තාත්තාගේ commerce පාඩම

අපේ තාත්තා දැන් ගොඩක් වයෝවෘද්ධයි. නමුත් තාත්තා පිළිබඳ පැරණි මතකයන් තවමත් මා තුළ යොවුන් වයසේ පවතී. ඒවා මහළු වන්නේ නැත. ඊට හේතු රැසක් තිබේ. ඒ හේතු පවසනවාටත් වඩා තාත්තා සම්බන්ධ කතාවක් ප්‍රකාශ කිරීම වඩා උචිත යැයි සිතමි.

මා දන්නා කාලයේ සිට තාත්තාට මාසික වැටුප් ලැබෙන රැකියාවක් තිබුණේ නැත. තාත්තා නිවසේ අවශ්‍යතා සඳහා මුදල් ඉපැයීම පිණිස විවිධ දේ කළේ ය. ගොවිතැන්, වෙළඳ කටයුතු, පෙදරේරු වැඩ ඇතුළු බොහෝ දේ සිදු කළේ ය. එසේ ඔහු ඉපැයූ මුදලින් අප ගේ කුස පිරවීමට කටයුතු කළ අතර තාත්තා තවත් අපූරු වැඩ ගණනාවක් කළේ ය. මට ඉන් එක් කටයුත්තකට සම්බන්ධ කතාවක් සිහිවේ.

අපේ නිවසේ ඉතා කුඩා වෙළඳ සැලක්  විය. දෛනිකව ඉතා සුළු වෙළඳාම් ප්‍රමාණයක් සිදු කළ එහි වැඩි වශයෙන් ම තිබුණේ එළවළු ඇතුළු ආහාර ද්‍රව්‍යයන් ය. වෙළඳ සැලට වෙනසක් එක්කිරීමට දෝ වරක් තාත්තා ටෙනිස් බෝල ගෝනියක් ම රැගෙන ආවේ ය. ඒවා හොඳ ම තත්ත්වයේ ඒවා නොවී ය. නිෂ්පාදිත කර්මාන්තශාලාවේ තත්ත්ව පරීක්ෂාවෙන් අසමත් වීම නිසා ඉවත් කළ ටෙනිස් බෝල ප්‍රමාණයකි. ඒවා ඉතා අඩු මිලකට තොගයක් ම ලබා ගෙන අඩු මුදලට ම අලෙවි කිරීම පිණිස ගෙනැවිත් තිබුණි. විවිධ වර්ණ වලින් යුත් මේ ටෙනිස් බෝල ටික දුටු වේලේ පටන් ඉන් එකක් හිමිකරගැනීමේ ආශාවක් මා තුළ ඇති විය. ඒ හැඟීම එලෙස ම අයියා තුළ ද ඇතිව තිබුණි. වෙළඳාම පිණිස ගෙන ආ ටෙනිස් බෝල ප්‍රමාණය තාත්තා ගණනය කර තිබුණාදැ’යි අප දෙදෙනා නොදැන සිටි නමුත් ඉන් එකක් හෝ සොරා ගැනීමේ ආශාවක් අප තුළ ඇති වූයේ නැත. සොරා ගත්ත ද එය රහසින් තබා ගැනීමේ හැකියාවක් ද නොවී ය. මේ  නිසා අවසරය ලබා ටෙනිස් බෝලයක් ලබාගෙන ලඟ තබා ගැනීම වඩාත් උචිත බව අයියාගේ මෙන් ම මාගේ ද මතය විය. ඒ නිසා පළමු කොට ම එළවළු කොරටුවේ වූ පළා පාත්ති වලට වතුර දමන අතර දිනක් හැන්දෑවේ අප දෙදෙනා විසින් තාත්තාට ඒ පිළිබඳ පොදු ඉල්ලීම ඉදිරිපත් කරන ලදී.

