සාහිත්‍යාභිමානි-2022-කළුතර ඥානෝදය මහා විද්‍යාලය.

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රමුඛපෙළේ පාසලක් වන කළුතර ඥානෝදය මහා විද්‍යාලයේ 125 වන සංවත්සරයට සමගාමීව සංවිධානය කළ ‘සාහිත්‍යාභිමානී-2022’ සාහිත්‍ය කලා උළෙල පසුගිය 30 වැනි දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවත්වුණි. සිසු දරුදැරියන්ගේ විවිධ කලා නිර්මාණ අංග වලින් විචිත්‍ර වූ මේ උළෙලේ දී පාසලේ විවිධ ශ්‍රේණි වල දරුවන් විසින් විවිධ තේමා යටතේ නිර්මාණය කරන ලද පොත් 28ක් එළිදැක්වීම විශේෂත්වයකි. ඒ යටතේ එළිදක්වනු ලැබූයේ සඳැස්, නිසඳැස්, කෙටිකතා, ගීත විචාර ආදී විවිධ තේමා වලට අදාළ පොත් 28කි. මෙම උළෙලට සමගාමීව පැවත්වූ කථික, නිවේදන, ගීත ගායනා ආදී විවිධ තරග අංශ වලින් ජය ලැබූ සිසු සිසුවියන් ඇතුළුව සිසුන්ගේ මනෝ සමාජීය කුසලතා සංවර්ධන කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වූ කණ්ඩායම් ව්‍යාපෘතිවලට දායක වූ සහ ජයග්‍රහණය කළ දරුවන් හයසියයකට පමණ මෙහි දී ත්‍යාග හා සහතිකපත්‍ර පිරිනමන ලදී. මෙම අවස්ථාවට විද්‍යාලයී  ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම්, කොහුවල පොලිස් ස්ථානයේ මූලස්ථාන  පොලිස් පරීක්ෂක ජනක විතාන මහතා ද සහභාගි විය.

මෙම උළෙලෙහි විශේෂත්වය නම් මේ සඳහා අවශ්‍ය වූ සියලු ම ආකාරයේ පුද්ගල සම්පත් විදුහල තුළින් ම සපයාගෙන තිබීම යි. විදුහල්පති කේ. කේ. සමන්ත මහතාගේ උපදේශකත්වයෙන්  පාසල් කළමනාකරණ මණ්ඩලයේ හා පාසල් සාහිත්‍ය සංගමයේ දායකත්වය ඇතිව විද්‍යාලයීය ‘සිත්සරණී’ උපදේශන හා මාර්ගෝපදේශන ඒ්කකය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී. විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ විදුහල්පති, ආසියා කලාපීය මට්ටමේ සම්මානිත පරිසර‍වේදී, ශ්‍රී ලංකාවේ කඳුකර වලාකුළු වනාන්තර පිළිබඳ මජනයා දැනුම්වත්කිරිම සම්බන්ධයෙන්  Indian Galgotias University ආයතනයේ සම්මානනීය ආචාර්ය උපාධියකින් පිදුම් ලැබූ, සුමිත් ජයබන්ධු මහතා මෙහි දී  ‘ජීීවිතාවබෝධය සඳහා සාහිත්‍ය රසය’ මැයෙන් ප්‍රමුඛ දේශනය සිදුකරන ලදී. විද්‍යාලයීය කැටපත්පවුර මාධ්‍ය ඒ්කකය විසින් මෙහි නිවේදන කටයුතු මෙහෙයවූ අතර විද්‍යාලයීය රූපමාත්‍රා ඡායාරූප කලා ඒ්කකය විසින් ඡායාරූප ගැනීම හා විඩීයෝගතකිරීම සිදුකරන ලදී. මාධ්‍ය ඒ්කකයට අනුබද්ධ තාක්ෂණික අංශයේ සිසු දරුවන් විසින් එහි සියලු තාක්ෂණික කටයුතු මෙහෙයවන ලද අතර ශාලා අලංකරණ කටයුතු විද්‍යාලයීය පුස්තකාලය භාර ආචාර්යතුමියගේ සෞන්දර්ය සම්පත් දායකත්වය ඇතිව සිදුකරන ලදී.

බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති අරමුදල මේ සඳහා මූූල්‍ය ප්‍රතිපාදන සපයි තිබුණි.

 

 

මෙවැනි අධ්‍යාපනික පුවත්   ඔබගේ දුරකතනයට ම ගෙන්වා ගන්න අපේ NEWS GROUP එකට සම්බන්ධ වන්න

ඔබගේ පාසලේ, පිරිවෙනේ, පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ පුවත් අප වෙත whatsapp කරන්න