පළමු ප්‍රහාරය-කිත්ති කිත්වත-3 කොටස

දීර්ඝ කාලයක් පුරා පොළොන්නරුව හා අනුරාධපුරය ආශ්‍රිතව තොරතුරු එක්රැස්කිරීමේ යෙදී සිටි විජයබාහු චරපුරුෂ සේවාව ලබා දුන් තොරතුරු අනුව සන්නද්ධ සේනා ආසන්න වනගත ප්‍රදේශ වල රහසිගත කඳවුරු බැඳ ගෙන සිටියහ. නමුත් ප්‍රහාරය ආරම්භ වූයේ චෝළයින් කිසිසේත් අපේක්ෂා නොකළ අවස්ථාවක ය. පළමු ප්‍රහාරය එල්ලවූයේ අනුරාධපුරයට පිවිසෙන නැගෙනහිර නගරද්වාරයේ සිට අඩ යොදුනකට පමණ මෑතින් වූ ඉදිරි පෙළ ආරක්ෂක වළල්ලකට ය. එය මුර කුටි හා අට්ටාල වලින් සමන්විත විය. එයට පළමු ප්‍රහාරය එල්ල වූයේ හිමිදිරි උදෑසනටත් පෙරාතුව ය. නොනිදමි’යි දැඩි අපේක්ෂාවෙන් දෑස් දල්වාගෙන බලා සිටි මුර සෙබලුන්ට පවා ඉදිරි දර්ශන බොඳ වී පෙනීම ආරම්භ වී, දෙසවන් නිදිකිරා වැටෙමින් තිබියදී ය. දැඩි පිනි සහිත පරිසර තත්ත්වයත් සඳඑළියත් විසින් පෙනෙන තෙක්මානයේ ඇතිකර තිබුණේ පහන් දැල්වාගත් සතුරු බලමුළුවක් විසින් කඳවුරු භූමිය වටකරගෙන සිටින විලාසයකි. පින්නෙන් තෙමී ගිය ගස්කොළන් මත සඳ එළිය පතිත වීම නිසා ඇති වී තිබූ මේ තත්ත්වය චෝළ සෙබළුන්ට නුහුරු දසුනක් නොවී ය. මේ නිසා ඔවුන් මේ ආලෝක ලප පිළිබඳ එතරම් අවධානයක් යොමු කළේ නැත.  එහෙත් සැබැවින් ම ඒවා සාමාන්‍ය ආලෝක ලප නොවන බව පළමුකොට ම අවබෝධ කරගත්තේ චෝළ කඳවුරේ ඉදිරි පෙළ මුර සංචාරයේ යෙදී සිටි සෙබළුන් සතර දෙනෙකු විසිනි. ඉදිරි පෙළ මුර කුටි හා අට්ටාල වල අඩ වශයෙන් නිදිකරමින් සිටි මුර සෙබළුන් අවදිකරමින් අධීක්ෂණ මුර සංචාරයක යෙදී සිටි මේ සෙබළුන් හතර දෙනා නැගෙනහිර කෙළවර වූ අඳුරු සෙවණැලි අතර තිබූ මුර අට්ටාලයට ඔබ්බෙන් වූ ළඳු කැලෑ පඳුරු අතරින් නැගුණු සර සර හඬ දෙස සවන් යොමු කරනවාත් සමග දුටුවේ ඒ පඳුරු අතර යාන්තමින් දැල්වී තිබූ පන්දමක  ආලෝකයකි. එවැනි පන්දම් භාවිත කරන්නේ සතුරු ආරක්ෂක වළලල්ලට ඉතා සමීප ස්ථානයක සිට රාත්‍රී අඳුර අතර පණිවිඩ හුවමාරු කිරීමේ අරමුණෙනි. එම පන්දම් සතුරු ආරක්ෂක වළල්ලට අදාළ ඒවා සේ පෙනෙන ලෙස ස්ථාන ගත කළ ද, එය සකසා ඇත්තේ උපායශීලී ආකාරයකට ය. සතුරන්ට එහි ආලෝකය නිසි ලෙස දර්ශනය නොවන අයුරිනි. එහි චලනයන් හරහා සිය පිරිසට තොරතුරු සන්නිවේදනය කිරීමට හැකියාව පවතී. මෙවැනි දේ පිළිබඳ අසා තිබූ නමුත් ඒ පිළිබඳ චෝළ නිරීක්ෂකයින් සිව් දෙනා