‘සල්ලි තියනවා ද? තියනවා නම් සල්ලි දීලා ගන්න පුළුවනි’

තාත්තාගේ පිළිතුර තුළ තිබූ අමානුෂිකකම පිළිබඳ එදා අප තුළ ඇති වූයේ තද කෝපයකි. ඒ කෝපය වැඩි වූයේ ගමේ අප වයසේ ම කොලු කුරුට්ටන් කිහිප දෙනෙක් ම ටෙනිස් බෝල මිල දී ගෙන අපගේ නිවස ඉදිරිපිට ම පුරන් කුඹුරේ ක්‍රිකට් සෙල්ලම් කරනු දුටු විට ය. ඒ වන විට එතරම් විශාල වෙළඳසැල් දැක නොතිබූ අපට ගෙදර වූ කුඩා වෙළඳසැල මහත් අභිමානයක් වූයෙන් ගමේ කොලු කුරුට්ටන් අතර අප දෙදෙනා හැසිරුණේ ධනපති පන්තියේ කුමාරයින් දෙදෙනෙකු ලෙසිනි. එහෙව් අපිට ක්‍රීඩා කිරීමට ටෙනිස් බෝලයක් වත් නැතිව අනුන්ගේ ටෙනිස් බෝල වලින් ක්‍රීඩා කිරීමට සිදුවීමත්…හැන්දෑවේ ඒ ටෙනිස් බෝල අයිතිකරුවන්ට පවරා හිස් අතින් නිවසට ඒමට සිදුවීමත් නිසා තාත්තා පිළිබඳ කෝපය වඩ වඩාත් උත්සන්න විය. මේ නිසා එළවළු කොරටුවට වතුර දැමීමට  යෑම මගහැරීමට තීරණය කළත්, එසේ කළ විට විදින්නට සිදුවන ප්‍රතිවිපාක සිහි වීම නිසා ඒ ආකාරයේ විරෝධතාවක් නොදැක්වීමට තීරණය කළෙමු. නමුත් විරෝධතාවක් දැක්වීමේ තදබල උවමනාවක් සිත් තුළ නළියමින් පැවතුණි.

සිදුවීමෙන් සතියකට පසු තාත්තා අප දෙදෙනාට ම කතා කළේ ය.

‘ටෙනිස් බෝල ගන්නවා ද? දැන් ඉවර වෙන්නත් ළඟ නිසා ගන්නවා නම් දැන් ම කියපල්ලා….’.

‘ගන්න ඉතිං තාත්තා දෙනවායැ…’

‘ඔව් දෙන්නෑ…ඕන නම් ගනිල්ලා…………….සල්ලි දීලා……………….’

‘සල්ලි….? අපි ළඟ සල්ලි තියනවායැ… අනික අවුරුද්දටත් කොච්චර කල් තියනවා ද? අවුරුද්ද වත් ආවා නම් ඔය කාට කාට හරි වැඳලා කීයක් හරි ගන්න තිබ්බා ………………..’

‘වැඳ වැඳ හිඟා කන්න පිස්සු ද උඹලාට…?’

‘ඉතිං වෙන ක්‍රමයක් තියනවා ද අපිට……….’

‘ඇයි යකුණේ…තොපිලාට පිස්සු ද?……………….වරෙල්ලා දෙන්න එක්ක ම…සල්ලි දෙන්නම් මම….? ‘

ඇස් උඩ ගියා. ඒක අහලා. සල්ලි දෙන්නම්? ඒක වෙන්න පුළුවන් දෙයක් ද? ගම වටේ ඇවිදලා කොළ මිටි දහයක් විකිණුවා ම රුපියලක් සන්තෝසම ලෙස අතට දෙන තාත්තා….සල්ලි දෙයි ද නිකං.?

කෝකටත් කියා අපි දෙනො තාත්තා සමග ගියෙමු. තාත්තා ගේ පිටුපස වත්තට අප ගියේ ය.. අපි සිටි ඉඩම ඒ වන විට බෙදා වෙන් කළ එකක් නොවී ය. අයිතිකරුවන් රැසක් සිටිය ද නිවසක් තනා පදිංචි වී හිටියේ අප පමණි. අනෙක් අය ඉඩමබෙදා වෙන් කරන තුරු නිවසක් ඉදිනොකොට බලා සිටියේ බෙදුම් නඩුව අවසන් වෙනතුරු ය.  ඒ නිසා අපට කෙටි කලකට හෝ මේ ඉඩමේ බොහෝ ඉඩ  තිබුණි. තාත්තා අප එක්කා ගියේ ඒ පුළුල් අවකාශයට ය. එතැනට ගිය තාත්තා බිම අඩි විස්සයි දහයේ පමණ කොටු දෙකක් ඇඳ අප දෙස බැලී ය.

