අංග

උතුරු ඉන්දියාවේ වත්මන් භාගල්පූර් හා මොන්ගීර් දිස්ත්‍රික් ආශ්‍රිතව රාජ්මහල් කඳු ප්‍රාන්තයේ පුරාතනයේ පැතිර තිබූ රාජධානියකි. නැගෙනහිරින් චම්පා නදිය විය. උතුරින් ගලා ගියේ ගංගා නදිය යි. මගධයේ රජකළ භට්ටිය(බිම්බිසාර රජු ගේ පියා) පරාජය කොට මගධයෙන් කොටසක් අල්ලා ගත් අංග රාජ්‍යයේ බ්‍රහ්මදත්ත රජු රජගහනුවර(රාජගෘහය) අගනුවර කරගත්තේය. එහෙත් බිම්බිසාර රජු බ්‍රහ්මදත්ත රජු මරා අංග රාජ්‍යයේ මුල් අගනුවර වූ චම්පාව ද අල්ලා ගත්තේය. අජාසත් කුමරු එහි ආණ්ඩුකරු වශයෙන් පත් කළේය. එතැන් පටන් අංග රාජ්‍යයේ ස්වාධීනත්වය ඊට අහිමි විය. මෙම රාජධානිය අංග නමින් හැඳින්වීමට හේතුව කාමදේවයා හෙවත් අනංගයා මෙම ප්‍රදේශයේ දී සිය ශරීරය අත්හල නිසා යැයි රාමායනය කියයි. මහාභාරතය කියන්නේ අංග රට රජු මිලේච්ඡයෙකු වූ බවයි. කෙසේ වෙතත් අංගවරු සම්මිශ්‍රිත ජන කොටසක් වූ බවට සාධක ඇත්තේය. (එච්.ටී. බස්නායක මහතා ලියූ පුරාතන ඉන්දීය ශිෂ්ටාචාරය කෘතියට අනුවයි.) ධනරට්ඨ නම් රජෙකු මෙහි රජකම් කළ බව මහා ගෝවින්ද සූත්‍රයේ සඳහන් වේ. කෙසේ වුව ද ක්‍රි. පූ. 6වන සියවසේ දී කාසි රාජ්‍යය පාලනය කළ බ්‍රහ්මදත්ත රජු අංග රාජ්‍යය සිය රාජ්‍යයට ඈඳා ගත්තේය.