අතර වත් කතිකාවක් ගොඩනගාගැනීමට නොහැකි වූයේ මුව තුළටම ඇදී ආ තියුුණු හී සර නිසාවෙනි. ආසන්න ම මුර අටල්ලේ සිටි සොල්දාදුවා ඒ වන විට අඩ නින්දේ පසුවිය. ඒ නිසාත් ඔහු සිටි අටල්ලට ආසන්න පන්දමේ ආලෝකයට පිනි විසුල අවකාශයේ බොහෝ දුරක් පැතිර යෑමට නොහැකිව තිබූ නිසාත් ඒ සොල්දාදුවාට මේ සිදුවීම දැකගත නොහැකි විය. මේ නිසා එහි වාසිය අත් වූයේ විජයබාහු සේනාංක වලට ය. තව ද ප්‍රහාරයට බොහෝ කාලයකට පෙර පටන් සතුරන්ගේ අවධානය අඩුවෙන් ම යොමු ඇති අන්ත සහ දුර්වල ස්ථාන පිළිබඳ ලැබී තිබූ තොරතුරු අනුව පළමු ප්‍රහාරය එල්ල වූයේ මෙම ස්ථානයට ය. නැගෙනහිර අන්තය වැඩි වශයෙන් ම විවෘතව පැවතියේ චෝළ බල ප්‍රදේශය තුළට නිසා චෝළයින් එදෙසින් ප්‍රහාරයක් අපේක්ෂා නොකළ හ. එපමණක් නොව නීරීක්ෂකයින් පවා මේ අන්තය හරි හැටි නිරීක්ෂණය නොකළ අතර ඇතැම් මුර අට්ටාල වල පවා තත්ත්වය ඉතා දුර්වල විය. ඒවායේ සිටි ඇතැම් සෙබළුන් ද රාත්‍රී සේවා මුරය හරි හැට ඉටු නොකළේ නීරීක්ෂකයින් හරි හැටි නිරීක්ෂණය නොකළ නිසා පමණක් ම නොවේ. චෝළයින් ලංකාවේ බලය අල්ලා ගැනීමෙන් අනතුරුව අනුරාධපුර බටහිර හා දකුණු ප්‍රදේශ වලින් යම් යම් ප්‍රහාර එල්ල වී තිබුණ ද නැගෙනහිර දෙසින් එවැනි සිදුවීමක් වාර්තා වී නොතිබූ නිසාත් ය. මේ නිසා එදෙසින් ප්‍රහාරයක් එල්ල නොවනු ඇත යන දැඩි විශ්වාසයේ චෝළයෝ පසු වීම විජයබාහු සේනාංක වලට වාසියක් බවට පත්ව තිබුණි. තව ද, ආරක්ෂාව පිළිබඳ දැඩි අවදානමක් නොතිබූ නිසා මේ අන්තයේ රැකවල් පිණිස යෙදූයේ වැඩි වශයෙන් ම ආධුනික සෙබළුන් ය. ඊට අමතරව ඉපැයීමේ අරමුණ ඇතිව මුම්මුඩිශෝලමණ්ඩලම් හි යුධ සේවයට ආ විශේෂ පිරිසක් ද මේ අන්තයේ සේවය කළහ. ඔවුන් නම් කඳවුරේ ඉහළ නිළධාරීන්ගේ පුතුන් හා ඥාතීන් ය. අවදානමෙන් අඩු මේ අන්තයේ ඔවුන් සේවයට යොදවා තිබුණේ හදිසි ප්‍රහාරයකින් ඔවුන්ට විය හැකි හානි අවම කරගැනීමේ අරමුණ ඇතිව ය. ඒ සම්බන්ධයෙන් සෙසු සෙබළුන් අතර අප්‍රකාශිත විරෝධයක් වූයෙන් මුර සෙබළුන් අතර යම් බෙදීමක් ද මේ නිසා වර්ධනය වී පැවතුණි. මේ සියල්ල නිරීක්ෂණය කළ විජයබාහු සේනා පළමු ප්‍රහාරය සඳහා මේ අන්තය තෝරා ගන්නා ලදී. ආරක්ෂාව පිළිබඳ අධිතක්සේරුව තුළ නිර්මාණය වන අවදානම පුර්ණ වශයෙන් ම විජයබාහු හමුදා විසින් සිය වාසියට යොදාගෙන තිබුණි.

