින් බහුතරය අක්ෂෝභ්‍ය බුදුන්ගේ භීමගුණ පිළිබිඹු කරති.
අක්ෂෝභ්‍ය බුදුන් හා ෙභෙෂජ්‍යගුරු යන බුදුවරු දෙදෙනා ම එක් අයෙකු ලෙස ද ඇතැම්හු සලකති. ඒ දෙදෙනා ම නැගෙනහිරට(පෙරදිගට) අධිපතිව වැඩවාසය කරන හෙයිනි. අක්ෂෝභ්‍ය බුදු්ධ වන්දනාව වැඩිවශයෙන් පැතිර පවතින්නේ තිබ්බතයේ ය (ටිබැට්) එහි පවතින අක්ෂෝභ්‍ය බුද්ධ ප්‍රතිමා වල පද්මාසනය මත හෝ ධ්‍යාන මුද්‍රාවෙන් යුතු වම් අත මත හෝ වජ‍්‍රයක් වෙයි. වජ‍්‍රයක් නැත ද ධ්‍යාන මුද්‍රාවෙන් යුතුව ඇතැම් තැනෙක ඇති ගෞතම බුද්ධ රූප ද තිබ්බත වැසියෝ අක්ෂෝභ්‍ය බුදුන්ගේ යැයි විශ්වාස කරති. එසේ නම් කරති.