‘මේකේ පාත්ති දාලා මඤ්ඤොක්කා හිටවපල්ලා…. මේ දවස් වල ගණන් හොඳයි….’

‘මොකක්…………? සල්ලි දෙන්න නේ එන්න කිවුවේ…මඤ්ඤොක්කා හිටවන්න කියලා ද දැන් කියන්නේ….?’

ඒකට උත්තර ලැබුණේ නැත. තාත්තා යන්න ගියේ ය. කොටු දෙක ඇතුළේ වාඩි වී තාත්තාට බැනීම ආරම්භ කළ අපි දෙදෙනා ඒ වන විටත් ධනපති කුමාර තත්ත්වයේ සිට හිඟන කොළු මානසිකත්වය දක්වා ශීඝ්‍ර පසුබැසීමක නිරතව සිටියෙමු. ඒත් එය විනාඩි පහළොවකින් නතර කිරීමට සිදුවිය. විනාඩි පහළොවක් යද්දී තාත්තා මඤ්ඤොක්කා දඬු මිටියක් ගෙනැවිත් බිම තබා යන්නට ගියේ ය. කිසිවක් කීවේ නැත.

සතියක් යද්දී සියල්ල වෙනස් වී තිබුණි. මඤ්ඤොක්කා දඬු වළ ළාවට දළු මෝදු වී තිබුණි නමුත් මඤ්ඤොක්කා පාත්ති පුරා තාත්තාට බැනීමේදී විසි වූ කෙළ බිඳති විසිර තිබෙන්නට ඇත. ඒ හඬ ද ඒ අවකාශයේ තිබෙන්නට ඇත. ඒ අතරේ මඤ්ඤොක්කා පැල ක්‍රමයෙන් වැඩී ලොකු මහත් විය. ඒවා ලොකු මහත් වන අතර තාත්තාට බැනීම අඩු වූ නමුත්, දිනක් යළිත් බැනීම තදින්ම ආරම්භ කිරීමට අපට සිදු වූයේ කඩයේ තිබූ අවසන් ටෙනිස් බෝලය ද අලෙවි වූ නිසා ය.

‘දැන් මඤ්ඤොක්කා වවලා මොකක් ගන්න ද?’

‘හරි හරි….ඒවා වෙලාවට කෙරෙයි…’

තාත්තා අප පිටුපසින් ම සිට ඇත. බැනීමෙන් කෝපය තුනී කරගැනීමේ පරම අයිතිය ද අහිමිවූ අපි එදින ද තාත්තාගේ එළවළු කොරටුවේ කෙහෙම්මල් එළවළු පාත්ති මත වතුර බාල්දි පිටින් අතහැරියෙමු. ඒ ආකාරයට කාලය ගෙවී ගියේ ය.

‘දැන් අල බැහැලා ඇති…යමල්ලා බලන්න………..’

මඤ්ඤොක්කා කිලෝ ගණනක්….ඒවායේ වටිනා කම රුපියල් හතලිස් දෙකක්. බුදු අම්මෝ…හතලිස් දෙකක්.ඒත් දැන් මේවා විකුණන්නත් එපැයි.

‘මඤ්ඤොක්කා ඔක්කොම මම ගන්නවා.’

මොකක්….මේ ඕක්කොම….? තාත්තා ගන්නවා….?

‘ඔව්…ඒත් සල්ලි දෙන්නෑ උඹලාට. ටෙනිස් බෝල් 2ක් දෙන්නම්.’

‘ටෙනිස් බෝල? කෝ ඉතිං ඉවරනේ ඒවා..’

තාත්තා උත්තර නොදී ම මඤ්ඤොක්කා උරයත් අරගෙන ම ගේ පැත්තට ගියේ ය. ටික වේලාවකින්…………….

‘කෝ………..? ..ංආ……………………..ඔන්න උඹලට ටෙනිස් බොල දෙකක්…’

තාත්තා සියල්ල අවසන් වෙන්නට පෙර ටෙනිස් බෝල දෙකක් නිවසේ කොහේ හෝ පරිස්සමට තබා තිබුණි. මඤ්ඤොක්කා සියල්ල තාත්තා ලබා ගත් අතර අපට එලෙස ටෙනිස් බෝල දෙකක් ලබා දෙන ලදී.