නිරීක්ෂකයින් සිව් දෙනා ඉලක්ක කරගත් පළමු සුළු ප්‍රහාරය සාර්ථක විය. මෙම සිදුවීමට පළමුව ඉන් හෝරා තුනකට පෙරාතුව මාතොට අන්තර්ජාතික වරාය දෙසට පිටත්ව ගිය සේනාංකය සාර්ථකව මල්වතු ඔයේ වම් ඉවුරේ වූ බලගතු ම සොලී කඳවුරු හතරක් මගහැර ගොස් තිබුණි. ඔවුන්ගේ ඉලක්කය වී තිබුණේ මාන්තායි අන්තර්ජාතික වරාය පරිශ්‍රය යි. එයට ඉතා ආසන්නව චෝළ කඳවුරක් පිහිටා තිබුණු අතර අය අතරමැදි හුවමාරු කඳවුරක් වශයෙන් ක්‍රියාත්මක විය. සේවා කාලය අතර තුර නිවාඩු ලබා ගම රට බලා යන සෙබළුන් මෙන් ම, යළි සේවයට වාර්තා කරන සෙබළුන් ද එහි රැඳී සිටි අතර සැලකියයුතු ආරක්ෂාවක් ඊට සපයා තිබුණි. එහි එක් අන්තයක නිළධාරී නිවෙස්න පිහිටා තිබූ අතර එය අධි ආරක්ෂිත කලාපයක් වශයෙන් පැවතුණි.

 

අනුරාධපුර නැගෙනහිර දොරටුව දෙසින් චෝළයින්ගේ ඉදරි ආරක්ෂක වළල්ල බිඳ දැමීමට විජයබාහු සේනාංක වලට වැඩි වේලාවක් ගත නොවී ය. භූමියේ මුර සංචාර කළ භටයින්ද, ආරක්ෂක මුර කුටි වල හා අටළු වල සිටි සෙබළුන් ද සිහින් කෙඳිරිලි හඬක් පමණක් ඇති කරමින් අවසන් නින්දට පිවිස තිබුණි. නමුත් පළමු ආරක්ෂක වළල්ලේ සෙබළුන් ඒ අයුරින් ම සියරාජකාරී කරන ආකාරය ඊට නුදුරින් වූ දෙවැනි ආරක්ෂක වළල්ලේ චෝළ සෙබළුන්ට දැකගන්නට හැකිවිය. ඊට හේතුව මියගිය චෝළ සෙබළුන් වෙනුවට කල් තියා සූදානමින් චෝළ නිළ ඇඳුමින් සැරසී සිටි සිංහල හේවායින් එකී ස්ථාන වලට ක්ෂණිකව ස්ථානගතව සිටි නිසා ය. මේ නිසා ඉදිරි ආරක්ෂක වළල්ලේ සැලකියයුතු කොටසක් බිඳවැටී තිබුණ ද ඒ බව දෙවන ආරක්ෂක වළල්ලට හෝ දැනගැනීමට අවස්ථාවක් නොලැබුණි. තව ද ඉදිරි ආරක්ෂක වළල්ල නිහඬ කරවන අතරවාරයේ ම, එම පළමු ආරක්ෂක වළල්ලේ දුර්වල ස්ථාන අතරින් ඉදිරියට බඩගා ගොස් සිටි කුඩා කණ්ඩායම් කිහිපයක් විසින් චෝළ දෙවන ආරක්ෂක වළල්ල ද සූක්ෂ්ම අයුරින් නිහඬ කරවමින් සිටි නිසාවෙනි. වියළි කලාපීය නොඋස් කඳු මුදුන් වලට ඉහළින් හිමිදිරියේ පළමු හිරුකිරණ යාන්තමින් පතිත වෙමින් තිබියදීත් නැගෙනහිර අන්තයේ චෝළයින්ගේ පළමු හා දෙවන ආරක්ෂක වළලු දෙක ම ඉතා සූක්ෂම අයුරින් සිංහල සොල්දාදුවන් විසින් අල්ලාගෙන තිබුණි. නමුත් බොහෝ වේලාවක් යනතුරුත් චෝළයින් ඒ බව දැන සිටියේ නැත. මේ අතරවාරයේ චෝළ කඳවුරේ බටහිර දෙසින් විශාල ඝෝෂාවක් සමග විශාල ගව රංචුවක් කඳවුර දෙසට කඩාවදින්නට විය. සිය ගණනක ගවරැළක් කිසිදු හේතුවකින් තොරව මේ වැනි අවස්ථාවක