අකුව නම් මිනිස් උරයෙහි ඉදිරිපස හරස්ව පිහිටි අස්ථිය යි. බුද්ධාදී උතුමන්ගේ මේ අස්ථිය අකුධාතුව ලෙස හැඳින්වේ. නිරුපදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් (කුසල් ද අකුසල් ද ශුන්‍ය තත්ත්වයට පත්ව සිදුවන පරිනිර්වාණය) පිරිනිවන් පා වදාළ බුදු සිරුර ආදාහනය කළ පසු එහි අස්ථි කොටස් විසිර ගිය බවත් සතර දළදා, ලලාට ධතු හා අකු ධාතු නොවිසිරී (කැබලි නොවී) ඉතිරි වූ බවත් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.(ආයු බොහෝ වන සර්වඥයන්ගේ ආදාහනයේ දී ශරීර ධාතු නොවිසිර එක් රන් පිළිමයක් සේ තිබෙයි. ආයු මද සර්වඥයන්ගේ සතර දන්තධාතුය, අකු ධාතු දෙකය, ලලාට ධාතුය යන මේ ධාතු සත තිබිය දී අවශේෂ ධාතු මුංපියලි සාය(මුංඇට පියළි තරම්) කඩසාලැට සාය (සුණුසහල් තරම්) අබ ඇට සාය යන තුන් තරමෙක විසිර යන මුතු දෙණන් සේ විය.-පූජාවලිය.පූජ්‍ය කිරිඇල්ලේ ඤණවිමල හිමි සංස්.,(2002)පි 724 උණ්හීසං අකඛකා දෙවච-චතසෙසා දන්‍ත ධාතුයො ඉචෙචතා ධාතුයො-සත්‍ත විපපකිණ්නා න සත්‍ථුනො -දාඨාවංස 110 ගාථාව….මීට අමතරව බලන්න දීඝ නිකායට අයත් මහා පරිනිර්වාණ සූත්‍රයේ අග කොටස) මේ අයුරින් ගෞතම බුදුරදුන්ගේ සිරුරෙහි ඉතිරි වූ අකු ධාතුද්වය ම ලංකාවේ චෛත්‍යද්වයක තැම්පත් කොට ඇතැ’යි සැළකේ. දෙවනපෑතිස් රජ දවස මහින්ද මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි සුමන සාමණේරයන් වහන්සේ විසින් දකුණු අකු ධාතුව මෙරටට වැඩමවාගෙන ආ අතර රජතුමා එ් උදෙසා ථූපාරාම දාගැබ කරවා එහි තැන්පත් කළේය. සැරියුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය මහා සෘද්ධි ඇති සරභූ නම් ස්ථවිරයන් වහන්සේ වම් අකුධාතුව මෙරටට වැඩමවාගෙන’වුත් මහියංගන ථූපයේ තැන්පත් කළ සේක. මහාවංසයේ ‘ගීවට්ඨිධාතු’ යන වදන යොදාගෙන ඇත්තේ අකුධාතුවටම බව පිළිගැනේ.(ම.ව 16 පරි.බලන්න.)ථූපාරාම හා මහියංගන දාගැබ් වල ඉතිහාසය හදාරන විට මේ පිළිබඳ දැනුම වැදගත් වේ.