ටෙනිස් බෝල දෙක ලැබීමේ ප්‍රීතිය අපි ඉහළින් ම සැමරුවෙමු. දවස පුරා අපට වෙනත් කිසිවක් සිහි වූයේ නැත. ක්‍රීඩාව ම පමණි. නමුත් රාත්‍රිය උදා වන විට ඒ ටෙනිස් බෝල දෙක අපට හීලෑ වී තිබුණු අතර අරුමය ද, ප්‍රීතිය ද හීන වී තිබුණි.

‘පාඩුයි. ටෙනිස් බෝල් දෙකට පහයි නේ…..හතලිස් දෙකෙන් පහක් ගියා ම තිස් හතයි….තාත්තා අපිව රැවට්ටුවා’

‘අපිනේ මහන්සි වුණේ…තාත්තාට තියෙන්නේ ඒ ටික විකුණලා සල්ලි ගන්න විතරයි…’

‘ඒකනේ…අසාධාරණයි අප්පා’

එදින නින්දේදීත් අපට සිහිවූයේ තාත්තා වංචා කළ රුපියල් තිස් හත ගැන ය. පහුවදා ඉස්කෝලේ යන අතර කතා කළ මාතෘකාව වූයේත් එය ය.

‘අසාධාරණයි…තිස් හතක් කියන්නේ………….බුදු අම්මෝ…කීයක් ද?’

ගෙදර එන අතරත් ඒ ගැන කතාව ඇදුණි.

‘අයේ නම් මොකක් වත් තාත්තාට දෙන්න නරකයි.’ අපි වවලා අපි ම විකුණමු..’

‘ඔව්…අසාධාරණයිනේ’

නිවසට ගියාට පසු ද හොරාට කුටු කුටු ගෑවේ තිස් හත ගැන ය. තාත්තාට එය ඇහුණේ නැත.

‘හෙට කළුතර යනවා….දෙන්නා එක්ක ලෑස්ති වෙයල්ලා…’

කළුතර?

කළුතර අපට මතක තිබු‍ණේවත් නැත. කළුතරට ගිය කාලයක් මතක නැත. කෙසේ හෝ අපි තාත්තා එක්ක පහුවදා කළුතර යාමට පිටත් වුණෙමු. තාත්තා බස් එකට සල්ලි දෙන්නට උඩ සාක්කුවට අත දාන විටත් අපට සිහි වුයේ අපේ තිස් හත ගැන ය. තාත්තා ළඟ සල්ලි ගොඩක් නොතිබුණත් තිස්හත දෙන්න තරම් සල්ලි තිබුණු බව අපි දෙදෙනා ම දුටුවෙමු.

‘අසාධාරණයි…..’

තිස් හතක් කියන්නේ කීයක් ද අප්පා………………….?

හොඳට ම අසාධාරණයි.

කළුතර ගිය තාත්තා අප රැගෙන විශාල සෙනගක් ගැවසුණු තැනකට ඇතුළු විය.

‘මහපොළ’

ඒක දැක්කේ එදා ය.

විවිධ ෙවෙළඳසැල් අතරන් අප අල්ලාගෙන ඇවිද ගිය තාත්තා තාත්තාට කැමති තැන් වල නතර වී ඇතැම් දේ වල මිල ගණන් ඇසුවේ ය. විස්තර ඇසුවේ ය.  එක් තැනක දී තාත්තාට ගැළපෙන කමිසයක මිල ගණන් අසා මිල දී නොගෙන ම ආවේ ය. තවත් තැනක දී  ගෙදරට බිත්ති ඔරලෝසුවක් ගන්නට මිල ගණන් අසුව ද මිල දී ගත්තේ නැත. අන්තිමට තාත්තා නතර වූයේ පොත් කඩයක ය. එතැනත් පොත් ගොඩක ගණන් ඇහුවේ ය.

‘අර තිස්හත තිබ්බා නම් මං කරන්නේ අර පොඩි බස් එක ගන්න එක. ඒක පහයි…කමක් නෑනේ…තිස් හතක් තියනවානේ.’

‘තිස්හතක් තියනවා…කෝ?’