මෙලෙස දිවනොයන බව අවබෝධ කරගත් චෝළයෝ දිවියෙකුගේ හෝ එවැනි විලෝපිතයෙකුගේ ප්‍රහාරයකින් ගවරැළ කලබලයට පත්ව ඇති බව සිතන්නට ඇත. කෙසේ වෙතත් උපරිම නිදිබර තත්ත්වයක පසු වූ චෝළ සෙබළුන් මේ සිදුවීම නිසා යම් කැළඹීමකට ලක්ව සිටිය හ. ඒ තත්ත්වය උදා වූයේ සතුරන්ගේ ප්‍රහාරයක් හා සම්බන්ධ සිදුවීමක් නිසා නොවන බව සිතූ නමුත් ඔවුන්ගේ නිගමනය නිවැරදි නොවන බව අවබෝධ වූයේ ඊසාන දිගට බරව තිබූ කඳවුරේ ක්ෂණික සැපයුම් දොරටුවක් දෙසට එක්වර ම ගිනි දැල්වූ ඊතල වරුසාවක් පතිත වීමත් සමගින්. ගව රැළ සම්බන්ධ සිදුවීමෙන් යම් කැළඹීමකට ලක්ව සිටි බටහිර අන්තයේ සොල්දාදුවන්ට උතුරු හා ඊසාන දෙසින් එල්ලවෙමින් පැවති ක්ෂණික හා අනපේක්ෂිත ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබුණේ ප්‍රහාරය එල්ල වී අඩහෝරාවකට ආසන්න කාලයකට පසු ය. කඳවුරේ විශාලත්වය නිසා මේ තොරතුරු ගලා ඒමේ කාලය දීර්ඝ විය. මේ ප්‍රහාරය එල්ල වන අවස්ථාව වන විටත් නැගෙනහිර දෙසින් කඳවුරේ ආරක්ෂක වළලු දෙකක් අත්කරගෙන සිටි සිංහල සොල්දාදුවන් සුපුරුදු පරිදි චෝළයින් විලසින් ම සිය සේවා කටයුතු සිදුකරමින් සිටියහ. වටින් විට මුර සංචාරක සෙබළුන් විසින් සිදු කළ විමසීම් වලට පිළිතුරු දීමේ හැකියාව ද දෙමළ බස හදාරා කඳවුරේ පරිපාලනය පිළිබඳ යම් අවබෝධයක සිටි සිංහල සෙබළුන්ට හැකියාව තිබුණි. මේ නිසා කිසිදු සැකයකින් තොරව ම සිය කටයුතු කරගෙන යෑමට මේ සෙබළුන්ට හැකි විය. නමුත් මියගොස් සිටි චෝළ සෙබළුන්ගේ සිරුරු ඉතා සූක්ෂ්ම අයුරින් පිටතට ඇදගෙන යෑමේ කටයුතු ඒ වන විටත් සිදුවෙමින් පැවතුණි. ඇතැම් සිරුරු සැක මතු නොවන අයුරින් මුර කුටි තුළ ම තැන්පත් කරන ලදී.

මේ අතරවාරයේ උතුරු හා ඊසාන දෙසින් එල්ල වූ ප්‍රහාරය ක්‍රමයෙන් දරුණු විය. නමුත් විජයබාහු ප්‍රහාරක කණ්ඩායම් ප්‍රහාර එල්ල කළේ ඉතා සූක්ෂ්ම අයුරින් සැඟවී හිඳිනිමි. මේ නිසා ප්‍රතිප්‍රහාර එල්ලකිරීම දුෂ්කර විය. එපමණක් නොව ඔවුන්ට ඉදිරියෙන් ඒ වන විටත් ගිනි ගන්නාසුළු තෙල් වර්ගයකින් පොඟවන ලද රෙදි ගුලි පේලි කිහිපයක් යොදා ඒවාට ගිනි දල්වනු ලැබූයෙන් සොලී අශ්වාරරෝහකයින්ට ද ගමන්කිරීමේ දුෂ්කරතා මතු විය. මේ නිසා මතුවිය හැකි අවදානම් තත්ත්වය පිළිබඳ සලකා ඉහළ නිළධාරීන් විසින් දකුණු, නැගෙනහිර හා බටහිර මුර ආරක්ෂක වළලු ශක්තිමත් කිරීමට කටයුතු කළ අතර ම, කඳවුරේ බටහිර දෙසින් ස්ථාන ගතකර තිබූ සංචිත