ඇපල් පාර්ක්- ලොව නිදහස් ම වැඩ බිම

මේ ලෝකය සොබාදහම විසින් හරි අපූරුවට නිර්මාණය කරලා තියෙනවා. ඒ සොබා දහමේ විස්මිත නිර්මාණ අතරින් එකක් විදියට මේ මිනිසාව හඳුන්වන්න පුළුවන් .

ඒ මිනිසා මිහිමත ඉතා දැවැන්ත, ඉතා විස්මිත, නිර්මාණාත්මක ඉදිකිරීම් සිදුකර තිබෙනවා.

අද මේ කතාව එවන් වූ නිර්මාණයක් ගැනයි.

අපි හැමෝම දන්නවා ඇපල් සමාගම. ඒ වගේම එහි නිර්මාතෘ “ස්ටීව් ජොබ්ස්” ඔහුගේ සමාගම මගින් ඉලෙක්ට්‍රොනික උපකරණ විශාල ප්‍රමාණයක් ලොවට දායාද කර තිබෙනවා.

මේ කතාව ඒ උපකරණයක් ගැන නම් නෙමේ.

2011 ඔක්තෝබර් මස 5 වන දින මෙලොවින් සමුගැනීමට සති කිහිපයකට පෙර සිය සමාගමේ අද්වීතීයම නිර්මාණය ඔහු විසින් එළි දක්වනු ලබනවා.

එය නමින් Apple Park . මේ තමයි ඇපල් සමාගමේ මූලස්ථානය. රැකියා ස්ථානයක්, ආයතනයක් කිවුවම අපේ මනසේ නම් ඇඳෙන්නෙ බොහෝ විට එතරම් හොඳ චිත්‍රයක් නම් නෙමේ. පීඩාකාරි, කලබලකාරී රළු පරිසරයක්. ඒත් ඉතාම සැහැල්ලුවෙන් සේවය කළ හැකි වැඩ පරිසරයක් සහිත කාර්යාලයක් , සේවකයාගේ මානසික සුවය පිළිබඳව මූලික අවධානය යොමු කර නිම කළ ආයතනයක්.

1993 දී ආරම්භ කළ Apple campus හි දෙවන කොටස එනම් Apple campus II නමින් එම සමාගම මෙය හඳුන්වනවා.

_ලෝක වාර්තා
_
මේ ඇපල් පාර්ක් එක ගැන විස්මය දනවන කරුණු රැසක්ම තියෙනවා. මෙය ලෝක වාර්තා 2ක් බිඳ දැමූ විශාලතම නිර්මාණයක්. ඒ තමයි මෙය නිර්මාණය කර ඇති විශාලතම වක්‍ර වීදුරු පැනල්. මේ දක්වා ඕනෑම ගොඩනැගිල්ලක ඉදිකරලා තියෙන විශාලතම වක්‍රවීදුරු පැනල් සඳහා වූ ලෝක වාර්තාවට මෙය හිමිකම් කියනවා පමණක් නොව ඩොලර් බිලියන 5ක වටිනාකමින් යුත් ලොව මිල අධිකම ගොඩනැගිල්ලටත් හිමිකම් කියනවා.

ඇපල් සමාගමට මෙය ඉදිකිරීම සඳහා ගතවී ඇත්තේ වසර 4ක කාලයක්. මෙය ඔවුන් විසින් හඳුන්වනු ලබන්නේ මුදු හෙවත් The Ring නමින්.

An aerial view of Apple Park in Cupertino, California. Photo: Getty Images

විශේෂත්වයන්….

තට්ටු 4කින් සමන්විත වීම.

එකවර 1200කට අධික සේවක පිරිසකට සේවය කිරීමේ හැකියාව.

Steve Jobs theater නම් වූ ඇපල් සිනමා ශාලාව. එයට ගමන් කිරීම සඳහා අඩි 48ක උසක් දක්වා පිහිටි වක්‍රාකාර සෝපානය. මෙම සිනමා ශාලාව එහි සේවකයින්ගේ විනෝදාස්වාදය පිණිස ඉදිකර ඇති අතර එකවර 1000කට අසුන්ගෙන නැරඹිය හැක.