‘හරි ඉතිං…නෑ තමා…ඒත් ඒක අපේ නේ…’

‘අපේ වුණාට දුන්නෑනේ…’

‘ඒක තමා….අසාධාරණයි’

අපේ දුක් මහන්සිය තාත්තා පැහැර ගැනීම ගැන අපට මුල දී තිබුණේ කේන්තියක් වුවද කේන්තියේ ඵලයක් නැති තැන එය දුකකට පෙරලී තිබුණි. ඒ අතර තාත්තා පොත් පාර්සලයක් මිල දී ගත්තේ ය.

‘මේ පොත් හය කීය ද?’

තාත්තා පොත් හලේ සේවකයාගෙන් ඇසුවේ ය.

‘තිස් හයයි.’

තාත්තා මුදල් ගෙවා පොත් හහ ලබා ගෙන අප දෙදෙනා ද කැටුව යළි නිවසට ආවේ ය.  පොත් වලට වියදම් කළේ අපේ තිස් හතෙන් වියයුතු ය. මග දිගට ද තේමාව වූයේ එයයි. නිවසට ආ පසු තාත්තා පොත් හය අප අත තැබී ය.

‘මේ පොත් හය ගත්තේ උඹලාගේ ඉතුරු රුපියල් තිස් හතෙන්…..’

‘මේ ටික තිස් හයයිනේ……කෝ ඉතුරු රුපියල…..?’

‘ඒකට මං කඩදහි ටිකක් දෙන්නං…..ඔය පොත් හොඳට කියවලා අමාරු වචන ලියපල්ලා’

ඒ තරම් උනන්දුවක් නොවූවත් අපි එය විවර කර බැලීමු. එයි බුදුගුණඅලංකාරය, සුභාෂිතය, ලෝවැඩසඟරාව, ලෝකෝපකාරය, ගණදෙවි හෑල්ල හා වදන් කවි පොත සහ උම්මග්ග ජාතකය යන පොත් හය විය.

ඒ සිදුවීමෙන් අවුරුදු තිස් පහක් ගෙවී ගියේ ය.

තිස් හත……අසාධාරණය මට යළිත් සිහි විය.

මා දැන් ගුරුවරයෙකි. මාගේ මාගේ දුක් මහන්සියෙන් උපයා මිල දී ගත් ඉඩමේ මා තැනූ නිවසේ මාගේ කුටියේ මා පිටුපස විශාල පොත් රාක්කයකි. එහි උඩ ම තට්ටුවේ බුදුගුණඅලංකාරය, සුභාෂිතය, ලෝවැඩසඟරාව, ලෝකෝපකාරය, ගණදෙවි හෑල්ල හා වදන් කවි පොත සහ උම්මග්ග ජාතකය යන පොත් හය තිබේ.

මට යළිත් තාත්තා සිහි වේ. එහෙත් ඉන් පසු සිත තුළ දිගු නිහැඬියාවක් උදා වේ. තාත්තා අසාධාරණයක් කළා ද?

‘වැඳලා සල්ලි හිඟා කන්න උඹලාට ලැජ්ජා නැද්ද?’

‘මේකේ පාත්ති දාලා මඤ්ඤොක්කා හිටවපල්ලා…. මේ දවස් වල ගණන් හොඳයි….’

‘මේ පොත් හය ගත්තේ උඹලාගේ ඉතුරු රුපියල් තිස් හතෙන්…..’

‘මේ ටික තිස් හයයිනේ……කෝ ඉතුරු රුපියල…..?’

‘ඒකට මං කඩදහි ටිකක් දෙන්නං…..ඔය පොත් හොඳට කියවලා අමාරු වචන ලියපල්ලා’

සත්‍ය වශයෙන් ම අපේ තාත්තා තරම් සාධාරණ තාත්තා කෙනෙකු මා මෙතෙක් දැක නැත.

තාත්තා පුදුමාකාර චරිතයකි. අපේ තාත්තා අපට දුක් මහසන්සියෙන් ඉපැයීම, වඩාත් සුදුසු දේට වැඩ කිරීම, කළ වියදමෙන් උපරිම ඵල ගැනීම වැනි පාඩම් කියා දී තිබේ. බැද්දේ ම මියැදෙන්නට සිටි අපට තාත්තා අපූරු ලෝකයක් නිර්මාණය කර දී තිබේ.

සත්‍ය කතාවකි.