සේනාංකයේ නවාතැනට ද ක්ෂණික දැනුම්දීමක් නිකුත් කරන ලදී. කඳවුරේ ඒ උතුරු දෙසට පැමිණෙන ලෙසයි. උතුරු හා ඊසානදිග ප්‍රහාරය තවදුරටත් දැඩි වෙමින් පැවති අතර, ගිනි ඊතල ප්‍රහාරය නිමා කර සාමාන්‍ය ඊතල වලින් ප්‍රහාර එල්ලවෙමින් පැවතුණි. නමුත් ඒ ප්‍රහාරයේ විශේෂත්වයක් වූ අතර එක්වරම එක් අන්තයකින් දැවැන්ත ඊ වරුසාවක් එල්ල වී ක්ෂණිකව නතර වූ අතර ඒත් සමග ම වෙනත් කෝණයකින් යළි ප්‍රහාරය ඇරඹුනි. මේ නිසා ප්‍රතිප්‍රහාර එල්ල කළ යුත්තේ කවර දෙසට ද යන්න චෝළ සෙබළුන්ට එක්වර ම තීරණය කිරීම දුෂ්කර විය. විජයබාහු සේනාංක කල් ඇතිව කණ්ඩායම් වශයෙන් ස්ථානගතවී සිටි නිසා මේ තත්ත්වය ඇති කළ හැකි විය. නමුත් කඳවුරේ දකුණු, නැගෙනහිර හා බටහිර දෙසින් දැඩි නිහැඬියාවක් පැවතියා පමණක් නොව, කඳවුරට තරමක් ඈතින් තිබූ ඉදිරි ආරක්ෂක වළල්ලටත් ඔබ්බේ වූ ගස් මත රහසිගත අයුරින් නිර්මාණය කර තිබූ චෝළ  පෙරමග චර පුරුෂයින්ගේ අටළු වලින් ද නිසි රටාවට අනුව ආලෝක සංඥා නිකුත් වූයේ ඒ දෙසින් කිසිදු ආපදාවක් නොමැති බව දැකවීමක් ලෙසිනි. නමුත් මේ සියල්ල පිළිබඳ මනා ලෙස අධ්‍යයනය කර තිබූ විජයබාහු හමුදාවෝ ඒ වන විටත් එකී පෙරමග චරපුරුෂයින් අල්ලා ඔවුගේ අටළු අත්පත් කරගෙන ඔවුන් ලෙසින් ම සේවා කටයුතු අඛණ්ඩව කරගෙන යමින් සිටිහ ය. මේ නිසා දකුණු, නැගෙනහිර හා බටහිර දෙසින් ලැබුණු සංඥා සත්‍ය ඒවා නොවීය. එහෙත් ඒ පිළිබඳ ගැඹුරින් තොරතුරු සෙවීමට තරම් කඳවුරේ ඉහළ නිළධාරීන්ට අවස්ථාවක් නොලැබුණේ උතුරු දිග ප්‍රහාරය නිසාවෙනි. මේ නිසා උතුරුදිග ප්‍රහාරය අතරතුර විශාල ලාංකික සේනාංකයක් කඳවුරේ නැගෙනහිර දෙසින් කඳවුර තුළට ඇතුළු වෙමින් සිටියහ. ඒ අතර උතුරු හා ඊසානදිග ප්‍රහාරය නොනවත්වා ම සිදුවිය. ක්‍රමයෙන් හිරු එළිය පතිත වත් ම සිංහල සොල්දාදුවන් විශාල පිරිසක් තැන තැනින් නැගී සිට චෝළයින්ට පෙනෙනෙ සේ ඔබ මොබ ගමන්කරන්න ට වූහ. මේ නිසා විශාල සේනාංකයක් තමන්ට උතුරු දෙසින් ඇති ආකාරයක් චෝළයින්ට නිරීක්ෂණය විය. ඔවුහූ හැකි තරම් සංචිත සේනාංක උතුරු දෙසට කැඳවූ අතර මාන්තායි දෙසට ද පණිවිඩකරුවන් පිටත් තර තිබුණි. නමුත් ඒ කිසිදු පණිඩිවකරුවෙක් මල්වතු ඔය නිම්නයේ වූ පළමු චෝළ කඳවුරටවත් ළඟා වීමට අසමත් වූහ. අතර මග රැක සිටි විජයබාහු සේනාවේ කුඩා කණ්ඩායම් විසින් මේ පණිවිඩකරුවන් අඳුරේ ම නිහඬ කර තිබුණි.

ඉතිරි කොටස මීළඟ කලාපයෙන් බලාපොරොත්තු වන්න.