Image source-Wikipedia

දේදුන්නක ස්වරූපයේ එළිමහන් වේදිකාව. මෙය හරිත උද්‍යානයේ මධ්‍යයේ පිහිටා ඇත.

යෝගා මධ්‍යස්ථානයක්, කායවර්ධන මධ්‍යස්ථානයක් ඇතුළත්ව තිබීම.

හරිත උද්‍යානය
සේවකයින්ගේ වෙහෙස මහන්සිය නිවා ගැනීම සඳහා ගොඩනගා ඇත. මෙහි වැඩි වශයෙන් ඇත්තේ ඇපල් ගස් බවයි සඳහන් වෙන්නෙ.එය මුළු භූමි ප්‍රමාණයෙන් 80%ටත් වඩා වැඩි ප්‍රමාණයකට හිමිකම් කියනවා.

වහලය
සම්පූර්ණයෙන්ම සූර්ය පැනලවලින් තමයි මෙය ආවරණය කර තිබෙන්නෙ. එම නිසා එහි විදුලි අවශ්‍යතාවයෙන් 75%ක්ම ආවරණය කිරීමට එයට හැකියාව පවතිනවා.

-භූමි ප්‍රමාණය-
අක්කර 64කි. මෙහි එහා මෙහා ගමන් කරන්න ප්‍රවාහන පහසුකම් පවා ලබා දීලා තියෙනවා. ඇපල් බස් හා ඇපල් බයිසිකල් ආධාරයෙන් මෙහි සේවකයින්ට ඔබ මොබ යාමේ හැකියාව තිබෙනවා.

ඒ විතරක් නම් නෙමේ. මේ ආයතනයේ සේවකයන්ට තමන්ගෙ වාහනය සුරක්ෂිතව නවතා තබන්නත් මෙහි පහසුකම් සකසා තියෙනවා . ඒ නැවතුම්පළ බැලූ බැල්මට නම් පේන්නෙ නෑ. මොකද ඒක භූගත නැවතුම්පළක්.

සාමාන්‍ය කාර්යාල නම් මෙහි දකින්නම නෑ. එකිනෙකාට විවෘතව ඉන්න පුළුවන් විදියට වෙනස්ම ආකාරයක කාර්යාල තමයි නිමකර තිබෙන්නෙ.

වක්‍රාකාරව පිහිටි මේ ගොඩනැගිල්ලෙ තියෙන තවත් විශේෂත්වයක් තමයි සෑමවිටම තමන්ට අවශ්‍ය ස්ථානයට ගමන් කරන්න කෙටි සහ දීර්ඝ මාර්ග දෙකක් තිබීම. මේ කුමන මාර්ගය භාවිත කළත් ගතවෙන්නෙ මිනිත්තු 15කට වඩා අඩු කාලයක්.

********
ඉතිං…සේවකයාගේ කායික මානසික සෞඛ්‍ය ඉතා ඉහළ තැනක තිබුණොත් තමයි සේවක තෘප්තිය ඇතිවෙන්නෙ. සේවකයා තෘප්තිමත් නම් කාර්යක්ෂමතාව වගේම ඵලදායීතාවයත් ඉතා ඉහළයි.

කොහොම වුණත් , ඉපදිලා ඔහේ ජීවත් වෙලා මිය යන චරිතයක් නොවී වෙනස් දෙයක් අලුත් දෙයක් ලෝකයට දායාද කරලා මිය ගියත් සමාජය තුළ කතාබහට ඇගයීමට ලක්වෙන සුවිශේෂි චරිතයක් වෙන්න ” ස්ටීව් ජොබ්ස්”ට හැකියාව ලැබුණා.

ඔහුගේ ආදර්ශපාඨය ඔබට මතක් කරමින් ලිපියේ අවසානය මෙසේ සටහන් කරන්නම්.

සෑම දිනයක්ම ඒ ඔබගේ අන්තිම දිනය සේ සලකා කළ හැකි සියලු දේ හැකි ඉක්මනින් කරන්න

 

 

පෙර ලිපි මෙතැනින් පිවිස කියවන්න

කොමර්ස් ඉගෙනගන්නේ ඇයි(ලිලී ගේ කතාව)